ඉරුණු ජීවිත 26 (නවකතාව) ඈන් නම් ගර්භණීය

පරිච්ඡේදය 27 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්

සති කිහිපයක් ගත වන විට ඈන්ගේ සිරුර වෙනස් වන්නට පටන් ගත්තේය. මුහුණ සුදුමැලි වී ගොස් තිබුණු අතර ඈන් උදේට අවදි වුයේ ද අසීරුවෙනි. කෑම ගැනීමට එතරම් ප්‍රියතාවයක් ඇයට නොවීය.උදේට වමනය යෑමත් කුස තුල සිදුවන පෙරළියත් තේරුම් ගැනීමට ඈන්ට අමුතුවෙන් කියා දිය යුතු නැත. මේ බව හෙදියට වෛද්‍යවරයාට හෙළි වූයේ බොහෝම ඉක්මනටය. ඈන්ගේ නාඩි අල්ලා බැලු වෛද්‍යවරයා කරුණු වටහා ගත්තේ ඉතාම ඉක්මනිනි. ඈන්ගේ මුහුණ දෙස හැගීමෙන් තොර බැල්මෙන් බලා සිටි වෛද්‍යවරයා ,"දැන් වැඩිය බර වැඩ කරන්න එපා" යැයි කීවේ යමක් කීමට අවශ්‍ය බැවිනි. ඈන් හා හෙදිය මේ තත්වය හොඳින් දන්නා බව ඔහු දනී. "ඈන්ට කැමති වෙලාවක වැඩ කරන්න. අකමැති වෙලාවට නිකන් ඉන්න, මටයි නර්ස්ටයි මේක බලා ගන්න පුළුවන්, සතුටින් ඉන්න" කියූ වෛද්‍යවරයා ඔහුගේ කුටියට යන අතර "නර්ස් ඔය උණ ලෙඩ්ඩු ඈන් ගාවට දාන්න එපා, කෙලින්ම මට එවන්න" යැයි කීය.

ඈන්ට වැළදී ඇත්තේ ඕනෑම නිරෝගී කාන්තාවකට විවාහයෙන් පසු වැළදෙන ලෙඩකි. විවාහක කාන්තාවන් ඉතා කැමැත්තෙන් හදා ගන්නා ලෙඩකි. නමුත් මෙතන ප්‍රශ්ණය ලෙඩේ නොවේ. ඈන් නීත්‍යානුකූලව විවාහ වී නොතිබීමයි.

දරු ගැබට මාස තුනක් පමණ දැන් ගත වී ඇත. ඈන් මේ පිළිබඳව දන්වා මයිකල්ට ලිපියක් යැවුයේ මීට මාස දෙකකට පමණ පෙරය. එයට ප්‍රතිචාරයක් නොලැබුණ බැවින් මීට සති කිහිපයකට උඩදී ද ඈන් ලිපියක් මයිකල් වෙත යැවීය. එයට ද පිළිතුරක් නොලැබුණ විට ඈන් ගේ සිත කලබල විය. ඈන්ගේ සිතට නිතරම නැගී ආවේ "මයිකල් ට කරදරයක් ද දන්නෑ" යන සිතුවිල්ලයි. ඈන් තවමත් විශ්වාස කරන්නේ නොවැලක්විය හැකි කරදරයක් නිසා මිස මයිකල් තමන් අමතක කොට නොමැති බවයි.

දිනක් ඈන් වැඩ කටයුතු අවසාන වී රාත්‍රී කෑමද ගත් පසු වෛද්‍යවරයාට පැවසුවේ මයිකල්ගෙන් පිළිතුරක් නොමැති බවත් , මයිකල්ට යම් අකරතැබ්බක් වී ඇතැයි තමාට සිතෙන බවත් ඒ පිළිබඳව සොයා බැලීමට තමන්ට සිතෙන බවත්ය. මයිකල් සොයා යෑමට තමන්ට අවසර දෙන මෙන්ද වෛද්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කලාය.

"ඔය තත්වේ ඉද්දැද්දී කොහොමද? ඔච්චර දුරක් යන්නේ බෝට්ටුවේ විතරක් පැය බාගයක් විතර යන්න තියෙනවා" කියූ වෛද්‍යවරයා, කොහොමත් මම ලබන සතියේ ස්කොට්ලන්ඩ් යනවා බෙහෙත් අරන් එන්න. එතකොට ඒ ගමන්ම බලාගෙන එන්නම්. මට ඇඩ්රස් එක දීලා තියන්න" කියූ වෛද්‍යවරයා හෙදියගේ මුහුණ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවාගෙනය.

වැඩිහිටි ගැහැණියක් වූ හෙදියට එම ප්‍රශ්නාර්ථය වැටහුනද ඈන් ට වැටහුණේ නැත. 

"ඔව් කලබල වෙන්න එපා" හෙදිය කිව්වේ ඈන් ට ද වෛද්‍යවරයාට ද නැතිනම් දෙදෙනාටම ද යන්න හරියටම දන්නේ ඇයම පමණක් වුවත් එම උත්තරය ඈන් හා වෛද්‍යවරයා යන දෙදෙනාම පහන් සිතින් භාර ගත්හ.

කාලය ගෙවී යන්නේ ඉතා ඉක්මනිණි. වෛද්‍යවරයා මේ ලෑස්ති වන්නේ අඩු වැඩිය රැගෙන ඒමට ස්කොට්ලන්තයට යාමටය. වෛද්‍යවරයා එලියට බැසීමට පෙර පිටුපසින් පැමිණ කොළ කැබැල්ලක් අත තැබුයේ ඈන්ය. එහි ඇත්තේ මයිකල් ගේ ලිපිනය බව වෛද්‍යවරයා දනී. අමුතු දුක් හැගීමක් වෛද්‍යවරයාගේ සිත පුරා පැතිර ගියද ඈන් දෙස බලා සිනාසුන වෛද්‍යවරයා මගට පිළිපන්නේ ඉක්මනින් තොටුපල කරා යාමටය. කවදාවත්ම නැතිව පය පැටලී වැටෙන්න ගිය වෛද්‍යවරයා අත් දෙපසට විහිදා කය සමබර කරගෙන නොවැටී බේරුණේ අසීරුවෙනි. නැවතත් අර අමුතු මූසල හැගීම වෛද්‍යවරයාගේ සිතට ඇතුළු විය. නමුත් වෛද්‍යවරයාගේ හදවතට වඩා බුද්ධිය ප්‍රභලය. බුද්ධියට ඉඩ දුන් වෛද්‍යවරයා ආපසු නොහැරී යන්නට ගිය ගමන පිටත් විය. 

මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!