ඉරුණු ජීවිත55 (නවකතාව) නඩු විභාගය
පරිච්ඡේදය 56 | Laksilu 2 වාර කියවා ඇත 0 අදහස්
බ්‍රහස්පතින්දා උදෑසනම අවදි වූ ඈන්, එරල් හා හෙදිය උදෑසන ආහාරයෙන් පසු ස්කොට්ලන්තය බලා පිටත් විය. ඈන් විලියම් නොමැතිව ස්කොට්ලන්තයට යන පළමු ගමන මෙයයි. එරල්ව අසල ගෙදරක නවතා යෑමට හෙදිය යෝජනා කලත්, ඈන් ඒ සඳහා වැඩි කැමැත්තක් නොපෙන්වීම නිසා එරල් ද රැගෙන යාමට හෙදිය අවසානයේ එකඟ විය. හෙදිය, විලියම්, හා ඈන් එරල් වෙනුවෙන් එකතු කොට තිබූ සියළුම මුදල් ඈන් අත් බෑගයට දමා ගත්තේ දඩයේ ප්‍රමාණය ගැන ඇයටවත්,හෙදියටවත් අවබෝධයක් නොතිබූ හෙයිනි. මඟ වියදම්, දිවා ආහාරය සඳහා වියදම් හා දිනක් දෙකක් නවතින්න වුවහොත් හෝටල් ගාස්තු ද ගෙවීමට සුදානම් ව තිබිය යුතුය.එරල් සෙන් කිල්ඩාස් දූපතෙන් පිටතට ගොස් ඇත්තේ කිහිපවාරයක් පමණි. ඒ ඔහුගේ හදවතේ සිදුර පිළිබඳව තිබූ සායන වලට සහභාගී වීමට පමණි.එම සෑම ගමනක්ම පාහේ ඔහු ගියේ ඈන් හා විලියම් සමඟිනි. එම ගමන් බිමන් බොහෝ විට සෙන් කිල්ඩාස් වලින් ස්කොට්ලන්තයට ,එතැනින් රෝහලට, රෝහලින් බෙහෙත් බඩු කඩයට එතැනින් නැවත සෙන් කිල්ඩාස් වලට සීමා වූ ඒවාය.එබැවින් එරල්ට මේ ගමනේ එතරම් අමුත්තක් දැනුනේ නැත. නමුත් ඔහුට අමුත්තක් දැනුනේ නැත්තේ ද නැත. ඒ ඈන් ගේ හා හෙදියගේ ස්වරූපයේය. වෙනදා මෙන් ඔවුන් දෙදෙනා මාරුවෙන් මාරුවට තමන් හා කතා නොකරන බව එරල් ට වැටහිනි. තවද ඔවුන් දෙදෙනා ද එකිනෙකාට කතා කරගන්නේ අත්‍යාවශ්‍යම කරුණු කිහිපයක් පමණි.ඔවුන් දෙදෙනාම තමන්ගේ කල්පනා ලෝක වල ගිලී ගමන් කරන බව එරල් ට වැටහුණි. ඔවුන්ගේ කල්පනා ලෝකයට එබෙන්න, එම කල්පනා ලෝකය බිඳ දමන්න එරල් ට බිය සිතුනු බැවින් ඔහුද කතා බහෙන් තොරවම ඈන් ගේ අතේ එල්ලී ගමන් කරන්නට විය.
ඔවුන් අමාත්‍යාංශයට පැමිණෙන විට වේලාව උදේ නමය යන්තම් පසුවුණා පමණි. අමාත්‍යංශයට ඇතුල් වුන ඈන්, එරල් හා හෙදිය විමර්ශන ශාලාව ළඟ එක පෙලට අසුන් ගෙන සිටියේ තමන්ව ඉක්මනින්ම ගන්නේ නම් හොඳයි යන හැගීමෙනි. මේ අතර එතැනට පැමිණි ස්ටීව් ඈන් හඳුනාගෙන මඳ වේලාවක් සුහදව කතා කොට කිසිම දෙයකට බිය නොවන ලෙසත් ,තමාගේ උපරිමයෙන් තමන් ඈන් ට උපකාර කරන බවත් පවසා කාමරය තුලට ගියේය.
හරියටම උදෑසන දහයයි පහ පමණ වන විට ඈන්,හෙදිය හා එරල් ව කාමරය තුලට කැඳවන ලදී. අවුරුදු පනහක් පමණ වයසක පුද්ගලයකු දිග මේසයක් මධ්‍යයේ අසුන්ගෙන සිටි අතර ඔහුට වම් පසින් ස්ටීව් අසුන්ගෙන සිටි අතර දකුණු පසින් තවත් කාන්තාවක් අසුන්ගෙන සිටියාය. ස්ටීව් ඈන් දෙස බලා මඳ සිනාවක් පෑ නමුත් ගැහැණිය ඇය දෙස හෙළුවේ එතරම් ප්‍රසන්න නොවන බැල්මකි.
ඈන් ගේ "නඩු විභාගය " එතරම් වේලාවක් පැවතියේ නැත. ඈන් වරද පිළිගත් අතර නැවතත් එවැනි වරදවල් නොකරන බවට බයිබලයේ අත තබා සපථ විය. ඈන් වෙනුවෙන් කරුණු දැක්වීම ස්ටීව් විසින්ම කරන ලද අතර පවුම් සීයක දඩයකට යටත් කොට ඈන් මුදා හරින ලදී.
පවුම් සීය ගෙවා එලියට පැමිණි ඈන් කතා බහක් නොමැතිව නැවත සෙන් කිල්ඩාස් බලා ඒමට පිටත් විය. ශෝකය පිරී තිබුණු ඇගේ මුහුණ දුටු එරල් ද ,ඊට නොදෙවෙනි තරමට දුක මුහුණක් තිබු හෙදිය ද කිසිවකුගේ ධ්‍යානය බාධා නොකිරීමට ඉටා ගත්තවුන් මෙන් ඈන් පසුපස ඇදෙන්නට විය.
මතු සම්බන්දයි