ගුණපාලගේ හැපී එන්ඩින් ඇනිවසරිය
කියවලාම බලන්නකෝ ගුනපාලගෙයි, කුසුම්ගෙයි දහවෙනි ඇනිවසරි සැමරුම ගැන
විවාහ ජීවිතය කියන්නේ හරියට අත්තනගලු ඔය වගේ; වෙලාවකට නිසලයි, තවත් වෙලාවකට මඩ වෙලා, තවත් වෙලාවකට පිටාර ගලනවා. (අත්තනගලු ඔයාම මේකට ගාවගත්තේ ඇයි කියලා අහන්න එපා. ඒක වෙනම කතාවක්) මේ කතාව ගුණපාල සහ කුසුම් ගැන. මේ දෙන්නා බැඳලා දැන් අවුරුදු දහයක්. දහයක් කිව්වට ගුණපාලට හිතෙන්නේ අවුරුදු සීයක් විතර වගකීම් කරගහගෙන හිටියා වගේ.
ගුණපාලගේ "මතක ශක්තිය" සහ සංවත්සර මරාලය
එදා ඉරිදා දවසක්. ගුණපාල උදේම නැගිටලා පත්තරේ බල බල සාලේ පුටුවට බර වුණේ නිදහසේ කෝපි උගුරක් බොන්න හිතාගෙන. හැබැයි කුසුම්ගේ මුහුණේ තිබුණේ වෙනදා දකින "අද මොනවද උයන්නේ?" කියන ප්‍රශ්නාර්ථය නෙවෙයි. ඒ වෙනුවට තිබුණේ නිකන් අකුණු ගහන්න කලින් තියෙන අඳුරු අහස වගේ බැරෑරුම් පෙනුමක්.
"මේ එයි.. මනුස්සයෝ... අද මොකක්ද දවස කියලා මතකද?" කුසුම් ඉණට අත් දෙක තියාගෙන ඇහුවා.
ගුණපාල පත්තරේ ඩිංගක් එහාට කොරලා අස්සෙන් ඇස් දෙක විතරක් එළියට දාලා කල්පනා කළා. 'අද ඉරිදා... ලයිට් බිල ගෙවන්න තියෙන්නේ ලබන සතියේ... කුසුම්ගේ අම්මා එන්නේ ලබන මාසේ...' මිනිහට හිතාගන්න බැහැ. ෆුල් කොන්ෆ්යුසිස් වෙලා පොර.
"අද... අද අර රෙදි හෝදන මැෂින් එක හදන්න එනවා කිව්ව මනුස්සයා එන දවසද?" ගුණපාල බයෙන් බයෙන් වුණත් බය එලියට නොපෙන්වා ඇඟට පතට නොදනී ඇහුවා.
කුසුම්ගේ ඇස් දෙක ලොකු වුණා. "මැෂින් එක? මනුස්සයෝ, අද අපේ දහවෙනි ඇනිවසරිය! තමුසෙට ඕකත් අමතක වුණා නේද? තව ටික කාලෙකින් තමුසෙට කසාද බැඳලා ඉන්නෙත් කියලා අමතක වෙයි" (පොරට දැනටමත් ටික ටික අමතක සීන් එකක් තමා තියෙන්නේ)
ගුණපාලට තරු පෙනුණා. දහවැනි එක! මේක ලේසි වෙන්නේ නැහැ කියලා මිනිහට තේරුණා. "අනේ නෑ කුසුම්, මම මේ නිකන් විහිළුවට ඇහුවේ. මම ලෑස්ති වෙලා හිටියේ ඔයාට ලොකු සප්‍රයිස් එකක් දෙන්න."
"සප්‍රයිස්? මොකක්ද සප්‍රයිස් එක? අර ගිය අවුරුද්දේ වගේ පන්සල් ගිහින් එන ගමන් වඩේ අරන් දෙන එකද?" කුසුම් රවාගෙන ඇහුවා.
