හිත හදා ගැනීම..
කෙටිකතා වෙනත් (Other)

හිත හදා ගැනීම..

Lacky93 14 0 0

වයසත් එක්ක මුහුකුරා යනකොට අපි හැමෝටම ජීවිතේ එක එක පරිච්ඡේද වලට මුහුණපාන්න වෙනවා.. මේවා සතුට, දුක සහ වෙනත් හැඟීම් වලට අයිති වෙන්න පුලුවන්.. ඒත් අපිට වැඩිපුර හිතේ රැඳෙන්නෙ මේ දුකත් එක්ක සම්බන්ධ සිද්ධි..මේවාගෙන් මිදෙන විධි කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුලුවන්.. ඒ විධි සොයා යන ගමනක්..

හිත කියන්නෙම අපිට ලැබිලා තියෙන හරිම පුදුමාකාර අවයවයක්.. අවයවයක් කිව්වට, හදවත දැකගන්න පුලුවන් උනාට හිත අපිට කවදාවත් දැකගන්න ලැබිලා තියෙනවද? මං හිතන්නෙ නැහැ.. ඉතින් අපි හැමෝම අපේම කියලා හිතක අයිතිකාරයෙක්.. සමහරු දිහා බැලුවාම අපි කියනවානේ මේ මනුස්සයට නම් හිතක් පපුවක් නෑ කියලා.. ඒත් හිතක් නැති මනුස්සයෙක් මේ ලෝකේ නෑ.. හොඳ හෝ නරක හිතක අයිතිකාරයෙක් තමයි අපි හැමකෙනෙක්ම. මේ හිතට තියෙන විශේෂ හැකියාවක් තමයි අයිතිකාරයා කොතන හිටියත් මෙයාට පුලුවන් ඕනා තැනකට දුවන්න.. මේ ලෝකේ කාටත් කොච්චර පරීක්ෂණ කලත් තවම බැරි උනානේ අතීතෙට යන්න අනාගතේට යන්න.. ඒ උනාට අපි ලඟම තියෙන මේ හිත කොහෙද නොයන්නේ? එහෙම බැලුවාම හිතක අයිතිකාරයෙක් වෙන එකම එක්තරා විදියක වාසනාවක් නේද?? ඒත් හැමවෙලාවකම ඒක වාසනාවක් කියලා අපිට හිතෙනවාද? පෞද්ගලිකව මට හිතිලා තියෙන දෙයක් තමයි මේ හිත ගලවලා විසික් කරන්න පුලුවන් උනා නම් කියලා වෙලාවකට.. ඒත් අපි කාටත් ඒක කරන්න අමාරුයි.. හිත මර්ධනය කරපු, පාලනය කරපු අය මේ ලෝකේ නැතිවම නෙවේ නේ.. ඒත් ඒ ගැන හරි දැනුමක් නැතිව ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ.. මම මේ කතා කරන්නෙ මම වගේම හරිම සාමාන්‍ය, මනුස්සයො විදියට හොඳ, නරක, වැරදි, අඩුපාඩු තියෙන අය ගැන විතරයි..

මිනිස්සු විදියට අපි හැමෝම විවිධාකරයිනේ.. කවුරුත් එක වගේ නැහැ.. ඉතින් මේ හිතත් එක්ක ගණුදෙනු කරන විදියත් අපි එක එක්කෙනාගෙන් වෙනස් වෙනවා.. සමහරු එක්ක කතා කලාම

හිතෙනවා අනේ මටත් මේ වගේ සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් වුනානම් කියලා.. තවත් සමහරු එක්ක කතා කලාම හිතෙනවා අනේ මගෙ හිත කොච්චර කරුණාවන්තද කියලා.. මේ වගේ විවිධ අදහස් තමයි අපිට අහන්න දකින්න වෙන්නෙ..

