🌷🌷🌷කාලය එළඹ ඇත.🌷🌷🌷
Part 2
☘️☘️☘️☘️☘️☘️
ශාන්ත, වහා හිඳගෙන සිටි ඇඳ මතින් නැගිට නිලීකා දෙස බලන්නට විය. පසුව ඔහු ඇයට ස්ථිර හඬින් පැවසුවේ, මෙම සෙනසුරාදා ඉතා වැදගත් ගමනක් යා යුතු බවත් නිවසේ අලුත්වැඩියාව ලබන සතිය දක්වා කල් දමන බවත්ය. ජිනේට ද ඇමතූ ඔහු, සෙනසුරාදා දුර ගමනක් යා යුතු නිසා අවශ්‍ය දේවල් සූදානම් කරගන්නා ලෙස පැවසීය. මන්ද, දුර ගමනක් යාමේදී ශාන්ත තනිව රිය නොපදවන අතර ජිනේ රියදුරු ලෙස කටයුතු කරයි.
☘️☘️☘️☘️☘️
ගමන පිළිබඳ හාංකවිසියක ඉඟියක්වත් ශාන්තගෙන් නිලීකාට හෝ ජිනේට ලැබුණේ නැත. තිදෙනාම සෙනසුරාදා පාන්දර හතරට පමණ නිවසින් පිටත් වූහ. ඉදිරි අසුනේ ශාන්ත හිඳගත් අතර, නිලීකා කාරයේ පිටුපස අසුනේ වීදුරුවට හිස තබාගෙන යන්නට වූවාය. බොහෝ දුරක් ගෙවුණද එය ඉතා නිශ්ශබ්ද කාලයක් විය.
යන්තම් එළිය වැටුණු වෙලාවක අතරමග කඩයකින් උදෑසන ආහාර ලබාගෙන නැවත ගමන ඇරඹූහ. එවිට නිලීකා දුටුවේ ශාන්ත තම කමිස සාක්කුවෙන් පෙර ලියමන රැගෙන බලන අයුරුය. මගදිගට දෙතුන් දෙනෙකුගෙන් පමණ ලිපිනයක් ඇසූ අතර, නිලීකාට වැටහුණේ එය අනුරාධපුරයෙන් ඇතුළට වන්නට පිහිටි ගමක ලිපිනයක් බවයි.
උදෑසන දහය පමණ වන විට අදාළ ස්ථානයට පැමිණි බව නිලීකාට වැටහිණි. ඒ, අවසානයට මුණගැසුණු හීන් දෑරි තරුණයා ඇඟිල්ල දිගු කර පෙන්වූ නිවස දැකීමෙනි. ජිනේට වාහනය නතර කරන ලෙස සංඥා කළ ශාන්ත, වීදුරුව පහත් කොට විපරමින් ගේට්ටුව දෙස බලන්නට විය.
නිලීකා තවදුරටත් ශාන්තගෙන් ඇරයුමක් ලැබෙන තුරු කාරය තුළ රැඳී සිටි අතර, ශාන්ත දොර විවර කර බැස ගේට්ටුව අසලට යනු පෙනිණි. ඈතින් නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක් හා ඇයගේ දියණියක සේ කිව හැකි තවත් යුවතියක් සිටින බව කාරය තුළ සිටි නිලීකාට පෙනිණි. ඇයට කිනම් කාරණයක්දැයි නොවැටහුණු නමුත් හදවත ක්ෂණිකව ගැහෙන බව දැනිණි.
☘️☘️☘️☘️
"ලොකු අම්මේ!"
ශාන්තගේ මුවින් විශ්මයෙන් පිට වූ ඒ වචනයත් සමඟ නිලීකා ද ඉබේම කාරයෙන් බැස ගත්තාය. ඔව්, ඒ එදා විවාහ මංගල දිනයේදී දුටු ඔහුගේ එකම ඥාතියාය. පසෙකින් සිටින්නේ ඇයගේ දියණිය විය යුතු බව නිලීකා පසක් කරගත්තාය. එම යුවතිය වහා දිව අවුත් ගේට්ටුව ඇර ඇතුළට එන ලෙස සංඥා කළාය. ඇය වයසින් නිලීකාට සමාන වූ අතර, නාසයේ පෙනුම ශාන්තට බෙහෙවින් සමාන විය.