"නෑ නෑ.. අද මම ඔයාට රෑට උයලා දෙන්නම්. ඔයාට තියෙන්නේ රැජිනක් වගේ වාඩි වෙලා ඉන්න විතරයි." ගුණපාල හෙණ ගැම්මට පොරොන්දු වුණා. ඇත්තටම ගුණපාල දන්නේ බිත්තරයක් තම්බන්නයි, ප්ලේන්ටියක් හදන්නයි විතරයි. පපඩම් බදින්නත් පුළුවන්, හැබැයි පුච්චගන්නවා මිනිහා...
මාස්ටර් චෙෆ් ගුණපාල
කුසුම් එච්චර විශ්වාස නොකළත්, "හරි බලමුකෝ" කියලා කාමරයට ගියේ අල්මාරියේ ඇඳුම් අස් කරන්න. ගුණපාල වහාම ෆෝන් එක අරන් යූටියුබ් එකේ සර්ච් කළා: "අමුතු විදියේ රසවත් රෑ කෑමක් හදන හැටි."
ඉස්සෙල්ලම ආවේ "චිකන් පැස්ටා කාබනාරා" කියලා එකක්. නම ඇහුවමත් ගුණපාලට හිතුණේ මේක මරු කියලා. "කාබනාරා... නිකන් කබරයා වගේ නමක් තිබුණට කෑම සුපිරි ඇති," ගුණපාල තනියම මුමුණගත්තා.
මිනිහා වහාම ටවුන් එකට ගිහින් චීස්, ක්‍රීම්, පැස්ටා සහ තව මොන මොනවාදෝ ජාති ගොඩක් අරන් ආවා. කුස්සියට වැදිලා වැඩේ පටන් ගත්තා. කුසුම්ට කුස්සියට එන්න තහනම් කළා.
පැය භාගයක් ගියා. කුස්සියෙන් එක එක සද්ද ඇහෙන්න ගත්තා.
ධඩස්... චටස්... බුහ්... චුස්... බූස්... හෝස්...
"එයි.. මනුස්සයෝ, මොකද ඔය වෙන්නේ?" කුසුම් සාලේ ඉඳන් කෑගැහුවා.
"මුකුත් නෑ කුසුම්... මේ මම ඉතාලි ක්‍රමයට හැන්දෙන් තට්ටු කරනවා රස එන්න!" ගුණපාල කිව්වේ නළලෙන් බේරෙන දාඩිය පිහිදාන ගමන්.
ඇත්තටම වෙලා තිබුණේ පැස්ටා එක තම්බන්න ගිහින් ඒක මුට්ටියේ පතුලේ ඇලිලා. ඒක ගලවන්න ගිහින් හැන්දත් ඇද වෙලා. ඒ මදිවට චීස් එක දාපු ගමන් ඒක නිකන් රබර් වගේ වෙලා පැස්ටා ටික වටේ එතිලා. ගුණපාල බැලුවා මේක හරියන්නේ නෑ කියලා. මිනිහා ඒකට තව වතුර ටිකක් දාලා, පාන් පිටි හැඳි දෙකක් විතර දැම්මා හොද්ද උකු වෙන්න.
අන්තිමට ඒක නිකන් 'කිරි පිඬු' වගේ පෙනුමකට ආවා. හැබැයි ගුණපාල අත ඇරියේ නෑ. මිනිහා ඒකට ගෙදර තිබුණු මිරිස් කුඩුයි, තුනපහයි ඔක්කොම දැම්මා "ශ්‍රී ලාංකික රසය" එකතු කරන්න.
අසල්වැසි සෝමපාලගේ මැදිහත්වීම
මේ අස්සේ ගුණපාලගේ ගජබින්න අතිජාත පජාත මිතුරා වුණු අසල්වැසි සෝමපාල තාප්පෙන් ඔලුව දැම්මා. "මොකද ගුණේ මේ පැත්තේ අමුතු ගඳක් එන්නේ? මොනවා හරි පිච්චෙනවද?"
