ඉරුණු ජීවිත 01 (නවකතාව) රතු කෝච්චිය
පරිච්ඡේදය 1 | Laksilu 22 වාර කියවා ඇත 1 අදහස්
අදත් ඇය ඇහැරුණේ තිගැස්සිලා ය. එකම හීනය හැමදාම පෙනී තිගැස්සී ඇහැරෙන්න පටන් ගෙන දැන් අවුරුදු තිස් ගානකට වැඩිය. ඉතාම කුඩා කාලයේ මෙය සිදු වුවාදැයි මතක නැති වුවද මතක ඇති කාලයේ සිට මෙම සිහිනය සැමදා ඇයට පෙනේ. මීදුම මැදින් ඇදී යන රතු සුදු කෝච්චිය කඳු පන්තිය වටා ඇදී යන රේල්පාර දිගේ නොපෙනී යයි. ඒ දෙස බලා සිටින චෙස්ට්නට් පාට කෙහෙරැලි ඇති යුවතියට දැනෙන්නේ හදවත පිපිරී යන තරම් දුකකි, වේදනාවකි. අවට මීදුමෙන් බොඳ වන දර්ශනය දෑසට නැගෙන කඳුලින් තවත් බොඳ වේ. හිස බමන්නාක් මෙන් දැනී අවට ලෝකය භ්‍රමණය වන්නාක් මෙන් දැනේ. එවිටම ඇයට වැටුනා මෙන් හැගීමක් ඇති වී තිගැස්සී ඇහැරේ. එකම සිහිනය කිසිඳු වෙනස්කමකින් තොරව සැමදාම දර්ශනය වන්නේ ඇයි ? ඇයට දැනෙන මානසික විඩාව අපහසුව ඉමහත්ය. කියාගත නොහැක.
මෙම සිදුවීම පිලිබඳ මුල්ම මතකය ඇයට ඇත්තේ ඉතා කුඩා කාලයේදී ය. ඒ කාලයේ ඇය දුම්රියක් දැක නොතිබුණු කුඩා දැරියකි. එකල නිවෙස්වල තිබු විදුලි මීටරයේ කැරකුණේ රතු සුදු රවුමකි. රතු පාටට පසුව සුදු පාට නැවත රතු පාට නැවත සුදු පාට ලෙස අඛණ්ඩව භ්‍රමණය වෙමින් තිබෙන විදුලි මීටරය දෙස බලමින් ඇය "කෝච්චි ,කෝච්චි කියයි ". ඇයගේ මව ඇය දෙස බලා සිටින්නේ පුදුමයෙනි. භ්‍රමණය වන රවුමට කුඩා ඇඟිල්ල දිගු කොට පෙන්වන ඇය " කෝච්චි ,කෝච්චි " ගායි
"මේ , පියසෝම මෙන්න මෙයාව ස්ටේෂමට එක්ක ගිහින් කෝච්චියක් පෙන්නලා එක්ක එන්න " අම්මා තාත්තාට කිව්වේ දැරිය වැඩිපුරම එකතු තාත්තාට බැවිනි.
නුගේගොඩ ස්ටේෂම ඔවුන්ට අත ළඟය. පයින් යන දුරය. ඒ නිසා ගෙදරට හද සිටි කලිසම හා කමිසය පිටින්ම සිය සුදු දෝනිය වඩා ගත් තාත්තා දුම්රිය ස්ථානයට ගියේ කිසිදා දුම්රියක් නොදුටු සිය දියණියගේ දොළ සංසිදුවීමේ අභිප්‍රායෙනි. වඩා ගෙන යන දියණියට ළඟ ඇති රසකැවිලි කඩෙන් බූන්දි ග්‍රෑම් 100 ක් ද අරන් දෙන්නේ ඇය බූන්දි කෑමට ඉතා කැමති බව ඇගේ පියා හොඳින්ම දන්නා බැවිනි. බූන්දි කමින් කෝච්චි නරඹන ඇයට කෝච්චියේ අතීතය ද කියා දීමට පියසෝම අදහස් කරගෙන සිටියි. ඒ සඳහා ඔහුගේ මනස තුල කතාව ගොඩනැගෙමින් පවතී. දුම්රිය එන්ජිම සොයාගත් ජෝර්ජ් ස්ටීවන්සන් ගේ සිට කලකට ඉහත නුගේගොඩ දුම්රිය ස්ථානාධිපති ව සිට මිය ගිය දැරිය දැක නැති දැරියගේ සීයා දක්වා අතීත කථාව ඇයට කියාදෙන අන්දම චිත්‍රණය කරමින් යන පියාට හා එම පියාගේ උරයේ යන දියණියට හමුවන්නේ අසල්වැසි කාන්තාවකි.
" ආ! තාත්තයි දුවයි කොහිඳ යන්නේ "
" මෙයාට කෝච්චියක් පෙන්නන්න එක්ක යනවා "
"ඇත්තද ? මෙයාගේ සීයා ඉස්සර මෙහෙ ස්ටේෂන් මාස්ටර් නේ, හරි හොඳ මනුස්සයා අපි පොඩි කාලේ එහෙ නිතරම යනවා. කෝච්චි පෙන්නලා මඳි නේද දූ ? කෝච්චියේ රවුමක් එක්ක යන්න කියන්න" කියමින් චූටි දියණියගේ මුණ මිරිකා හුරතල් කල ඇය ඔවුන්ගේ සමුගෙන නුගේගොඩ ජනතා පොළට ගිය අතර පියා සමඟ නුගේගොඩ ස්ටේෂමේ වේදිකාවට ගොඩ වුනු දියණිය හා පියාට මඳ වේලාවක් පියාට රැදෙන්න වුයේ එම අවස්ථාවේ කෝච්චියක් නොතිබුන බැවිනි.
මතු සම්බන්දයි