එක්වරම ඇසුණු ඉකිබිඳින හඬත් සමඟ වූ වේගවත් හැඬීමෙන් සියලු දෙනා මවිතයට හා භීතියට පත් වූහ. තවත් ලොකු අම්මාට සමාන වයසක කාන්තාවක් නොනවත්වා හඬමින් ශාන්තව බදා සිප ගන්නට විය. කිසිත් නොතේරුණු නිලීකා පසෙක වූ පුටුවක වාඩි වූවාය. ජිනේ ද මිදුලට වී විපරමින් බලා සිටියේය. ශාන්ත ද ඇයගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකිව, අසරණ බැල්මෙන් ගල් ගැසී සිටිනු දක්නට ලැබිණි.
☘️☘️☘️☘️
ලොකු අම්මා හඬ අවදි කළාය. "පුතේ, මම උඹට එන්න කිව්වේ මේකටයි."
ඇයගේ කතාව නිලීකාට නොතේරුණු අතර ශාන්ත ද නිහඬව බලා සිටියේය. "උඹ පොඩි කාලේ ලොකු අම්මා බලන්න එන්න අඬද්දී මම උඹට කිව්වේ කාලය ආවාම එන්න පුළුවන් කියලා. උඹට ඒ කාලය ආපු නිසයි මම අර ලියුමේ එහෙම ලිව්වේ. මට සමාවෙන්න පුතේ. උඹලගේ තාත්තාගේ සමහර නීති රීති අපිට වෙනස් කරන්න බැරි වුණා. මේ උඹ උපන් ගෙදර. තවත් මට මේවා හංගගෙන ඉන්න බැහැ. උඹ වාඩිවෙලා මේ කතාව අහගනින්, අපි හැමෝටම වෛර නොකර."
මෙය සමහර විට දේපළ ප්‍රශ්නයක් විය හැකි බව නිලීකා මෙන්ම ශාන්ත ද සිතන්නට විය. පසෙක වූ පුටුවල වාඩි වූ ඔවුන්ට, සේවිකාවක යැයි සිතිය හැකි කාන්තාවක ලවා තේ රැගෙන එන ලෙස දන්වා ලොකු අම්මා නැවත කතාව පටන් ගත්තාය.
"අවුරුදු තිස් පහක් කියන්නේ සුළු පටු කාලයක්ද? උඹ ලියමන දුටු සැණින් එයි කියලා මගේ හිත කිව්වා. ඔව්, තවත් මේවා හංගලා වැඩක් නැහැ. උඹලගේ තාත්තා මියයන තුරු උඹලගේ අම්මා උහුලපු ගින්දර ඇති මගේ පුතේ."
☘️☘️☘️☘️
ශාන්ත දෑස් ලොකු කරගනිමින් ඇය දෙස බලා සිටියේය. ඉකිගසා හඬන අනෙක් කාන්තාව පෙන්වමින් ලොකු අම්මා මෙසේ කීවාය. "ඔව්, මේ උඹට හීනෙන්වත් මතක නැති අම්මා. උඹට ඕනෑ කාලේ ළඟ නොහිටපු අම්මා පුතේ."
ශාන්තට වචන පැටලිණි. නිලීකාගේ දෑසින් කඳුළක් පිට විය. ශාන්ත තවමත් ගල් ගැසී බලා සිටියි. ලොකු අම්මා එක දිගටම කතාව පෙළගස්වන්නට වූවාය.
ශාන්ත ඉපදී වසරක් පමණ ගතවත්ම ඔහුගේ අම්මාට යළි දරුවෙකු පිළිසිඳගෙන ඇත. එකල ඔවුන් ජීවත් වූයේ මෙම නිවසේය. ශාන්තගේ පියා යහපත් පුද්ගලයෙකු වුවද, ඔහු ඇතැම් තද නීති රීති අනුගමනය කරන්නෙකි. ශාන්ත ලැබුණු දින පටන් පියා ඔහුට අසීමිත සෙනෙහසක් දැක්වීය. දෙවැනි දරුවා ලැබෙන්නට සූදානම් වීමේදී ඔවුහු නිතර යන දේවාලයක බාර වීමට එහි ගියහ. ශාන්තගේ පියා දැඩි ලෙස දේව ඇදහිලි හා අන්ධ විශ්වාස මත යැපෙන පුද්ගලයෙකි.