ගුණපාල කුස්සියේ ජනේලෙන් සෝමපාලට දැලි පිහදන රෙද්ද වනලා. "පලයං සෝමේ යන්න! මම මේ වයිෆ්ට සප්‍රයිස් කෑම වේලක් එකක් හදනවා."
"සප්‍රයිස් එකක්? මට නම් පේන්නේ තෝ කුස්සියට ගිනි තියන්න හදනවා වගේ. ඔය දුම එන්නේ ෆ්‍රිජ් එකෙන්ද බං" සෝමපාල හිනා වෙවී ඇහුවා.
ඇත්තටම දුම ආවේ ගුණපාල චිකන් ටික කර කරගන්න ගිහින්. ඒක දැන් නිකන් අඟුරු කෑලි වගේ. "සෝමේ, උදව් කරපන් මචං. මේක හරි යන්නේ නෑ. මේ ඉතාලි කෑමක් හදන්න ගිහින් අමාරුවේ වැටුණා."
සෝමයත් ඉතිං කියන පමාව තාප්පෙන් ජම්ප් එක දාලා කුස්සියට ආවා. "අයියෝ ගුණේ, මේ මොන මගුලක්ද ඕයි? මේක පැස්ටා නෙවෙයි, මේක නිකන් වයිට් වොෂ් කරන්න ගත්ත හුණු වගේනේ. මේක කුසුම් නංගිට දුන්නොත් අද සප්‍රයිස් වෙන්නේ උඹ තමා පුතෝ!"
මොනා කරන්නද.. දුකේදී මිතුරාව තනි කරන්න බැරි නිසා සෝමයත් සෙට් වෙලා දෙන්නත් එක්ක එකතු වෙලා වැඩේ ගොඩදාන්න හැදුවා. "අපි මේකට තව පොල් කිරි ටිකක් දාමු," සෝමපාල යෝජනා කළා. "එතකොට මේක නිකන් ඉතාලි කිරි හොද්දක් වගේ වෙයි." ගුණයා කිව්වා.. "හරි බං, ඉතාලියේ උන්ට කිරි හොදි කෑවොත් දිරවන්නේ නැද්ද?" සෝමයා කියපි.
රාත්‍රී භෝජන සංග්‍රහය
රෑ අට වුණා. කුසුම් ලස්සන සාරියක් ඇඳගෙන, කොණ්ඩේ පීරලා සාලයට ආවා. ගුණපාල කුස්සියේ ඉඳන් මේසය ලෑස්ති කළා. ඉටිපන්දම් දෙකක් පත්තු කරලා (ඇත්තටම ඒක කරන්ට් එක ගිය වෙලාවට පාවිච්චි කරන ලොකු සුදු ඉටිපන්දම්), ලස්සනට පිඟන් දෙකක් තියලා තිබුණා.
"කුසුම්, මෙන්න ඔයා වෙනුවෙන්ම හදපු 'චිකන් පැස්ටා ලංකා-ඉතාලි ස්ටයිල්'." ගුණපාල ආඩම්බරයෙන් කිව්වා.
කුසුම් පිඟාන දිහා බැලුවා. ඒකේ තිබුණේ කහ පාට හොද්දක ගිලිලා තිබුණු, එකට ඇලුණු නූල් රොදක් වගේ දෙයක්. ඒ උඩ අඟුරු වෙච්ච චිකන් කෑලි දෙකක් ගානිෂ් එකක් වගේ තියලා තිබුණා.
"මේකද සප්‍රයිස් එක?" කුසුම් ඇහුවේ සැකයෙන්.
"ඔව්, රහ බලන්නකෝ."
කුසුම් හැන්දක් අරන් කටට දාගත්තා. තත්පර පහක් ගියේ නෑ, ඇස් දෙකෙන් කඳුළු ආවා. "තමුසේ... මේකට සීනි ද දැම්මේ?"
