chapter 1 - ඇත්තටම ඔහු කවුද?

පරිච්ඡේදය 2 | Nova 60 වාර කියවා ඇත 0 අදහස්

📖chapter 1 - ඇත්තටම ඔහු කවුද?


මුළු නගරයම අන්ධකාරයෙන් වැසී යද්දි, පාරේ වාහන තදබදය ඔස්සේ මේ ඉදිරියට ඇදෙන්නේ 'ඩ්‍රිම්ස් එන්ටර්ටෙයින්ට්මන්ට්' සතු කම්පැනි වාහනයකි. 

"කීයටද මගේ ෆලයිට් එක?" 

වාහනය තුල ඇදුම් මාරු කරමින් සිටි ඩෙරික් ඇසුවේය.

"ම්...අටයි හතලිහට... මේ ට්‍රැෆික් එක නිසා අපිට වෙලාවට එයාර්පෝට් එකට යන්න පුළුවන් වෙයිද මන්දා."

 මෙසේ පිළිතුරු දුන්නේ රියදුරු අසුනේ සිටි ඔහුගේ මැනේජර් වන ජේමින් ය.

"අම්මෝ...ඇතියාන්තම්, ඒ වැඩෙත් හරි! මන් හිතුවෙම ඩිරෙක්ටර් කාරයා තව සතියක්වත් මේ වැඩේ අදියි කියලා. "

'ඩෙරික්' කියන්නේ, මුළු ලෝකයක්ම ආදරයෙන් වැළදගත් සුපිරි නළුවෙක්. ලොකු කුඩා වයස් භේදයකින් තොරව, ලෝකය පුරා සිටින ෆැන්ස්ලා ඔහුට මෙතරම් ආදරයක් දක්වන්නේ, ඔහු තුල ඇති ඒ අවංක , නිහතමානි ගතිගුණ වලටයි. මන්ද යත්, ඔහු ඔහුගේ කාර්යයබහුල ජීවිතයෙන්, දුප්පත් දරුවන් හා අසරණ වූ වැඩිහිටියන් සදහා කාලය වෙන් කරන්න කිසිදිනක අමතක නොකරන නිසාවෙනි.

ඔහු නිතරම පවසන්නේ, ඔහුගේ ජිවිතේට වාසනව රැගෙන එන්නේ ඔහුට ආදරය කරන ෆැන්ස්ලා බවයි. කෙසේවෙතත් ඩෙරික්, තරුණියන් අතර නම් ප්‍රකට වන්නේ 'ඩි.කේ.' යන අනුවර්ත නාමයෙනි.  

"ආහ්... ඔන්න මේ... අද නම් ෆැන්ස්ලාගේ මල් පොකුරුයි, ලව් ලෙටර්සුයි ගන්න නම් වෙලාවක් නෑ හොදේ... ෆලයිට් එක මිස් වුණොත් හෙට උදේ වෙනකන් බලන් ඉන්න වෙයි; අනික මට කියන්න අමතක වුණා, හෙට උදේම ඔයාට බොසාගෙන් කැදවීමක් තියෙනවා."

"කැදවීමක්...! , ආහ්! මේ පාර මොකක්ද දන්නෑ, ඔය ඩ්‍රිම්ස් එකේ ලොක්කා කතා කරා කියන්නේ මොකක් හරි මරාලයක් තමා ඉතින්."

"මේ... ඔයා මට හොරෙන් ලව් එකක්වත් මේන්ටේන් කරන් යනෝ එහෙම නෙමෙයි නේ...? "

 මැනේජර් ජේමින් සැක මුසු බැල්මක් ඩෙරික් වෙත හෙලීය.

"ඇත්තටම අද තිබ්බ වැඩත් එක්ක මට ඔයා ගැන තියෙන අප්ඩේට්ස් මොනවද කියලා බලන්නත් බැරි වුණා... කොහොමද, මොකෙක් හරි බූරුවෙක් දාලා තිබ්බොත්... 'ප්‍රසිද්ධ නළු ඩි.කේ.ගේ ආදර හුටපටය...' ඩ්‍රිම්ස් එකේ ලොක්කා එහෙනම් මුලින් ම එලවන්නේ මාවයි."

"ලව් එකක්!, හ්ඃ... ඔයා මට විහිළු කරනවද? විසි හතර පැයේම ඔයා මගේ නැට්ට වගේ ඉදගෙන හැම තිස්සේම දේශනා දෙනකොට, මොන රිලේෂන් ෂිප් ද, ඔන්න බලනවකෝ, ඔයාටවත් වෙන්නේ මුළු ජීවිත කාලේම තනිකඩව ඉන්න තමයි... මට නම් තාම විසි පහයි. හැබැයි ඔයාට නම් දැන් තිස් පහත් පැනලා නේද්?"

