ඉරුණු ජීවිත 25 (නවකතාව) හැපි පාස්ට් ඩේස්

පරිච්ඡේදය 26 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්

මයිකල් ගොස් සතියකට පමණ පසු ලැබුණ මයිකල්ගේ ලියුම ඈන්ගේ සිත සතුටින් පිරවීය. එහි ඔහුගේ නිවසේ ලිපිනය ද සඳහන් ව තිබිණි. ළඟදී ගත් ඔහුගේ ඡයාරූ පයක් ද දූපතෙන් පිට වී යාමට ආසන්නයේ ලබා ගත් ඔහු හා ඇය සිටින පින්තූරයක් ද ඔහු ඇයට එවා තිබුණි. එහි පිටුපස "හැපී පාස්ට් ඩේස් (Happy Past Days)"යනුවෙන් සඳහන් කොට හදවතක් ද ඇද ඔහුගේ අත්සන ද තබා තිබුණි. මාහැගි වස්තුවක් ලැබුණා සේ සතුටින් සිනා සෙමින් උඩ පනිමින් ලියුම හතර පස් වතාවක් කිය වූ ඇය එයට තොත්තුවක් ද දුන්නාය. ඔහුගේ රූපය හා ඔවුන් දෙදෙනා එකට සිටින රූපය ගෙන ඇය දිව ගියේ කඩමණ්ඩියට ආසන්නයේ පින්තූර රාමු කරන රෝලන්ඩ් ගාවටය. මේ දූපතටම සිටින එකම ඡායාරූප ශිල්පියා ඔහුය.පින්තූර ගැනීමේ සිට පින්තූර රාමු කිරීම දක්වා සියළු කටයුතු කරනු ලබන්නේ රෝලන්ඩ් හා ඔහුගේ දියණියයි. දියණිය ඈන්ට වඩා මඳක් බාලය. නමුත් ඈන් හා ඇය හොඳම මිතුරියන්ය. ඈන් දුටු ගමන් ඇයව වැලඳගත් පැට්ට්‍රිෂියා ඇයගේ අතින් ඇදගෙන කඩය පිටුපස ඇති ඔවුන්ගේ නිවහනට ගෙන ගොස් පැය ගනන් තේ බොමින්, ඕපාදුප දොඩමින් කැකිරි පැලීම සාමාන්‍ය සිදුවීමකි. අද ද එහි වෙනසක් වූයේ නැත.අද දින සිදු වූ එකම වෙනස නම් ඈන් විසින් රූප දෙකම අදම රාමු කොට ඉල්ලීමයි. වෙනදාට ඈ මෙවැනි ඉල්ලීම් කරන්නේ නැත. වෙනදාට රූප භාර දී ඒවා නැවත ගෙන යන්නට ඇය එන්නේ දින දෙක තුනකිනි. අද එසේ නැත. ඇයට සෑහෙන්න හදිස්සිය. රූප රාමු කොට අදම ඕනෑය.රාමු කරන තුරු නිවස තුල ඇය අසුන්ගෙන සිටියි. ඕපාදූප, විහිළු අතරමැද වරින් වර ඇය කර ඔසවා බැලූයේ රූප රාමු කිරීම අවසන් කොට ඇද්දැයි කියා දැන ගැනීමට ය. ඇගේ උවමනාව, හදිස්සිය වටහා ගත් රෝලන්ඩ් ඉතිරි වැඩ නවතා ටින්ටස් ඇන, ලීපටි, වීදුරු හා අනෙකුත් අඩු වැඩි  උපකරණ ගෙන රූප දෙක රාමු කිරීමට පටන් ගත්තේ ඈන් ට සිතෙන් බනිමිනි.

" ආ ළමයෝ මෙන්න ඉවරායි" කියා රෝලන්ඩ් රාමු කරන ලද පින්තූර දෙක ඈන් ට දුන් විට ඇය පින්තූර දෙක ගෙන පින්තූරයට මඳක් සිනා සී මයිකල් ගේ පින්තූරය ලමැදට තුරුළු කර ගත්තාය. අනතුරුව පින්තූර දෙකම රෝලන්ඩ් දුන් මල්ලට දමා ගත් ඈන් ඉක්මනින් සමුගෙන ගෙදරට පැමිණියාය. එසේ පැමිණි ඈ ඇගේ නිදන කාමරයේ ඇඳට පැහැදිලිව පෙනෙන පරිදි මයිකල් ගේ රූපය බිත්තියේ රැදෙව්වේ තනියම සිනා සෙමිනි. 


මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!