ගුණපාල කලබල වුණා. "අයියෝ, අර ලුණු බෝතලේ කියලා හිතලා මම දැම්මේ සීනි බෝතලේ වෙන්න ඇති! සෝමේ තමයි කිව්වේ ඒක ලුණු කියලා." පාවා දුන්නා අර අහිම්සක සෝමයාවත්..
කුසුම්ට හිනා යන්න ගත්තා. හයියෙන් හිනා වුණා. "තමුසෙ නම් මාර මනුස්සයෙක්. අවුරුදු දහයක් තිස්සේ මම උයලා දෙන දේ කාලා, එක දවසක් උයන්න ගිහින් මුළු කුස්සියම විනාශ කරලා, මේසෙට සීනි දාපු පැස්ටා ගෙනත් දෙනවා."
ගුණපාල ඔලුව කස කසා අහිංසක මූඩ් එකක් හදාගෙන කියනවා. "සොරි කුසුම්, මම හිතුවේ මට පුළුවන් වෙයි කියලා."
කුසුම් නැගිටලා ගිහින් ගුණපාලගේ අතින් අල්ලගත්තා. "කමක් නෑ ඒයි. ඔයා උත්සාහ කරපු එකම ඇති. දැන් ඕක අයින් කරලා ලෑස්ති වෙන්න. අපි හන්දියේ කඩේට ගිහින් කොත්තු දෙකක් කමු."
කොත්තු සංවත්සරය
හන්දියේ සිරිසේනගේ නයිට් කඩේ ලඟ ඉඳන් මේ දෙන්නා කොත්තු කෑවා. ගුණපාලටයි කුසුම්ටයි ඒ වෙලාවේ දැනුණේ ලෝකේ තියෙන රසම කෑම ඒක කියලා.
"දන්නවද ගුණපාල," කුසුම් කොත්තු කෑල්ලක් හපන ගමන් කිව්වා. "අර සීනි දාපු පැස්ටා එකට වඩා මේ කොත්තුව දාහක් වටිනවා. මොකද මේකේ රහ විතරක් නෙවෙයි, අපි දෙන්නගේ නිදහස් රෑම තියෙනවා."
ගුණපාල හිනා වෙලා කිව්වා, "ඒක ඇත්ත. හැබැයි ලබන අවුරුද්දේ මම යූටියුබ් බලන්නේ නෑ. කෙළින්ම කඩෙන් කෑම ගේනවා."
"එපා එපා, ලබන අවුරුද්දේ මමම උයන්නම්. ඔයාට තියෙන්නේ කෑම ටික කන ගමන් 'රසයි' කියලා බොරුවට හරි කියන්න විතරයි." කුසුම් මදසිනහවක් සමගින්ම ඇහැක් ඉඟි කළා.
එදා රෑ ගෙදර එනකොට දෙන්නා හිටියේ හරිම සතුටින්. විවාහය කියන්නේ හැමදාම රෝස මල් ඇතිරූ පාරක් නෙවෙයි, වෙලාවකට සීනි දාපු පැස්ටා වගේ අවුල් ජාලාවක්. හැබැයි ඒ අවුල් අස්සේ එකට හිනා වෙන්න පුළුවන් සහකරුවෙක් ඉන්නවා නම්, ඒක තමයි ලොකුම වාසනාව.
ගුණපාල නිදාගන්න කලින් හිතුවා, "සෝමපාලයට හෙට හොඳට අමතන්න ඕනේ අර ලුණු බෝතලේ වැරදියට පෙන්නුවට." හැබැයි කුසුම්ගේ හිනාව මතක් වෙනකොට ඒ තරහත් නිවිලා ගියා.
අවසානයේදී, ඒක තමයි ජීවිතය. පොඩි පොඩි වැරදීම්, ලොකු හිනාවල් සහ කවදාවත් අමතක නොවන මතකයන්.
(එහෙනම් මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා)