නිල්වන් ගොයම් කෙත් මැද සිරි සරු දෙන්නී
කන්දෙන් බැසෙන පිනි දිය ඇළ දොළ වන්නී
මීදුම් සළුව නිල් අහසම හැඩ ගන්වන්නී
දුම්බර ගමේ ගැමි සෙනෙහස පවසන්නී
කුඹුරේ නියර දිග දුව පැන ඇවිද ගිය
වැව ළඟ ඉඳන් අපි හවසට නෑව දිය
මල් පෙති සුවඳ හද තුළ අද මියැද ගිය
පෙරදා සොඳුරු සිත්තම මතකයක මිය
කමතේ කමත් කවි නෑ අඩ මැකී ගොසින්
කුරහන් සුවඳ පාවී ඉපනැල්ලේ දුරින්
මහ ගුරු පාර අද තාරෙන් වැසී ගොසින්
නගරය ඇවිත් ගම ගිලගෙන හාත් පසින්
වෙහෙරේ යකඩ ඝන්ටා නෑ ඇසෙන්නේ
වැව් තාවුල්ලේ තාමර නෑ අද පිපෙන්නේ
මිනිසත්කමේ සුවඳක් නැහැ දැනෙන්නේ
සල්ලි පොතට හදවත් ගැට ගැහෙන්නේ
ඉරබටු තරුව බැස යන විට සැන්දෑවේ
කණාමැදිරි එළි තවමත් දිදුල රුවේ
එදා විඳපු ඒ නිදහස ගම්බද පේරුවේ
හිත තනි වෙලා කරුමය මේ පූරුවේ
කාලය ගලන ගඟකට උපමා වන්නේ
ජීවන ගමන නෑ කවදත් දිගු වෙන්නේ
ගෙවුණු අතීතය විට විට සිහි වෙන්නේ
ගම්බද සුවඳ නෑ මට අමතක වෙන්නේ
ඔබ කැමති විය හැකි
අදහස් (10)
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️
❤️❤️❤️❤️