ශෑන් මකර සටන්කරු - Episode - 11 ✨❤️

පරිච්ඡේදය 11 | Tharupathi | 7 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු Episode - 11❤️✨


​කරත්තය තුළ සිටි ඒ තරුණයා පිටතට පැමිණියේය.


ඔහු හැඩිදැඩි දේහයකින් හෙබි, කළු පැහැති සමුරායි ඇඳුමකින් සැරසුණු කඩවසම් පිරිමි ළමයෙකි.


ඔහුගේ දෑස් තුළ වූයේ අහංකාර පෙනුමකි.


​"කවුද තමුසේ?" ආර්චි ඔහුගෙන් විමසුවද, ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොවීය.


​යුන්ෂි අසල වාඩි වී සිටි ආර්චි වහා නැගිට එම අද්භූත සමුරායිවරයා වෙත ගියේය.


"තමුන්ද අර අලුතින් ආවා කියපු සමුරායි? තමුන්ට ලැජ්ජා නැද්ද? අසිපතක් අතින්වත් අල්ලපු නැති අහිංසක මිනිස්සුන්ට තමුන් මොන හිතකින්ද පහර දුන්නේ?" ආර්චි දැඩි කෝපයෙන් ඔහුට බැන වැදුණි.


​එහෙත් එම තරුණයා නිහඬවම සිටියේය.


"තමුන් වගේ හිතක් පපුවක් නැති කෙනෙක් කොහොම සමුරායි කෙනෙක් වුණාද මන්දා? තමුන් වැනි අය මුළු සටන් කලාවටම නිගාවක්!"


​ආර්චිගේ වචන හමුවේ නිහඬව සිටි සමුරායිවරයාගේ මුවගට මඳ සිනහවක් නැගුණි.


ඊළඟ මොහොතේ සිදුවූයේ ආර්චිට සිතාගත නොහැකි දෙයකි.

ම දකුණු පාදය වැරෙන් පොළොවේ ගසා අහසට පැන නැගුණු සමුරායිවරයා, 'භයානක මකර පහරක්' ආර්චිගේ මුහුණටම එල්ල කළේය.


එම පහරේ ප්‍රබලත්වය නිසාම ආර්චි විසිවී ගොස් අසල තිබූ ඕක් ගසක වැදී සිහිසුන් විය.


​ආර්චි අසලට පැමිණි සමුරායිවරයා අවඥාවෙන් මෙසේ පැවසීය. "මේක හොඳට අහගන්නවා මෝඩ නින්ජා... මම සමුරායි කෙනෙක් වෙන්න මගේ දෙමව්පියන්ව පවා නැති කළා.


ඒ නිසා තමුන් ඔය කියන කතා මට වැඩක් නැහැ.

අදට මම තමුන්ව අත්හරිනවා.


අපි පස්සේ දවසක ආයෙත් 'සෙල්ලම්' කරමු. හැබැයි මතක තියාගන්නවා, ඊළඟ පාර එනකොට අඩුම තරමේ මේ මකර පහරක්වත් වළක්වගන්න ඉගෙනගෙන එනවා."


​ඉන්පසු ඔහු තුවාල ලබා බිම වැටී සිටි යුන්ෂි වෙත හැරුණු ඔහු ඇයගේ දකුණු කකුලට වැරෙන් පහරක් එල්ල කළේය.


යුන්ෂි වේදනාවෙන් කෑගැසූ හඬ මුළු වනාන්තරය පුරාම දෝංකාර දුන්නේය.


​"අනේ... මේ ලස්සන නින්ජා කෙල්ලට ඒක හොඳටම රිදිලා වගේ. මම හිතන්නේ මෙයා අලුතින් නින්ජා සටන් ඉගෙනගන්න කෙනෙක් වෙන්න ඇති,"


ඔහු සමච්චලයට පැවසීය.


යුන්ෂි කෝපයෙන් පිරුණු දෑසින් ඔහු දෙස බලා සිටියාය.


​"ඒයි... ඇයට මොකුත් කරන්න එපා!" ඕක් ගස මුල වැටී සිටි ආර්චි අසීරුවෙන් කෑගැසුවේය.


