ඉරුණු ජීවිත 11 (නවකතාව) Fortuna දෙවඟන
පරිච්ඡේදය 11 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
ඈන් ගේ පියා හදිසි පපුවේ අමාරුවකින් මිය ගොස් ඇය මේ මහපොලවේ තනි වන විට ඇයට යන්තම් අවුරුදු දහතුන ලැබුවා පමණි. පියාගේ අවමඟුල සිදු කිරීමටවත් ඇය ළඟ මුදල් තිබුණේ නැත.මේ සඳහා ඇයට උදව් කලේ වෙදහලේ හෙදියත් වෛද්‍යවරයාත් ය.
මිය ගොස් ඇත්තේ දිළින්දෙකු බැවින් පල්ලියේ දේව පුජාවද කෙරුණේ ඕනෑවට එපාවටය. ඔහුට යහළුවෝද එතරම් නොවීය. යම්තම් හෝ හිතවත්කමක් දැක් වූ වන්ට ද මල ගෙදරට සහභාගි වීමට වැඩි උවමනාවක් නොවී ය. මුලික චාරිත්‍ර විධි ඉටු කිරීමෙන් පසු ඉතාමත් ඉක්මනින් අවසන් වූ මල ගෙදරින් පසු නැගුණ ප්‍රශ්ණය වූයේ තරුණ දැරියගේ වගකීම ගන්නේ කවුරුන් ද යන්නයි. මව වත් හරියට නොදන්නා දැරියට මව් පාර්ශවයේ නෑදෑයෝ නම් නොමැත. පිය පාර්ශවයේ නෑදෑයෝ ද නෑදෑ කම් පැවැත්වීම අතහැර තිබුණේ බොහෝ කලකට පෙරය. මෙම අවස්ථා වේ එම නෑදෑකම් නැවත අළුත්කර ගැනීමට ඒ කිසිවකුට උවමනාවක් වත් උනන්දුවක් වත් නොවීය. අවසානයේ ඇගේ වගකීම ඇයට කිසිඳු නෑකමක් නැති වෛද්‍යවරයා විසින් භාර ගනු ලබන්නේ හුදු අනුකම්පාව නිසාය. මේ අනුව කුඩා මළු දෙකක අසුරා ඇති ඇඳුම් පැළඳුම් ද සමඟින් ඇගේ නව නවාතැන වන්නේ වෙදහලයි.
වෙදහල ඇයට නුහුරු තැනක් නොවේ. එහි සතර කොන ඇයට හොඳට හුරුය. කාලයත් සමඟ එය ඇයට ඇගේ නිවසට වඩා ඇයගේම තැන වන්නේ වෛද්‍යවරයාගෙන් ලැබෙන කරුණාවත්, හෙදියගෙන් ලැබෙන ගුරු හරු කමුත් නිසාය.
ඇය උදේම නැගිටියි. වෙදහල අමදියි.පුටු මේස ආදිය පිරිසිදු කරයි.බඩු මුට්ටු, බෙහෙත් ද්‍රව්‍ය , උපකරණ නියමිත ස්ථානයේ තබයි. බෙහෙත් ගැනීමට එන අයට අංක ක්‍රමයක් ලබා දී පිළිවෙලට වෛද්‍යවරයාට යොමු කිරීම ඇය වෙදහලට හඳුන්වා දුන් ක්‍රමයකි. මීට අමතරව නිවැසි සියළු දෙනාටම ආහාර වේල් තුනක් ද ඇය විසින් පිළියෙළ කරයි.
මේ නිසා වෛද්‍යවරයාට දැනුනේ ලොකු පහසුවකි.ඔහුට තිබුණේ උදයේ අවදි වී සිරුර කිස නිම කර පිළියෙළ කර ඇති පාතරාසය ගෙන ලෙඩුන් පරීක්ෂා කරන කාමරයට යෑමය. හෙදියට තිබුණේ උදෑසන අවදි වී සිරුර කිස නිම කර පාතරාසය ගෙන බෙහෙත් කාමරයට යෑමය.ආහාර පාන ගැන සිතීමටවත් ඔවුන් දෙදෙනාට අවශ්‍ය නොවුයේ ඒවා කලට වේලාවට සුදානම් වන නිසාය.
මේ නිසා වෛද්‍යවරයාට තව වෙද පොත් කියවා දැනුම වැඩි කර ගැනීමට අවස්ථාව ලැබුණි. මේ නිසා ඔහුගේ වෙදහල දිනෙන් දින දියුණුවට පත් විය. වෛද්‍යවරයාගේ පෙර දැනුම අළුත් වීම හෝ නව දැනුම එකතු වීම හේතු කොට ගෙන පෙර ප්‍රතිකාර නොකළ තරමක් ලොකු ලෙඩ වලට ද වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීමට පටන් ගැනීම නිසා වෛද්‍යවරයාගේ අත මිට සරු විය. හෙදියගේ පඩි ද වැඩි විය. ඈන් ට නම් පඩි ලැබුණේ නැත. ඒ වෙනුවට ඇයට කියවීමට පොත පත , ලිවීමට අවශ්‍ය පෑන් පැන්සල් ආදිය මෙන්ම වෛද්‍යවරයා ස්කොට්ලන්තයට ගිය විට නවීන මාදිලියේ ඇඳුම් ආයිත්තම් , රූපලාවන්‍ය කට්ටල ඇයට ලැබෙන්නට විය. දිනෙන් දින හැඩවෙමින්, සුන්දර වෙමින් වැඩෙන ඇය තමාගේ නිවසට පැමිණි Fortuna දෙවඟන මෙන් හැඟුන නිසාදෝ ඔහුගේ කරුණාව, ආදරය සමඟ හැකි සෑම අවස්ථාවක ම ඇයව සතුටින් තැබීමට තෑගි භෝග මිස මාසික වැටුපක් ගෙවීමට වෛද්‍යවරයා බිය වුයේය.
ඇයට වෛද්‍යවරයා පියෙක් මෙන් හැගෙන්න වුයේ ඔහුගේ කරුණාව, ආදරය ඇයට දැනුන බැවිනි. ඇය ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීම, වෙදහලේ මේස රෙදි,ලෙඩුන් පරීක්ෂා කරන ස්ථානයේ ඇති ඇඳන් වෙලා ඇඳ රෙදි ද සේදුවේ ඉතාමත් ම කැමැත්තෙනි. පියාගෙන් වැටුප් ඉල්විය නොහැකි නිසා හෝ ඇයට එවැනි අවශ්‍යතාවයක් නොහැඟුණ නිසා හෝ ඇය කිසිදා ඔහුගෙන් වැටුප් ඉල්වුයේ නැත.
Fortuna දෙවඟන: රෝමයේ වාසනාවට අධිපති දෙවඟනයි. හින්දු සංස්කෘතියේ ලක්ෂ්මි දෙවඟනට සමාන වේ.
මතු සම්බන්දයි