පර සුද්දගේ ඔත්තුකාරයෝ, අල්ලපියව්
කෙටිකතා අබිරහස් (Mystery)

පර සුද්දගේ ඔත්තුකාරයෝ, අල්ලපියව්

thushan97 14 1 0

කාලයේ මානය විනිවිද ගොස් ඌව වෙල්ලස්ස කැරැල්ලේ සැබෑ අත්දැකීම අත්විඳින්නට ලැබුණි නම්

නකල්ස් හෙවත් දුම්බර මිටියාවතේ සැඟවුණු අභිරහස් සොයා යන ගමනක් යනු ඕනෑම ගවේෂකයෙකුගේ සිහිනයකි. සමීර, නිශාන්, කාවින්දි සහ තරිඳු යන සිව්දෙනා මෙම ගමනට සූදානම් වූයේ මාස ගණනාවක සැලසුම් කිරීමකින් පසුවය. ඔවුන්ගේ අරමුණ වූයේ සිතියම්ගත නොකළ, පැරණි ජනප්‍රවාදවල එන "මීදුම් නිම්නය" සොයා ගැනීමයි.


ගමන ආරම්භ වී දෙවන දිනයේදී ඔවුන් සිටියේ ඉතා අසීරු කඳු බෑවුමක ය. අවට පරිසරය අමුතුම නිහඬතාවයකින් වෙළී තිබුණි. කුරුල්ලෙකුගේ හඬක් හෝ කොළයක් සෙලවෙන හඬක් පවා ඇසුණේ නැත.


"සමීර, මාලිමාව පිස්සු නටනවා බං," නිශාන් තමා අත වූ මාලිමාව සොලවමින් කීවේය. එහි කටුව එක තැනක නොරැඳී වේගයෙන් කැරකෙමින් තිබුණි. "මාලිමා කාරයෝ කොහොමත් පිස්සු තමා නටන්නේ බං" යැයි සමීර හීන්සීරුවේ පොඩි උපහාසයක් කලේ ඇඟටපතට නොදැනිය.


"සිග්නලුත් නැහැ. ජී.පී.එස් එක වැඩ කරන්නේ නැහැ," කාවින්දි ඇයගේ දුරකථනය පෙන්වමින් කීවාය.


කොහොම නමුත් සමීර පසුබට වූයේ නැත. "තව ටිකක් උඩට යමු. මීදුම අස්සෙන් පාර පෙනෙයි," ඔහු ඉදිරියටම ගියේය.


හදිසියේම මහා ඝන මීදුමක් ඔවුන් වටා පැතිර ගියේය. එය කෙතරම් තදද යත්, අඩි දෙකක් ඉදිරියෙන් සිටින පුද්ගලයා පවා නොපෙනෙන තරම් විය. ඒ සමඟම අවට වාතයේ වාතයේ අමුතුම ගැස්සෙන වයිබ්‍රෙට් වෙන ආකාරයක් ඔවුන්ට දැනුණි. කන් අඩි පැලෙන තරම් තද ශබ්දයක් මොහොතකට ඇසී, ක්ෂණයකින් සියල්ල නිහඬ විය.


මීදුම කෙමෙන් පහව ගියේය. නමුත් ඔවුන් දුටු දසුනින් සිව්දෙනාම ගල් ගැසුණි.


මීට විනාඩියකට පෙර ඔවුන් සිටි රළු කඳු පාර වෙනුවට දැන් ඇත්තේ ඉතාමත් පිරිසිදු, ගල් ඇල්ලූ පටු මාවතකි. පසෙකින් ගලා යන කුඩා දිය පහරක් දිගේ අමුතුම පන්නයේ ලී පාලමක් ඉදි කර තිබුණි. වඩාත්ම පුදුමය වූයේ අවට තිබූ ගස්වැල්ය. ඒවා ඔවුන් මීට පෙර කිසිදා දැක නොතිබූ තරම් විශාල, සරුසාර වෘක්ෂලතා විය.


"අපි කොහෙද මේ ඉන්නේ?" තරිඳු බියෙන් ඇසුවේය.


ඔවුන් පාලම පසු කර ඉදිරියට යද්දී කුඩා ගම්මානයක් දිස්විය. එහි තිබුණේ මැටි ගසා පිදුරු සෙවිලි කළ නිවාසය. මිනිසුන් ඇඳ සිටියේ අමුතුම ආකාරයේ රෙදි කඩවල්ය. පුරුෂයන් හිසෙහි ජටා බැඳ, උඩුකය නිරුවත්ව සිටි අතර ගැහැනුන් දිගු රෙදි කඩකින් සිරුර වසාගෙන සිටියහ.


"සමීර... බලන්න අර පත්තරේ," කාවින්දි බිම වැටී තිබූ පරණ පත්තර කැබැල්ලක් අතට ගත්තාය. එහි භාෂාව වර්තමාන සිංහලට වඩා තරමක් වෙනස්ය. එහි දිනය සටහන්ව තිබුණේ "වර්ෂ 1818 නොවැම්බර් මස 12 වන දින" ලෙසයි.


"මොකක්? 1818? ඒ කියන්නේ අපි අවුරුදු දෙසිය ගණනක් ආපස්සට ඇවිත්ද?" නිශාන්ගේ දෑස් උඩ ගියේය.


ඔවුන් සැබවින්ම කාල තරණය කර තිබුණි. නකල්ස් කඳු පන්තියේ පිහිටි යම්කිසි ස්වභාවික චුම්බක ක්ෂේත්‍රයක් හෝ 'කාල ද්වාරයක්' හරහා ඔවුන් අතීතයට ගසාගෙන ගොස් ඇත.


