කාලය එළඹ ඇත part 1
කෙටිකතා වෙනත් (Other)

කාලය එළඹ ඇත part 1

asii 31 2 2

ගුප්ත විශ්වසයක් මත බිඳ වැටුණු පව්ලක්

🌷🌷🌷*කාලය එළඹ ඇත - Part 1*🌷🌷🌷


මෙය කලකට ඉහතදී මා හට අසන්නට ලැබුණු, හදවතට දැනුණු කතාවක් සේ මතකයේ රැඳී ඇත.

☘️☘️☘️☘️☘️


ශාන්ත සමරසේකර නිලීකා ජයසූරිය හා විවාහයට එළඹ වසර දෙකක් පමණ ඉක්ම ගොස් ඇත. ශාන්ත තරමක උස, පැහැපත් මුහුණක් ඇතත්, නිතරම පාහේ බැරෑරුම් ස්වරූපයක් මුහුණින් දිස්වේ. දේපළ, ඉඩකඩම් හිමි පවුලක එකම දරුවා වූ ඔහු ජීවත් වූයේ වයස්ගත තම පියා සහ මැදිවිය ඉක්මවූ ජිනේ නම් සේවකයා සමඟිනි.  


විවාහයට එතරම් උනන්දුවක් නොදැක්වූ ඔහු, පියාගේ අසනීප තත්වය මත සිදුවූ දැඩි බලපෑම නිසා, යන්තම් වයස තිස් හත සම්පූර්ණ වීමට මත්තෙන් නිලීකා සමඟ විවාහ වූයේ ද යෝජනාවක් මතය.  

නිලීකා ද වයස තිස්පහක පමණ වූ පවුලේ තනි දියණියකි. ගුණ යහපත්ය. ශාන්තගේ අඩු කතාබහ, බැරෑරුම් පෙනුම විනා, පවුල් දෙක තුළ විශාල ගැටලුකාරී බවක් පෙනෙන්නට නොතිබිණි.  


පියාගේ ව්‍යාපාර බලා කියා ගැනීම සිදුවූයේ ද ශාන්ත අතිනි. පියා දැඩි ලෙස රෝගාතුර වීම නිසා පසුගිය කාලයේ තරමක කාර්යබහුල වුවත්, ජිනේගේ උදව් නිසා නිලීකාට තරමක සහනයක් විය. කෙසේ හෝ පියා මීට මාස එකහමාරකට පමණ පෙර මිය පරලොව ගියේය. මෙය ශාන්තට බෙහෙවින් බලපෑ අතර, බොහෝ වේලාවට ඔහු නිහඬව කල්පනාවේ ගිලී සිටිනු නිලීකා දැක ඇත.

☘️☘️☘️☘️


නිලීකා දන්නා පරිදි ශාන්තගේ මව ඔහු කුඩා කාලයේ අන්ත්‍රා වී ඇත. දිනක් ඒ පිළිබඳව නිලීකා ශාන්තගෙන් විමසූ විට, ඔහු පවසා ඇත්තේ මව සිහිනෙන් මෙන් මතක බවත්, වැඩි යමක් ඔහු නොදන්නා බවත්ය.  


ජිනේ සමඟ දිනක් මේ පිළිබඳව ඇසීමේදී, ශාන්තට වයස පහළොවක් පමණ වන සමයේදී ඔහු මෙම නිවසට පැමිණි බවත්, මීට පෙර ශාන්ත හා පියා අනුරාධපුර ප්‍රදේශයේ සිට, මවගේ වියෝවෙන් පසුව නුවරට පැමිණි බවත් පමණක් දන්නා බවය.  


නිලීකා හා විවාහය ද සිදු කෙරුණේ අඩු සාමාජිකයන් පිරිසක් සහභාගී වීමෙනි. ඒ සඳහා ශාන්තගේ පවුලේ ලොකු අම්මා කෙනෙකුන් පමණක් වූ අතර, අනෙක් අය ව්‍යාපාර ස්ථානයේ කිහිපදෙනෙකි. ලොකු අම්මා පියාගේ මරණයට පවා නොපැමිණි අතර, මල් ශාලාවේ දිනක් පමණක් තබා මරණය ආදාහනය කළේය.