ඩෙරික්, ජේමින් ට සරදම් කටරන්නට විය.

"මොකක්ද...? මොකක්ද කිව්වේ...! මට තාම තිස් පහයි..."

"ඔන්න! ඔන්න! අපි එයාර්පෝට් එකට අවා..."

ඩෙරික් ක්‍ෂණිකව කතාව වෙන මගකට හැරවූයේ, ජේමින්ගෙන් හොදවයින් වචන දෙක තුනක් අහාගන්න වේ යැයි තිබු බිය නිසාවෙනි.

ඩ්‍රිම්ස් හි කම්පැණි වාහනය සෙනග අතරින් ඉදිරියට ඇදෙයි. රාත්‍රිය කියාද වෙනසක් නැත. ඩෙරික්ගේ රසිකයන් , ඔහුට සුබ පැතුම් එක් කිරීමට මග දෙපසට රොක් වී ඇත. වීදිය පුරාම ඇසෙන්නේ එකම ශබ්දයයි. ඒ, 'ඩිකේ' යන නමයි.

...

ඩෙරික් ගුවන් යානයට ගොඩ වෙයි. ඔහු පළමු පංතියේ , සුපකභෝගි ගුවන් අසුනක සුවපහස විදිමින් තම ගුවන් ගමන අරඹයි.

( ලස්සන කුඩා ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අත් අල්ලා ගනිමින් බඩ ඉරිගු යායක් මැදින්, කදු මුදුනක් වෙතට දිව යති. ඔවුන් කදු මුදුනට විත් වේගයෙන් සුසුම්ලමින් ගිමන් හරිති. කදු මුදුන අවට , හරිත පැහැයෙන් යුත් විශාල තණ බිස්සකි. ළමුන් දෙදෙනා එකවරම බිම වැතිරුනේ, ඔවුන්ගේ පුන්චි දෙපා වලට පොඩි විවේකයක් දිමටයි. ඔවුන්ගේ මුහුණුවල තිබුණු ඒ සතුට, ඒ හිනාව, බලා සිටින ඕනම කෙනෙකු සුවපත් කිරීමට සමත්‍ ය. 

"රුමී..., අපි දෙන්නගේ මේ යාළුකම කවදාවත් නැති වෙන්නේ නෑ නේද...? ඔයාට හැමදාටමත් මාව මතක තියේවි නේද...?" 

කුඩා පිරිමි ළමයා, ගැහැණු ළමයාගෙන් ඇසීය. 

"හ්ම්..." 

ගැහැණු ළමයා හිස සෙලවිය. 

"මන් පොරොන්දු වෙනවා. අපි හැමදාමත් හොදම යාළුවෝ... මන් කවදාවත්ම ඔයාව අමතක කරන්නේ නෑ..."

එසේ පවසමින් රුමී, ඇගේ නමින් ඔහු වෙත පොරොන්දුවක් සිදු කරයි.

"දන්නවද රුමී... , මන්... මන් දෙයක් දැක්කා... ඇත්තටම එයාලා හොද මිනිස්සු නෙමෙයි... එයාලා ඔයාගේ අම්මයි, තාත්තයි ගැන ගොඩක් නරක දේවල් කිව්වා. මන් දැක්කා එයාලා, ඔයාගේ අම්මටයි, තාත්තටයි කරදරයක් කරන්න හැදුවා... "

පිරිමි ළමයා කලබලයෙන් යුතුව, දිගින් දිගටම එකම දේ පවසන්නට විය.

 එකවරම, රුමීගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන්නට පටන් ගනී. ඇය එකවරම එතනින් නැගිට, 

"මොනවද මේ කියන්නේ...? මොකක්ද මේ වෙන්නේ...?"

රුමී තමගේ කන් දෙක අත් වලින් වසාගෙන කෑගසන්නට විය. 

"මන් දන්නේ නෑ..., මට මුකුත් මතක නෑ... අනේ මට යන්න දෙන්න... ඔයා කවුද...? ඇයි මන් මෙතන ඉන්නේ...? මට අම්මයි, තාත්තයි ළගට යන්න ඔනේ..."

රුමීගේ මේ ක්‍ෂණික වෙනස් වීමට, කලබල වූ පිරිමි ළමයා, රුමී වෙත ආවේ ඇයව සන්සුන් කිරීමේ අරමුණෙනි.

"රුමී... ඔයාට මාව ඇහෙනවද? මොකක්ද ඔයාට වුණේ...?"

එකවරම රුමී ඔහුගේ අත ගසා දමමින් කෑගසන්නට විය,

"ඔයා කවුද? , මන් ඔයාව දන්නේ නෑ... , මගේ ළගට එන්න එපා...!"