එවිටම හෙල්ල අතින් ගත් පිරිසක් ඔවුන් දෙසට දිව ආහ. "කවුද තොපි? ඉංග්‍රීසි ඔත්තුකාරයෝද?" එක් අයෙකු ගිගුම් දුන්නේය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, අත වූ ස්මාර්ට් ෆෝන් සහ කැමරා මේ ගැමියන්ට පෙනුණේ අද්භූත වස්තූන් ලෙසය.


"නැහැ... අපි... අපි මේ පැත්තේ මඟ වැරදිලා ආපු පිරිසක්," සමීර ගැහෙමින් කීවේය.


"මේ වගේ අරුමෝසම් ඇඳුම් අඳින්නේ සුද්දන්ගේ ඔත්තුකාරයෝ! අල්ල ගනිල්ලා මුන්ව!" නායකයා අණ කළේය.


ඔවුන්ට පැන යාමට වෙනත් මාවතක් නොවීය. ගැමියන් ඔවුන්ව වට කර ගත්හ. ඔවුන්ව රැගෙන ගියේ ගමේ ප්‍රධානියා වෙතටය. ඒ යන මඟ දිගේ ඔවුන් දුටුවේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ බිහිසුණු බවයි. තැනින් තැන තුවාල ලැබූ සෙබළුන්, ලේ තැවරුණු රෙදි කඩවල් පෙනෙන්නට තිබුණි.


ගමේ ප්‍රධානියා, වයෝවෘද්ධ නමුත් තේජවන්ත පෙනුමක් ඇති පුද්ගලයෙකි. ඔහු සිව්දෙනා දෙස විමසිල්ලෙන් බැලුවේය. "තොපේ අතේ තියෙන ඔය වීදුරු කෑලි මොනවාද? ඒවායින් ගිනි පිට වෙනවාද?" ඔහු නිශාන්ගේ කැමරාව දෙසට අත දිගු කළේය.


සමීර බුද්ධිමත්ව කල්පනා කළේය. "මෙය තේරුම් කරන්න බැහැ. අපි මෙතනින් ඉක්මනට යන්න ඕනේ. නැත්නම් අපි ඉතිහාසයේ කොටසක් වෙලා මෙහෙම මැරිලා යයි."


ඔහු කාවින්දි දෙස බලා ඉඟියක් කළේය. කාවින්දි ඇයගේ බෑගයේ තිබූ 'පවර් බෑන්ක්' එකට සම්බන්ධ කර තිබූ කුඩා එල්.ඊ.ඩී විදුලි පන්දම දැල්වූවාය. ඒ සමඟම මුළු ශාලාවම තද සුදු පැහැති ආලෝකයකින් පිරී ගියේය. ගැමියන් බියෙන් කෑගසමින් පසෙකට වූහ. "යක්ෂයෝ! මුන් ආලෝකය මවන යක්ෂයෝ!" ඔවුන් පලා යන්නට විය.


"දැන් දුවපල්ලා!" සමීර කෑගැසුවේය.


ඔවුන් නැවතත් අර මීදුම හමු වූ ස්ථානය දෙසට පණ එපා කියා දිව ගියහ. පසුපසින් හෙල්ල සහ දුනු ඊතල රැගත් පිරිස ලුහුබැඳ ආහ. මීදුම නැවතත් නිම්නය පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබුණි.


"අර තියෙන්නේ දොරටුව! අර ගල් කුළ මැදින් පනින්න!" සමීර මඟ පෙන්වීය.


ඔවුන් හතර දෙනාම එකිනෙකාගේ දෑත් තදින් අල්ලාගෙන මීදුම් පටලය තුළට පැන ගත්හ. නැවතත් අර විද්‍යුත් කම්පනය දැනුණි. කන් අඩි පුපුරන හඬ ඇසුණි. ඉන්පසු සියල්ල නිහඬ විය.


ඔවුන් ඇස් ඇර බලද්දී සිටියේ තමන් මුලින්ම ගමන ආරම්භ කළ රළු කඳු පාරේමය. පරිසරය සාමාන්‍ය පරිදි විය. කුරුල්ලන්ගේ හඬ ඇසෙන්නට විය.


"අපි ආපහු ආවා නේද?" තරිඳු හති අරිමින් ඇසුවේය.


නිශාන් වහාම තම කැමරාව පරීක්ෂා කළේය. නමුත් එහි කිසිදු ඡායාරූපයක් සටහන් වී තිබුණේ නැත. සියල්ල මැකී ගොස් තිබුණි.


"කාටවත් කිව්වොත් අපිව පිස්සන් කොටුවට යවයි," සමීර සන්සුන්ව කීවේය. "මේක අපේ රහසක් විතරයි."


නමුත් කාවින්දි ඇයගේ කබායේ සාක්කුවට අත දැමූ විට ඇයට යමක් අසුවිය. ඇය එය එළියට ගත්තාය. එය මැටිවලින් කළ කුඩා රූපයකි. අතීතයේ සිටි එක් කුඩා දරුවෙකු ඇයට තෑගි කළ එකකි. එය දෙස බලද්දී ඔවුන්ට වැටහුණේ තමන් අත්විඳි ඒ අද්භූත අත්දැකීම හුදෙක් සිහිනයක් නොවන බවයි.


නකල්ස් කඳු මුදුනින් හිරු බැස යද්දී, තමන් පසු කර ආවේ කාලයේ සීමාවන් නොව, මනුෂ්‍ය බුද්ධියට තේරුම් ගත නොහැකි විශ්වීය අභිරහසක් බව ඔවුන් තේරුම් ගත්හ.


(මෙහි එන නම් ගම් සිදුවීම් කිසිවක් සත්‍ය ඒවා නොවේ)

2026 thushan97 — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!