ශෑන් මකර සටන්කරු - Episode - 20✨❤️

පරිච්ඡේදය 20 | Tharupathi | 1 වාර කියවා ඇත 0 අදහස්

ශෑන් මකර සටන්කරු - Episode - 20 ✨❤️


වූෂෙන්, අකීරා සමඟ පසෙකට පැන එම මාරක අනතුරෙන් බේරුණද, තමන් ඉදිරියේ සිටින්නේ තාංචි අධිරාජයා සහ ශ්වාන් බව දුටු විට ඔහුගේ සිතට අමුතුම ආකාරයේ පරාජිත හැඟීමක් දැනුණි.


​"කොහොමද අකීරා? මට ද්‍රෝහි වෙලා නිදහසේ බේරිලා ඉන්න පුළුවන් වෙයි කියලා තමුන් හිතුවද?" තාංචි අධිරාජයා උපහාසයෙන් ඇසුවේය. "ඒක කවදාවත් වෙන්නේ නැති වැඩක්.


මම තාංචි අධිරාජයා! මට තමුන් වගේ පොඩි කෙල්ලෙක් ඉන්න තැනක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි."


​තාංචිගේ දෑස්වල තිබුණේ මාරාන්තික බැල්මකි. "අකීරා, දැන් ලෑස්ති වෙන්න තමුන්ගේ අම්මයි තාත්තයි ඉන්න තැනටම යන්න. ඔවුන්වත් මැරුවේ මම නම්, තමුන්ව මරන එක මට එච්චර අමාරු වෙන එකක් නැහැ."


​අකීරා ගල් ගැසී බලා සිටියාය.

"මොකක්ද? මගේ අම්මයි තාත්තයි මැරුවේ කුන්ෆු ඔත්තුකාරයෝ කියලා නේද ඔබ කිව්වේ?"


​"ඔව්, ඒ මම ඔයාට කියපු බොරුව. ඔයා ඇත්ත දන්නේ නැහැ අකීරා. ඔයා පොඩි කාලෙදීම මම දැනගත්තා කවදා හරි ඔයා දක්ෂ සමුරායිවරියක් වෙයි කියලා. ඒ නිසයි මම ඔයාව මගේ ළඟට ගත්තේ. හැබැයි අද තමුන් මට ද්‍රෝහි වුණා. ඒ නිසා තමුන්ටත් ඔවුන්ගේ ඉරණමම අත් වෙනවා!"


​"මම තමුන්ව තියන්නේ නැහැ තාංචි!"

අකීරා වේගයෙන් ඉදිරියට දිව ගියේ වූෂෙන්ගේ කඩුව ද උදුරා ගනිමිනි.


​නමුත් ඇයට එතරම් දුරක් යාමට ඉඩක් ලැබුණේ නැත.


ක්ෂණයකින් ඉදිරියට පැන ශ්වාන් එල්ල කළ ප්‍රබල පහරකින් අකීරා විසි වී ගොස් වූෂෙන් අසලම බිම පතිත විය.


වූෂෙන් ඇයව නැගිටුවීමට උත්සාහ කළද, ඇය සිටියේ දැඩි වේදනාවෙනි.


ඇයගේ නෙත් අගින් මුතු කැට වන් කඳුළු බිඳු කම්මුල් දිගේ ගලා යන්නට විය.


​"ඇයි තමුන් මෙහෙම කරන්නේ තාංචි? ඔබට අංශුවකවත් අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද?" වූෂෙන් කෑගැසුවේය.


​"අධිරාජයෙක් ළඟ දුක, අනුකම්පාව නැහැ කොල්ලෝ. එහෙම තිබුණා නම් මට අධිරාජයෙක් වෙන්නත් බැහැ. මේ වගේ දේවල් තමුන් වගේ නින්ජා සටන්වත් බැරි පොඩි එවුන්ට තේරෙන්නේ නැහැ," තාංචි පැවසීය.


​"ඒක නම් ඇත්ත සීයේ," ශ්වාන් සිනාසෙමින් එයට එක් විය. "මම දැක්කා මෙයා සටන් කරන විදිහ. මේවා නින්ජා සටන් නෙමෙයි. නින්ජලාට පිස්සුද කොහේද මේ වගේ වැඩ බැරි ළමයින්ව අපිත් එක්ක සටනට එවන්න?"


​මේ අපහාස සියල්ල ඉවසා සිටියද,


ශ්වාන්ගේ උඩඟු කතා විලාශය වූෂෙන්ගේ සිත තුළ වූ මහා කෝපය ගිනි කන්දක් මෙන් පුපුරා යාමට හේතු විය.


වූෂෙන් සියල්ලන්ම පුදුමයට පත් කරමින් තමා තුළ නිද්‍රාශීලීව තිබූ අතිවිශාල 'කුන්ෆු අධිරාජයාගේ' බලය අවදි කළේය.


​වූෂෙන්ගේ දෑත් තුළින් නිල් සහ රතු පැහැති මහා ගිනි ජාලාවන් මතු විය.


ඔහු අහසට නැගී තම අසීමිත බලය පෙන්වද්දී, මුළු පරිසරයම ඒ ආලෝකයෙන් ඒකාලෝක විය.


එම ගිනි ජාලා දුටු ශ්වාන්, බියෙන් තැතිගෙන පණ බේරා ගැනීමට මාලිගය දෙසට දිව ගියේය.


​තාංචි අධිරාජයා නොසැලී සිටිමින් තම මායා බලයෙන් එම ගිනි ජාලා විනාශ කර දැමුවේය.


ඒ සමඟම ඔහු තම අත රැඳි මායා දුන්නෙන් අකීරා ඉලක්ක කර 'ගල් ගැසෙන හීයක්' මුදා හැරියේය.


​වූෂෙන්ට සිතන්නට කාලයක් තිබුණේ නැත. තම ජීවිතය මෙන්ම මුළු ගම්මානයම අමතක කළ ඔහු, තම හොඳම යෙහෙළිය බේරා ගැනීම වෙනුවෙන් එම මාරක හීය ඉදිරියට පැන එය තම පපුවෙන් පිළිගත්තේය.


​තාංචිගේ මායා හීය වූෂෙන්ගේ හදවත පසාරු කරගෙන ගියේය.


අකීරාගේ දෑස්වලින් කඳුළු ගලා යද්දී, වූෂෙන්ගේ දෙපතුළේ සිට මුළු සිරුරම කෙමෙන් ගල් ගැසෙන්නට විය.


​"අකීරා... අපිට ආයෙත් මෙහෙම සටන් කරන්න බැරි වෙයි නේද?" වූෂෙන් අමාරුවෙන් සිනාසෙන්නට උත්සාහ කළේය.

"කමක් නැහැ... මම අද දැනගත්තා, හොඳම යාළුවෙක් හම්බවෙන්න අවුරුදු ගණනාවක් යන්නේ නැහැ කියලා."


​"එහෙම වෙන්න බැහැ වූෂෙන්! එහෙම ලේසියෙන් ඔයාට යන්න දෙන්න බැහැ!" අකීරා විලාප තැබුවාය.


​"එහෙම තමයි අකීරා... දැන් කරන්න දෙයක් නැහැ. කොහොම හරි අපේ ගමේ මිනිස්සුන්ව බේරගන්න..."


​එම අවසන් වචන කිහිපයත් සමඟ වූෂෙන් සම්පූර්ණයෙන්ම නිසල ගල් පිළිමයක් බවට පත් විය.


Author : G.K.Tharupathi Lankesh


ඊලග කොටස ඉක්මනට ඕනිනම් "Next" කියලා කමෙන්ට් එකක් දාන්න.


බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!