"රුමී... ඇයි මේ ..., ඔයාට මාව මතක නද්ද...? මන් ඩෙරික්, ඔයාගේ හොදම යාළුවා...ඇයි දැන් ටිකකට කලින් පොරොන්දු වුණේ... "

බියට පත් වූ රුමී අඩියෙන් අඩිය පසුපසට තබයි.

ඇය නොදැනුවත්වම කදු මුදුනේ කෙළවරටම පැමිණ ඇත.

එය දුටු පුන්චි ඩෙරික් වාහාම ඇයව බේරා ගැනීමට ඇය වෙත පැමිණියත්, සිදු වූයේ අනපේක්ෂිත දෙයකි.

රුමී එකවරම ක්‍රියාත්මක වී, තමා වෙත එන පුන්චි ඩෙරික් ව කදු මුදුනින් පහල ඇති ප්‍රපාතයට තල්ලු කරන්නට විය. )

ඩෙරික්, එකවරම තිගැස්මෙන් යුතුව තම සිහිනෙන් අවදි වන්නට විය.

ඔහු අවදි වී, වට පිට බලද්දි, ඔහුට දකින්නට ලැබුනේ, ගුවන් යානයේ සිටින පුද්ගලයින් බයෙන් කෑගසන ආකාරය හා ගුවන් සේවිකාවන් ඔවුන්ව සන්සුන් කරන ආකාරයයි.

ඔහු කලින් දුටුවේ සිහිනයක් වුවත්, දැන්නම් එය ඇත්තටම සිදුවනාවා මෙන් ඔහුට දැනෙන්නට විය. මන්ද යත්, අනපේක්ෂිත ලෙස ඔහු ගමන් ගන්නා ගුවන් යානයේ හට ගත් දෝෂයක් හේතුවෙන්, එය පාලනයකින් තොරව, පහලට කඩා වැටෙමින් තිබුණි.

ඔහුට ඒ කම්පනය දරා ගැනීමට නොහැකිව, ඔහු තම අසුන මතම සිහි සුන් විය.

ඔහු අවසාන වශයෙන් දුටුවේ, ඔහුගේ මැනේජර් ජේමින්, ඔහු වෙත පැමිණ ඔහුට කතා කිරීමට උත්සහා කල ආකාරය පමණි.

...

ටි.වි. වල, රේඩියෝ වල, මේ සෑම තැනකම අසන්නට හා දකින්නට ලැබුනේ එකම පුවතකි.

'පෙරදින රාත්‍රි 8.40 ට, 'චැන්ග්වා' ගුවන් තොටුපලින් ගමන් ඇරඹූ මගීන් 150ක් රැගත් 'BIA514' ගුවන් යානාව, එහි ගමනාන්තය වූ 'ෂූ මින්ග්' ප්‍රාන්තයට ගොඩ බැස්වීමට ආසන්න අවස්තාවේ ගුවන් යානාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්, අලුයම දොළහයි විසි දෙකට පමණ ගුවන් යානාව පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත් වී ඇත. ගුවන් නියමුවන් දෙදෙනාට හා මගීන් 35 දෙනෙකුට බරපතල තුවාල හා මගීන් දහසය දෙනෙකුට සුළු තුවාල ඇති අතර, මරණ කිසිවක් වාර්තා නොවේ. මේ සම්බන්ධව රජය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇත. තවද මෙම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ, ලෝක ප්‍රසිද්ධ නළු ඩී .කේ ද සිටින බවට නිලලත් ආරංචි මාර්ග හරහා දැනගැනීමට ලැබී තිබේ. රෝහල් වාර්තාවට අනුව, ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවට ආරංචි මාර්ග ලැබෙයි. '

....

මුළු පරිසරයම නිශ්ශබ්දතාවයේ ගිලී ඇත. අන්ධකාරය ඔස්සේ නගරයේ ඈතින් මේ උසට උසේ දිස්වන්නේ, 'වෙස්ට්ලයිෆ් ' රෝහලයි. පරිසරයේ නිහඬ බව රෝහල තුළ ඇති කරන්නේ, මහ අමුතු මුස්පේන්තු හැඟීමකි.

රෝහලේ කොරිඩෝවේ කෙළවරම කාමරයක් විය. එහි දොරෙහි 314 ලෙස කොටා ඇත.

කාමරය තුළ ඇත්තේ ඉතා සිහින් ආලෝකයකි. ඇඳ මත සිටින රෝගියාගේ අතෙහි ඇඟිලි සෙලවීමෙන් පෙනෙන්නේ, ඔහුට ක්‍රමයෙන් සිහිය ලැබෙන බවයි. එකවරම ඔහු පියවි සිහියට පැමිණෙයි.

"ජේමින් අයියේ..."

ඔහු කොඳුරන්නට විය.