ඉතින් ජීවිතේ අපි මුහුණපාන සමහර සිද්ධි වලට බලවත් විදියට අපේ හිතට බලපෑම් කරන්න පුලුවන්..උදාහරණයක් විදියට අපි කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගන්නකොට ඒ මුල් කාලෙදි ඇතිවෙන සතුට, ලස්සන මතක, මේ කෙනාගේ සුවඳ, කතාව, හැඩරුව හැමදෙයක්ම අපේ හිතේ තැන්පත් වෙලා හරි ලස්සනට හැමදේම සාධාරණීකරණය කරන්න ගන්නවා.. මේ අවධිය හරිම ලස්සනයි.. හිතට එන්නෙම ලස්සන සිතුවිලි විතරමයි.. ආදරේ කරපු කෙනෙක් හරියටම දන්නවා මේකේ තියෙන මිහිර.. මං හිතනවා පුංචි කාලෙ මතක වලට පස්සෙ අපිට ලැබෙන නැවුම් ඒ වගේම අමුතු නුහුරු හැඟීම් ගොඩක් එක්ක ගතවෙන හරිම ලස්සන කාලයක් තමයි මේ කෙනෙක්ට මුලින් ආදරේ ඇතිවෙන අවධිය..

ඉතින් ආදරේ එක්කම ඊලඟට එන දෙයක් තමයි මේ ආදරේ වේදනාව එහෙමත් නැත්නම් විරහව කියන්නෙ.. ඒකටත් විවිධ හේතු තියෙන්න පුලුවන්.. ඉතින් අපි නොවෙන තවත් කෙනෙක් නිසා තමයි අපිට ගොඩක් අවස්ථා වලදී වේදනාව ඇති වෙන්නේ.. කෙනෙක් ගැන හිත කැඩෙන්න හරිම පුංචි වෙලාවක් ඇති.. ඒත් ඒ හිතම හදාගන්න අපිට කොච්චර නම් කාලයක් ඕන වෙනවද? ඒ කොහොම හැදුනත් හිත සම්පූර්ණයෙන් සුවපත් වෙනවද? නෑ.. හිතේ පුංචිම කොනක හරි මේ හැමදේම රැඳෙනවා.. හරියටම බැලුවොත් අපි කරන්නෙ අර මුල් අවධියෙදි අපිට කෙනෙක් ගැන ඇතිවුන පැහැදීම මතක් කරන් හිමීට හිතට එන සෘණාත්මක සිතුවිලි ටික යටපත් කරගන්න හදන එක..

ඉතින් මට දැනෙන හැඟෙන විදියට අපි ගොඩක් දෙනෙක් මේ හැමදේම කරන්නෙ අපේ හිතේ සැනසීම වෙනුවෙන් නේද?

මට නම් සැනසීම කියන්නෙ හරි ලොකු වචනයක්, හරියටම කිව්වොත් මගෙ ජීවිතේ වැදගත්ම තැන හම්බෙන්නෙ මේ සැනසීමට.. සැනසීම

හොයන් යන ගමනක මට ඇතිවුන ලොකු ආසාවක් තමයි ඇත්තටම මේ සැනසීම විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා එක්ක කතා කරන එක.. අතීතය, අනාගතය නෙවේ මේ වර්තමානයේ කෙනෙක් කියනවා නම් මුලු හිතින්ම මගෙ ජීවිතේ මං ලොකු සැනසීමක් ලබනවා කියලා මට හරි ආසයි අදහස් බෙදාගන්න. මම මේ පෝස්ට් එක ලියන්න හිතුවෙම

විවිධාකාර අදහස් දැනගන්න ඇතිවුන ආසාව නිසාමයි.. එහෙමත් නැතිනම් ජීවිතේට මේ සැනසීම ලඟා කරගන්න කරන්න පුලුවන් දේ ගැන දැනගන්නයි.. හරියටම කිව්වොත් කැඩුනු හිතක් ආපහු යථා තත්වෙට ගේන්න අපි මොනවද කරන්න පුලුවන් කියලා විවිධ කෙනාගෙන් විවිධ අදහස් දැනගන්නයි.. ඉතින් ඔයාලාගෙ අදහස මොකක්ද? එක දිගට ඇතිවෙන සැනසීමක් අපි කාටත් හිමි නැද්ද? අපිට ඇතිවෙන්නේ කාලෙන් කාලෙට ලැබෙන තාවකාලික සැනසීමක් විතරමද??

2026 Lacky93 — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. පළමු අදහස දක්වන්න!