☘️☘️☘️☘️


පියාගේ වියෝවෙන් තෙමස් පින්කම සිදුකිරීමට නියමිත බැවින්, ගේදොර මැනවින් පිළියෙල කිරීමට අවැසි බව නිලීකා ශාන්තට දන්වා සිටියාය. ශාන්තගේ අදහස වූයේ එළඹෙන සෙනසුරාදා සේවකයන් කිහිප දෙනෙකු ඒ සඳහා යෙදවිය හැකි බවය.  


පුරුදු පරිදි ශාන්ත මෙදින ද ව්‍යාපාරික කටයුත්තකට බැහැර ගිය අතර, ජිනේ සමඟ නිලීකා ඉදිරිපස මිදුල සහ මල් පෝච්චි පිරිසිදු කළාය.

☘️☘️☘️☘️


මිදුල සුද්ද පවිත්‍ර කිරීමේ කර්තව්‍ය තරමක් වෙහෙසකාරී වූයෙන්, නිලීකා ජිනේව තේ පානයට යමක් රැගෙන එන ලෙස පිටත් කර හැර නිවස තුළට පිවිසීමට මත්තෙන්ම, තැපැල්කරුගේ සීනුවට නැවත මිදුලට පැමිණියාය.  


තැපැල්කරු විසින් ශාන්තගේ නමට ලියූ ලියමනක් නිලීකා අතට පත් කළේය. ඉතා පැහැදිලි ඇත් අකුරෙන් එවා ඇති ලියමන දුටු නිලීකාට තරමක් කුතුහලයක් ඇති විය. මෙතුවක් කාලෙකට ව්‍යාපාරික ආදී ලිපි විනා මෙවැන්නක් ලද පළමු අවස්ථාව මෙය විය. ඇය එය ශාන්ත එනතුරු මේස ලාච්චුව තුළට දැම්මාය.  


ශාන්ත මෙදින නිවසට එන විට තරමක අඳුර වැටී තිබුණි. සුපුරුදු පරිදි ගෙට ගොඩ වූ ඔහු, නිලීකා අතට බෑගය දී නිදන කාමරයට පිවිසුණේය. ඇය ද ඔහු පසුබසින් කාමරයට පිවිස, මේස ලාච්චුවෙන් එළියට ගත් ලියමන ඔහු අත තබන අතරම, ඔහුගේ මුහුණේ ඉරියව් සියුම් ලෙස පිරික්සීය.  


ශාන්ත ද තරමක් වික්ෂිප්ත අයුරින් ලිපිය දෙස බලා, මඳක් කල්පනා ස්වභාවයෙන් හිඳ නිලීකා දෙස බැලුවේය. නිලීකා ප්‍රශ්න විමසනවා වෙනුවට තේ රැගෙන ඒම පිණිස නික්මුණාය.  


"කාලය එළඹ ඇත. පැමිණෙන්න" යනුවෙන් ලියූ ලියමනේ යටින් යම් ලිපිනයක් සටහන් කර තිබිණි. ශාන්ත දෙබැම හකුළුවා තරමක් කල්පනා බරිත විය.  


නිලීකා තේ කෝප්පය හා හකුරු කැබලි දෙක පිඟාන මත තබා ගෙන එන ශබ්දය ඇසී, ශාන්ත හානිකට ලියමන නවා බෑගය තුළට දැමුවේය.


☘️☘️☘️☘


පළමු කොටස නිමයි.අවසන් කොටස එලඹිමට පෙර ඔබගේ අදහස් පහලින් ලියා තබන්න.

🌷🌷🌷




2026 asii — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved. story.lk
asiiගේ තවත් නිර්මාණ

අදහස් (2)
පිවිසෙන්න අදහස් දැක්වීමට.
thushan97

asii

thushan97 ❤ ස්තුතියි 💐