ඉරුණු ජීවිත54(නවකතාව) ස්ටීව්ගේ කරුණාව
පරිච්ඡේදය 55 | Laksilu 2 වාර කියවා ඇත 0 අදහස්
ඈන් නිවස තුලට ගොස් සිය අල්මාරියේ තබා ඇති එරල් ගේ වෛද්‍ය වාර්තා සියල්ල ඇති ෆයිල් කවරය රැගෙන',නැවත'ලෙඩුන් බලන කාමරයට පැමිණ එම ෆයිල් කවරය ස්ටීව් කියා තමා හඳුන්වා දුන් පළමු නිලධාරියට දුන්නේ කණගාටුවෙනි. තමාගේ එකම බලාපොරොත්තුව එරල් ජීවත් කරවීමයි.ෆයිල් කවරයේ ලේඛන එකින් එක හිමින් සීරුවේ පිටතට ගෙන,ස්ටීව් ඒවා කියවන්නට වූයේ දැඩි අවධානයෙනි. දොස්තර බ්‍රවුන් විසින්කරන ලද සහතික කිරීම්, එක්ස් කිරණ ඡයාරූප හා කාඩියෝග්‍රෑම් එකිනෙක වෙන වෙනම හෙමින් සීරුවේ ස්ටීව් පරික්ෂා කරන අතර තුර ජස්ටින්, හෙදිය හා එරල් සමඟ කාමරයට ඇතුළු විය. කාමරයේ පොලිස් නිලධාරීන් ද, නාඳුනන තවත් කිහිපදෙනුකු ද සිටීම එරල්ට පුදුමයකි. කිසිදා තමාගේ නිවසට පොලිසියෙන් පැමිණෙනු ඔහු දැක නැත. ඔහු වැඩිපුරම දැක ඇත්තේ තොටුපල අසල මුරපොලෙහි නිදි කිරා වැටෙමින් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා පමණි.
එරල් දෙස හිමින් සීරුවේ බැලූ ස්ටීව්,
"පුතා, පොඩ්ඩක් ලඟට එන්න කෝ" කියා එරල් තමා ලඟට කැඳවා හිස අත ගා, ඈන් දෙසට හැරී ,
"මට ස්ටෙත් එක පොඩ්ඩක් දෙන්න පුළුවන් ද ? ඩොක්ටර් " කියා ඇසුවේ එරල්ට අමුත්තක් නොතේරෙන්ට විය යුතුය.
"වෙද නලාව කනේ පලදා ගත් ස්ටීව්,එරල්ගේ පපු ප්‍රදේශය පරීක්ෂා කලේ අවධානයෙනි. අනතුරුව වෙද නලාව පසෙක තැබූ ස්ටීව් වෛද්‍ය වාර්තා සියල්ල ෆයිල් කවරයට දමා තමා ළඟ තිබූ සටහන් පොතක යමක් ලිවීමට පටන් ගත්තේය.
මේ සෙනග අතරින් කාමරය තුලට පැමිණියේ ඈන් හා හෙදිය හොඳින් දන්නා අයෙකි. ඔහුගේ නම මාර්ක් ය. ඔහු දෙස හිස ඔසවා බැලූ නිලධාරියා නැවත සන්සුන්ව සිය රාජකාරියේ යෙදෙන්නට විය. මාර්ක් ඉවසිලිවන්තව බලා උන්නේ නිලධාරියා සිය කර්තව්‍යය අවසන් කරන තුරුය.
මාර්ක් යනු ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයෙකි. ඔහු දූපතේ සැමටම වඩා පොහොසත්ය. නිලධාරියා ඔහු දෙස බැලූ විට මාර්ක් යමක් කීමට උත්සාහ කලත් නිලධාරියා එය වැළක්වීය.
"ළමයාගේ තත්වය සලකල මට ඔබතුමියට පොඩි සහනයක් සලසන්න පුළුවන්. නීතිය අනුව නම් දැන් මම ඔබතුමියව රිමාන්ඩ් භාරයට ගැනීමට නියම කරන්න ඕනේ. නමුත් මම මානුෂිකව සලකලා බලලා මෙහම දෙයක් කරලා දෙන්නම් කියූ ඔහු හෙදිය දෙසත්, ඈන් දෙසත්, මාර්ක් දෙසත් බලා නැවත කතා කරන්නට පටන් ගත්තේය.
"මම මේකේ ලිව්වා මෙතන තිබුනේ සම්භාහන මධ්‍යස්ථානයක් කියලා, නමුත් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමටත් මිනිස්ට්‍රි එකෙන් අවසර ගන්න ඕනේ. නමුත් ඩිස්පෙන්සරියක් තරම් භයානක නැහැ. ඩිස්පෙන්සරියක් සුදුසුකම් නොලත් වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන ගියා කියලා ඔප්පු වුනොත් ඔබතුමියව හිරේ දාන්න පුළුවන් " කියූ ඔහු නැවත ඈන් දෙසත් එරල් දෙසත් බැලීය.
"නමුත් ආයේ කවදාවත් මේ ඩිස්පෙන්සරිය නම් අරින්න එපා. අවසර නැති සම්භාහන මධ්‍යස්ථානයක්පවත්වාගෙන ගියා කියලා ඉන්කුවරී එකේ දී පිළිගන්න. උපරිම දෙන්න පුළුවන් දඩුවම දඩයකට යටත් කිරීම විතරයි. දඩේ ගෙවලා ඇවිල්ලා වෙන මොනා හරි කරලා සල්ලි හොයා ගන්න " කියූ ඔහු
"දැන්, මට ඇප කාරයෝ දෙන්නෙක් ඕන කරනවා මෙතන අත්සන් කරන්න. ඔබතුමිය ලබන බ්‍රහස්පතින්දා උදේ දහයට මිනිස්ට්‍රියට එන්න, ස්කොට්ලන්ඩ් වල , මේ සියලුම ලිපි ලේඛන අරගෙන එන්න අමතක කරන්න එපා, විශේෂයෙන් ළමයාගේ වෛද්‍ය වාර්තා, ඒවායින් පොඩි සහනයක් ගන්න සමහර විට පුළුවන් වේවි."
"හරි, දැන් කව්ද ඇපයට අත්සන් කරන්නේ"
මාර්ක් සිය කැමැත්තෙන්ම ඈන් වෙනුවෙන් ඇපයට අත්සන් තබන ලද අතර අනෙක් ඇපකරුවා ලෙස අත්සන් තැබුයේ හෙදියයි.
නිලධාරියා යාමට සුදානම් වී ඈන් දෙස බලා
"ගුඩ් ලක් ඈන්, බ්‍රහස්පතින්දා හමුවෙමු" කියා ඇයට අතට අත දී මඳ වේලාවක් අත මිරිකාගෙන සිටියේය. ඈන් ද අමුතු අතට අත දීම නොතේරුණා සේ නිලධාරියාට මුව නොසෑහෙන සේ "ස්තූති " කලාය.
මතු සම්බන්දයි