එහිදී දේවාලයේ කපු මහතා ආරූඪයෙන් පවසා ඇත්තේ, දෙවන දරුවා කිසි දිනක පළමු දරුවාට මුණගැසීමට ඉඩ නොදෙන ලෙසයි. එසේ වුවහොත් පළමු දරුවාගේ ජීවිතයට හානි වන බවත්, දිනක්වත් එකම නිවසක සිටීම පවා අසුභ බවත් ඔහු පවසා ඇත. එදා ඉන් පිටවූ ශාන්තගේ පියා දින කිහිපයක් යනතුරු තනිවම කාමරයකට වී කල්පනා කරමින් සිටියේය.
☘️☘️☘️☘️☘
අවසානයේ ඔහුගේ දැඩි ඒකමතික තීරණය වූයේ ශාන්ත සහ පියා වෙනම නිවසකත්, දියණිය සහ මව වෙනත් නිවසකත් ජීවත් විය යුතු බවයි. මවගේ අක්කා (ලොකු අම්මා) තනිකඩව විසූ බැවින්, ශාන්තගේ අම්මාගේ තනියට සිටීමත් නිවෙස් අතර සබඳතා පවත්වාගෙන යාමත් ඇය අතින් සිදු විය. ශාන්ත බැලීමට ලොකු අම්මා පැමිණි විට, ඇය සමඟ යාමට ශාන්ත පෙරැත්ත කළ සෑම විටකම "කාලය එළඹුණාම මම දන්වන්නම්" යැයි ඇය ඔහුගේ කනට කොඳුරා පැවසුවාය.
ඒ උදා වූ කාලය, පියාගේ වියෝවෙන් මාස එකහමාරකට පමණ පසු අද එළඹී ඇත. හැඬීමට හෝ සිනාසීමට තරම් සිහියක් ශාන්ත තුළ නොවීය. දිගු හුස්මක් හෙළා තම නැගණිය දෙස එක එල්ලේ බැලූ ශාන්ත, "මේ මූණද එතකොට මට අපලයි කිව්වේ?" යැයි පවසා උදාර වූ සෙනෙහසින් ඇය වැළඳගත්තේය.
කිව යුතු බොහෝ දේ හදවතේ හිරවී තිබුණද, රෑ බෝවීමට පෙර නිවස කරා යා යුතු බැවින් සියල්ලන්ගෙන්ම සමුගෙන නැවත පැමිණීමේ පොරොන්දුව මත ශාන්ත සහ නිලීකා කාරයට ගොඩ වූහ. ශාන්ත දිගු හුස්මක් හෙළා නැවත වරක් තම මව සහ නැගණිය දෙස බලා දෑස් පියාගත්තේය. ඔවුන්ව මින්පසු තමා සමීපයේම තබා ගන්නා බව ඔහු තමාටම පොරොන්දු විය.
කාරය වේගයෙන් ඉදිරියට ගමන් කරයි. අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දුන් සියල්ලෝම දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියහ. හවස් වන විට අනුරාධපුර පෙදෙසට ළඟා වෙද්දීම නිසංසල වැව් තාවුල්ලක් ශාන්තගේ නෙත ගැටිණි. වාහනය නතර කරන ලෙස සංඥා කළ ඔහු, නිලීකා දෙස මඳ සිනහවක් පා කාරයෙන් බසින ලෙස ආරාධනා කළේය. මෙතෙක් කලක් ඔහුගෙන් ඇය දුටු ළයාන්විතම බැල්මට ඇයගේ සියලු පීඩා අමතක වී වහා කාරයෙන් එළියට ආවාය.
ඇය එනතුරු පවා නොසිටි ශාන්ත, වැව් දිය තමාට ඉක්මනින් එන ලෙස පවසන්නාක් මෙන් පාර පනින්ට ඉක්මන් විය. එක්වරම විදුලි වේගයෙන් පැමිණි රියක් පළාතම සසල කරමින් මාරක තිරිංග තද කරද්දී, නිලීකාගේ මුවින් ශාන්තගේ නාමය මහා හඬින් දෝංකාර දෙන්නට විය...
😓😓😓😓😓
- සමාප්තයි.
ඔබේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න..
Part 1 -https://www.facebook.com/share/p/1LNQrXhv5y/