​"තමුන්ට මෙතනින් යන්න මම එක අවස්ථාවක් දුන්නා. හැබැයි තමුන් මේ ගෑනු ළමයා නිසා ඒ අවස්ථාව නැති කරගත්තා. මට ඔය වගේ බොරු වීරයෝ පෙන්නන්න බැහැ!"


​ක්ෂණයකින් ආර්චි වෙත ළඟා වූ සමුරායිවරයා ඔහුගේ බෙල්ලෙන් තදින් අල්ලා ගත්තේය. "මෙන්න මෙයාව ගැටගහලා කරත්තයට දානවා!" ඔහු ආර්චිව කරත්තය දෙසට විසි කළේය.


"තමුන් මගේ නම ඇහුවා නේද? හොඳට මතක තියාගන්නවා... මම 'ශ්වාන්'. තමුන්ට ඒ නම කවදාවත් අමතක වෙන එකක් නැහැ."


​ශ්වාන් යුන්ෂිවද බෙල්ලෙන් ඔසවා කරත්තයට විසි කළේය.


"ඔය කෙල්ලවත් ගැටගහලා දානවා. අද මගේ වාසනාවන්ත දවසක්. මගේ සැලසුම ඒ විදිහටම සාර්ථක වුණා. සීයා මේ ගැන ගොඩක් සතුටු වෙයි. මට රජකම පවා දෙයි. දුන්නෙ නැතත් මම ඒක බලෙන්ම ගන්නවා."


සමුරායිවරුන් පිරිස සිරකරුවන් සමඟ මාලිගය දෙසට ගමන් කරන්නට වූහ.


​"බලන්නකෝ වූෂෙන්, එයා කොච්චර දක්ෂද? ඒ වගේම හරිම කඩවසම් නේද?"


මිත්සුකී එසේ පවසද්දී වූෂෙන් කල්පනා කරමින් සිටියේ තම මිතුරන් බේරාගන්නා ආකාරය පිළිබඳවයි.


​"මිත්සුකී, අපි කොහොමද එයාලව බේරගන්නේ? ඒක නෙමෙයි, කෝ අපිත් එක්ක හිටපු ඔකින්ෂු?" වූෂෙන් විමසීය.


"එයා එකපාරටම කොහේ ගියාද මන්දා," මිත්සුකී මවිතයෙන් පැවසුවාය.


​"සමහරවිට එයා අනිත් අයව බේරගන්න මාලිගාව පැත්තට යන්න ඇති. අපිත් යමු ඉක්මනට."


​"ඒ වුණාට වූෂෙන්, එතන හරිම භයානකයි.


විශේෂයෙන්ම ලෝකයේ දක්ෂතම අඳුරු මායාකරුවා වන අකීරාගේ මාස්ටර් 'තාංචි අධිරාජයා' එතන ඉන්නවා. එයා අපව ලේසියෙන්ම විනාශ කරාවි."


​"එහෙම කියලා යාළුවෝ මැරෙනකම් බලාගෙන ඉන්න බැහැ මිත්සුකී. අපි හැමෝම එකම කණ්ඩායමක්!"

වූෂෙන් දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.


​"අපි දැනට ගමට ගිහින් මාස්ටර් ශී ඇතුළු පිරිසගේ උදව් අරන් එමු," මිත්සුකී යෝජනා කළාය.


​"දැන් ඒවට වෙලාවක් නැහැ. අපි ඉක්මනට යමු!"


​"ඒත් වූෂෙන්..." මිත්සුකී තවමත් පසුබට වූවාය.


​"ඔයාට ඕන දෙයක් කරන්න මිත්සුකී, ඒත් මට මගේ යාළුවෝ නැති කරගන්න බැහැ.


එක පාරකුත් මම ඒ මෝඩකම කරගත්තා.


ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ.

ඔයා ගමට ගිහින් උදව් අරන් එන්න, මම මාලිගාවට යන්නම්."


​වූෂෙන් වහා දිව ගොස් වේගයෙන් ඇදුණු කරත්තයේ එල්ලුණේය.


කරත්තය මාලිගාව තුළට ඇතුළු විය. ජීවිතයේ කිසිදා දැක නොතිබූ එම දැවැන්ත මාලිගාව තුළට වූෂෙන් අඩි තැබුවේ ඉතා ප්‍රවේශමෙනි....


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!