ස්වේත නාරී 1
පරිච්ඡේදය 1 | Indu | 10 වාර කියවා ඇත 0 අදහස්
ශ්වේත නාරී 🔞 - පළමු කොටස
"ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසපං දුවේ.. අපිට උන දේ හතුරෙකුටවත් වෙන්න එපා"...
අම්මා චීත්ත පොටින් කදුළු පිසලමින් කීවේ ඈ සනසන්නද, නැත්නමි මා සනන්නද යන්න මට සිතා ගත නොහැකි විය. තාත්තාගේ හත් දවසේ දානය දී ඉවර වෙනවත් සමගම මෙපමණ දවසක් නිවසේ රැඳී සිටි සියල්ලෝම ආපසු ගිය බැවින් නිවසේ රැදී සිටියේ අම්මත් මමත් නංගිත් මල්ලිත් පමණි. උන් දෙන්නා තවම බාල වියේ පසු වු බැවින්ද මේ කිසිත් නොදන්නා හෙයින්ද නිතරම සෙල්ලම නිසාම මිදුලේ දුව පැන සිටියාය. කාටවත් කිසිත් වරදක් නොකර සාමකාමී පවුල් ජීවිතයක් තිබූ අප නිවසේ සියල්ලම උඩුයටිකුරු වීමට ගත වුයේ දින දහයකටත් වඩා අඩු කාලයකි. තාත්තා පෙදරේරුවෙකු වූ බැවින් වැඩි කාලයක් රැඳී සිටියේ නිවසින් බැහැරවය. නමුත් ඔහු නිවාඩු ලැබු සැනින් අප සියල්ලන්ටම මොනවා හෝ රැගෙන නිවසට දුවගෙන ආවේ අප නැතිව පාළු බව පවසමිනි. ගමේ කාටත් කිසිත්ම වරදක් නොකරපු තාත්තා පලංචියෙන් වැටී මිය ගිය බව දැනුම් දුන්නේ ගමේ ග්‍රාමසේවක මහත්තයා විසිනි. ඒ වන විට තාත්තා අලුත් කොන්ත්‍රාත්තුවක් ලැබුණේ යැයි කියා කොළඹ ප්‍රදේශයට ගොස් ගත වී තිබුනේ දින පහළොවක් පමණි. තාත්තා කොළඹ යනවා යැයි පවසා ගියත්, කොළඹ යනු අපේ ගම වගේ සිය ගුණයක් පමණ විශාල බවත්, කොළඹ ගම් ගොඩාක් ඇති නිසා කෙනෙක් සොයා ගැනීම අපහසු බවත් තාත්තා මිය ගිය පණිවිඩය ගෙන ආ ග්‍රාමසේවක මහත්තයා අම්මාට පැවසුයේ තාත්තා සොයා යාමට අවශ්‍ය බව විලාප දී කියු අම්මාටය. මේ කාළය වන විට ටෙලිෆෝන් ගමට ආ අළුතම නිසා අපේ ගෙදරට හෝ ළඟපාත කිසිම කෙනෙකුට පණිවිඩයක් දැන ගැනීමට ටෙලිෆෝනයක් තිබුණේ නැත. තිබුණත් ටෙලිෆෝනියක් තිබුණේ ගමේ යමක් කමක් තිබු අතලොස්සකට පමණි. ඒ නිසාම කොළඹ තාත්තා වැඩ කෙරූ කොම්පැනියට කතා කර මිනිය ගෙන්වා ගැනීමට මුල පිරූයේ ග්‍රාමසේවක මහත්තයාමය. එක් අතකින් ටෙලිෆෝනයක් තිබුණාවුද, යමක් කමක් කොළඹ රට ගැන දන්නා නිසාද කවුරුත් ඔහු කියු දේ අසා නිහඩව සහය දැක්වීමට එක් වීය.
තාත්තා මිය ගොස් හරියට ම දෙදිනකට පසු නිසල සිරුර අපේ ගොම මැටි ගෑ නිවසේ කුඩා ඉස්තෝප්පුවේ තැන්පත් කෙරුණි. තාත්තා වැඩ කරපු කම්පැනියෙන් නිසල සිරුර ගෙදරට ගෙනවිත් බාර දුන් අතර වන්දි මුදල් යැයි පවසා මුදල් නෝට්ටු කීපයක්ද ලියුම් කවරයක බහා අම්මා අතට දුන්නේ ඒ කම්පැනියේ වැඩ බලන මහත්තයාය. අම්මාට මේ කිසිවක් වුවමනා නොවූ අතර,ඇය කුසගින්නේම කෑ ගසා හඬමින් යන එන උන් හට දුක කීවාය. මා හටද ඉවසා ගත නොහැකි තරම් වු වේදනාවක් සිතට දැනුනද, අම්මා මෙන් කෑ ගසා හැඩුවේ නැත. මා අන්ද මන්ද වුවෙකු සේ හැසිරුණ අතර, යම් විටකදී මෙය නම් සිහිනයක් යැයි සිතුවා. තවත් විටකදී අප ඉදිරියට ජීවත් වන්නේ කෙසේද යන්න සිතා ගත නොහැකිව හැඩුවා. තවත් විටෙකදී පොඩ් උන් දිහා බලා හැඩුවා. නිසංසල පරිසරයත්, මුසල අහසත් මේ දින වලම වැටුණු අකල් හිරි පොද වැස්සත් මා හිතට ගෙන දුන්නේ අප්‍රමාණ භීතියක්.
