ඉරුණු ජීවිත 12 (නවකතාව) ඈන් ගැටිස්සි
පරිච්ඡේදය 12 | Laksilu 9 වාර කියවා ඇත 0 අදහස්
කාලය සෙමින් සෙමින් ගෙවී ගියේ වැඩි වෙනසක් ඇති නොකරමිනි. දැන් ඇගේ වයස අවුරුද දහ අටකි. හොඳින් කෑම බීම ගෙන හිතේ සතුටින් සිටින බැවින් දෝ දැන් ඇය දුටුවන් මන බඳන තරමට රූමත් ය. ලෙඩක් නොමැති වුවද තරුණ ගැටව් මෙන්ම කය මහළු වුවත් තමන් තරුණ යැයි සිතන පිරිමි මහල්ලොද වෙදහල අසල නිතර ගැවසෙන්නේ වෛද්‍යවරයා ට වඩා ඇයව දැක ගැනීමටය. සෑම කෙනෙක් සමඟම සිනා වී කතා කරන ඇය කලකට පෙර වෙදහල අසල කුඩයක් යටට වී සපත්තු මැසූ සපතේරුවාගේ දුව බව දැන් බොහෝ දෙනෙකුට අමතකය. වෛද්‍යවරයාත් ඇයව හඳුන්වා දෙන්නේ ලඟම නෑදෑ දියණියක හැටියට මිස අනාථ කෙල්ලක් ලෙස නොවේ. කඩමණ්ඩියේ කඩකාරයෝ උදෑසන ඔවුන්ගේ කඩයට ඇගේ පැමිණීම අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ දවසේ ව්‍යාපාරය ඇය පළමු ගනුදෙනුකරුවා වූ විට සාර්ථක වන බවට ඇති හැගීම නිසාය.වෙදහල සවස හතයි තිහ පමණ වන විට වසනු ලැබේ. අනතුරුව වෙදහල අස්පස් කිරීම, කිලිටි රෙදි පෙගේන්නට දමා සේදීම ඇය විසින් සිදු කරන අතර රාත්‍රී ආහාරයෙන් පසු දිනයේ ගනුදෙනු,මුදල් හදල් ගණන් කිරීම් වෛද්‍යවරයා හා හෙදිය විසින් සිදු කරනු ලබයි. ඒ සඳහා වෛද්‍යවරයාවත්, හෙදියවත්,ඈන් ව මේ වන තුරු සම්බන්ධ කරගෙන නොතිබුනේ ඇයගේ මුලික දැනුම අඩු නිසාද ? නැතිනම් ඇයට ඒවා අවශ්‍ය නැතැයි ඔවුන් තීරණය කල නිසා දැයි කීමට තවම කල් වැඩිය. මේ කටයුතු අවසන් කරන ඔවුන් නින්දට යනවිට රාත්‍රී නවයයි තිහ පමණ වේ. මේ ගම්මානයේ හැටියට රාත්‍රී නවයයි තිහ යනු සෑහෙන්න රෑ බෝවූ වේලාවකි. ඒ ගම්මානයේ සිටින අය සාමාන්‍යයෙන් රාත්‍රී අට පමණ වන විට නින්දට වැටේ. මේ කාලයේ නගරයේ රූපවාහිනී, ගුවන් විදුලි යන්ත්‍ර තිබුනද විදුලියවත් පැමිණ නැති මෙම ගම්මානයේ ඒ කිසිවක් තිබුණේ නැත. ඒවා ඉල්ලීමට හැකියාව හා උගත්කම තිබුනේ වෛද්‍යවරයාට පමණි. ඒවා ගම්මානයට අනවශ්‍ය යැයි සිතුණ නිසා හෝ ඒ පිළිබඳව කරදර වීමට අවශ්‍ය නොවේ යැයි සිතුන නිසා හෝ ඔහු කිසිදා ඒවා පිලිබඳ උනන්දුවක් දැක්වුයේ නැත.
මතු සම්බන්දයි