ශෑන් මකර සටන්කරු - Episode - 12 ✨❤️

පරිච්ඡේදය 12 | Tharupathi | 3 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 12✨❤️


මාලිගය ඉදිරිපිට කිසිදු සෙබළෙකු නොසිටීම මා තුළ සියුම් සැකයක් ජනිත කළේය.


එබැවින් මම ප්‍රධාන දොරටුව මඟහැර, මාලිගයේ පසෙක තිබූ පැරණි අබලන් දොරටුවකින් සෙමින් ඇතුළට පිවිසියෙමි. මාලිගය ඇතුළත ඉතාමත් විශාලය.


අහස සිපගන්නා සේ උස් වූ කුලුනුවලින් හෙබි මේ මාලිගය තුළ සමුරායිවරුන්ගේ ගාම්භීරත්වය හා ශක්තිය නොඅඩුව විදහා දැක්වුණි.


​පැරණි දොරටුවෙන් ඇතුළු වූ වහාම මා දුටුවේ, ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී නවතා තිබූ අශ්ව කරත්තයයි.


එක් අතකින් යුන්ෂිව ද අනෙක් අතින් ආර්චිව ද ඔසවාගෙන යන ශ්වාන් මාගේ නෙත ගැටුණි.


ඔහු එහි සිටි මායාකාර පෙනුමක් ඇති මහලු පුද්ගලයෙකු වෙත ගොස් මෙසේ පැවසීය.


​"මෙන්න තාංචි සීයෙ, මම ඔයාට තෑග්ගක් ගෙනාවා.

මෙච්චර කල් ඔයා බලාපොරොත්තු වුණ දේ මම එක දවසින් කළා. මෙන්න ඉන්නවා මහ ලොකු නින්ජා බලු පැටව් ටික!"


​"බලන්නකෝ ඉන්න විදිහ, කකුලුත් කඩාගෙන,"

යුන්ෂිව සහ ආර්චිව තාංචි අධිරාජයාගේ දෙපා මුලට විසිකරමින් ශ්වාන් උපහාසයෙන් පැවසුවේය.


​"නියමයි ශ්වාන්! මේ මෝඩ අකීරාට මෙච්චර කල් කරන්න බැරි වුණ දේ ඔබ අද කළා. මට කලින්ම තිබුණේ ඔබ වගේ පූර්ණ සමුරායි ගුණාංග තියෙන කෙනෙක් මේ වැඩේට යොදවන්න."


​"එහෙම කියන්නත් එපා මාස්ටර්, අකීරා ඔබේ දක්ෂතම ශිෂ්‍යාවනේ."


​"ඔව් ශ්වාන්, ඒ වුණාට මා දුටු දක්ෂතම සමුරායිවරයා ඔබයි," අධිරාජයා පැවසීය.


​"ඔබතුමාට මාගේ කෘතඥතාව."


​එක්වරම මුළු මාලිගයම ඉතා මිහිරි ස්ත්‍රී කටහඬකින් පිරී ගියේය. ඒ අකීරාය.


ඇය මාලිගය ඇතුළත සිට තාංචි අධිරාජයා වෙත පියනැඟුවේ ඉතා විලාසිතාවෙනි.


​ඇයගේ රුව දුටු ඕනෑම අයෙකු මවිතයෙන් ගල් ගැසෙනු නොඅනුමානය.


ඇය සතු වූයේ සොබාදහමේ අසිරිමත් නිර්මාණයක් බඳු වූ අසමසම රූපශ්‍රීයකි.


ඇයගේ දිගු දෑස්වල තිබූ තේජවන්ත බවත්, සුසිනිඳු මුහුණේ ඇති වූ මඳ සිනහවත් මාලිගය තුළ වූ අඳුර මකා දැමීමට සමත් විය.


අකීරා ඇඳ සිටි රතු පැහැති සමුරායි නිල ඇඳුම ඇයගේ පෞරුෂය තවත් ඔප් නැංවූ අතර, ඇය අත වූ රන්වන් අසිපත හිරු එළිය වැදී දියමන්ති මෙන් දිදුලන්නට විය.


ඇය ඇවිද එන විට ඒ රූපශ්‍රීය දෙස ඇසිපිය නොහෙළා බලා සිටිය හැකි තරමටම ඇය මනස්කාන්තය.


​ඇය අධිරාජයා අසලට පැමිණ මෙසේ පැවසුවාය. "සීයේ, ශ්වාන් ඇවිත්ද? මම කිව්වනේ එයාත් අද එන්නේ පරාජය වෙලා කියලා."


​"ඔයා හිතුවා වැරදියි අකීරා, බලන්න මම නින්ජලා දෙන්නෙක්වම අල්ලාගෙන ආවා," ශ්වාන් උජාරුවෙන් පැවසුවේය.


මෙය දුටු අකීරාගේ සිත තුළ ශ්වාන් කෙරෙහි දැඩි කෝපයක් හටගත්තේය.


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.



බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!