තාත්තා මියගිය පුවත ග්‍රාමසේවක මහත්තයාගේම ටෙලිෆෝනියෙන් තාත්තාගේ නංගි යැයි මා මීට පෙර අසා ඇති, එහෙත් දැක නැති ගැහැණියකට දැනුම් දුන්නා. මා නෑදෑකම් කීමට නොදන්නා නිසාම ඇයව නැන්දා ලෙස අමතන්නට පුරුදු වුනා. ඇය ඒ වන විට පදිංචි වී සිටින්නේ ඈත දුෂ්කර ගම්පළාතක බව දැන සිටියත්, ඒ හාරිස්පත්තුව බව මා දැන ගත්තේ ඇයත්, ඇගේ සැමියාත් අප නිවසට ආ පසුවයි. ජීවිතය මින් පෙර කිසිම දවසක ඇය මාත්, මා ඇයත් දැක නොමැති බැවින් අප දෙදෙනාම කතා බහා නොකර සිටීමට වග බලා ගත්තා. එහෙත් ඇය මා හා දොඩමළු වීමට දෙතුන් තැනකදී උත්සහා දැරෑ බව මට දැන් සිහිවෙනවා. කෙසේ හෝ තාත්තාගේ මිනිය ගෙදරින් ඉවතට ගෙන කනත්තට ගෙන යන දිහා බලා සිටිමට මා හට නොහැකි වු නිසා හැකි පමණ වීරිය දමා කෑ ගසා මගේ වේදනාව පිට කිරීමට උත්සහ දැරුවේය. ඒ මොහොතේ මා නැන්දා යැයි පැවසු ගැහැණිය ජීවිතයේ ප්‍රථම වතාවට මා හට ළං වීය. එදා ඒ ළං වීම අද මේ තාක් දුරකට මගේ ජීවිතයේ කණ කොකා හඩලන්නට ඉවහල් වන බව මා නොදන්නවා නම් මම එදා ඈ දෙස නොබලා ඉන්නට ඉටා ගන්නවා නොඅනුමානය...
තාත්තා කනත්තට ගෙන නොගොස්, තිබු ලෙසම නිසල සිරුර හෝ නිවසේ තබා ගත්තා නම් හොද යැයි මට සිතුණේ මළගම අවසන් වු රාත්‍රියේය. අම්මාත්,මමත් එකිනෙකා හා කතා නොකොට බලාගත් අත බලා සිටි අතර හදවතේ රිදුම් කාට හෝ කීමට ඇත්නම් යැයි සිතුණි. එහෙත් මා ප්‍රේම කළ මිනිසා මටත්, තවත් ගැහැණියකටත් එකවර ප්‍රේම කල අතර, එය දැන ගත් විටදී මා වැරදිකාරිය කොට ඇය හා පැන ගියේ මීට මසකට පෙරය. අහිමි වු ආදරයේ විරහා වේදනාවේ උණුසුම යන්නට මත්තෙන් තවත් මහා වේදනාවක් මා හට මේ ලෙස උරුම වීම නම් මගේ ම කරුමයකි.
නැන්දාත්, මාමාත් රාත්‍රියේ කා බී අහවර වී නින්දට ගිය අතර, අම්මාත් මමත් එකම කාමරයේ දෙපසකට වී නිදා උන් පොඩි උන් දිහා බලා හුල්ලමින් සිටියේය. රාත්‍රි කෑමද මග හැරි මගේ කුස ගොර ගොර ගාමින් හඬ නැගු බැවින්
"ලොකු ගිහිං කන්න"
යැයි අම්මා අණ දුන් නමුත් මා හුන් ඉරියව්ව වෙනස් නොකළාය. රැකියාවක් නොකළ අම්මාත්, තවමත් පාසල් යන වියේ පසුවන පොඩි උන් දෙන්නාත් මින් ඉදිරියට රැක ගන්නේ කෙසේද යන්නත්, මා මින් ඉදිරියට කුමක් කළ යුතුද යන්නත් සිතන විටදී අනාගතය ගැන ඇති වූයේ අවිනිශ්චිත හැඟීමකි. උසස් පෙළ අවසන්ව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි මා සරසව්යට තේරී ඇතැයි අපේක්ෂාවක් තිබුණද, ඒ පිළිබද අදහස අත්හැර දැමීමට යම් දිනකදී මා හට සිදු වනු ඇත. ඒ අත්හැරීමත් නිසාම අනාගත අපේක්ෂාවන්ද සුළි සුළගට හසුව ගසා ගෙන ගොස්, අනාගතය මාහට කවර ඉරණමක් ගෙන දුන්නේද යන්නත්, හුදෙක් මෙම කතාව මන:කල්පිතයක් නොවන බවත් කතාව කියවන පාඨක ඔබ නුදුරේදීම වටහා ගනු ඇත..
......මතුසම්බන්ධයි......
මම,
Silent Writer 🖋️