නමුත් ඒ පිටවූ වචන දෙක ඩෙරික්ව කලබලයට පත් කරන්නට විය. මන්ද යත්, එම වචන දෙක පිට වූයේ ඔහුගේ හඬින් නොවන බව ඔහුට වැටහුණු බැවිනි. ඔහු නැවත නැවතත් කතා කරමින් ඔහුගේ හඬ පරික්ෂා කරන්නට ගත්තේය. නමුත් සිදු වුයේ, ඔහුගේ ගොරෝසු කටහඬ වෙනුවට, තරුණියකගේ මෙන් ඉතා ලාමක හඬක් මතුවීමයි. මෙය ඔහුව තව තවත් කලබලයට පත්කරන්නට විය. 

ඔහු ඔහුගේ දෑත් දෙස බලයි. ඒවාත් බැලූ බැල්මට තරුණියකගේ මෙන් පෙනෙයි. 

ඔහු ක්ෂණිකව, ඔහුගේ අතට සවි කර තිබූ සේලයින් කටුව ඇද දමා, එතැනින් පිටව යාමට උත්සහ කරයි.

එකවරම, ගැට ගසා තිබූ කොණ්ඩය ලිහිල් වී, එය ඔහුගේ මුහුණට වැටෙන්නට විය.

"ආහ්....!"

ඩෙරික් කෑගැසුවේය.

"මොකක්ද මේ...! මොකක්ද මට මේ වෙලා තියෙන්නේ....!, අනේ දෙයියනේ මගෙ වොයිස් එක...! කොහෙද එක ගියේ...! , කලබල වෙන්න එපා ඩෙරික්! කලබල වෙන්න එපා! මන් හිතන්නේ තාම මං හීනෙකද කොහෙදෝ ඉන්නේ... "

ඩෙරික් එය සනාථ කරගැනීමට, වැරෙන් පහරක් ඔහුගේ කම්මුල මත පතිත කළේය.

"ආ...වූ...! ආහ්..., මගේ කම්මුල..."

ඩෙරික්, කම්මුලේ අත තබාගනිමින් කෙඳිරි ගෑවේය. තවමත් ඔහුගේ හඬෙහි නම් කිසිදු වෙනසක් සිදු නොවීය. 

ඔහු තවමත් ඔහුගේ රියල් වොයිස් එක ගැනීමට වෙර දරයි.

ඔහුට හැකි සියලු දේ කිරීමෙන් අනතුරුව, රෝහල් කාමරයෙන් පිටවීමට ඔහු තීරණය කළේය.

රෝහල් කාමරයට ඇතුළු වන තැනම බිත්තියෙහි එල්ලා ඇත්තේ, කුඩා හුරුබුහුටි කණ්ණාඩියකි.

එය පසු කරනවාත් සමගම ඩෙරික් දකින්නේ ඔහුගේ ප්‍රතිබිම්බයයි.

"ආහ්....!"

ඩෙරික් බෙරිහන් දුන්නේය.

ඔහුට හැකි වූයේ කෑගැසීමට පමණි. එකවරම ඔහු සිහිසුන් වී ඇද වැටෙන්නට විය. මන්ද යත්, කැඩපතෙහි ප්‍රතිබිම්බය වූයේ, රූමත් සියුමැලි හුරුබුහුටි තරුණියකි.

කෙසේ වෙතත් ඔහුගේ මේ කෑ ගැසීම රෝහල,දෙවනක් කිරීමට සමත් විය.

කාමරයට කඩා වැදුණු හෙදියන් සහ වෛද්‍යවරුන්, දොර අසල වැටී සිටි, තරුණියකගේ ස්වරූපයෙන් සිටි ඩෙරික් ව, ඔසවා  නැවතත් ඇඳ මතින් තබන්නට වහා කටයුතු කළෝය.

....

'වෙස්ට්ලයිෆ් ' රෝහලේ, 414 කාමරය අසල ඇති අසුනේ වාඩි වී සිටින්නේ, මැනේජර් ජේමින්ය.

414 කාමරයේ , ඇද මත සිහිසුන්ව වැතිර සිටින්නේ, සෑම අතින්ම ඩෙරික්ගේ රූපයට සර්වසම අයෙකි.

....

ඇත්තටම 314 කාමරයේ ඉන්නේ, සැබෑ ඩෙරික් නම්, මේ සිටින්නේ කවුරු වෙන්න පුළුවන්ද?

ඒක දැන ගන්න වෙන්නේ ඉතින් ඊළග කොටසින් තමයි....

.....

එහෙනම්, next chapter එකෙන් හමුවෙමු....👋👋👋 , love u guys...💗💗💗

මම ,

Nova Arcane.👑

2026 Nova — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
අවසාන පරිච්ඡේදය
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!