ඉරුණු ජීවිත 13 (නවකතාව) පාඩම් කීරීම

පරිච්ඡේදය 13 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්

සියලු වැඩ නිම කර නිදා හුන් වෛද්‍යවරයා එක් වරම මැදියම් රැයේදී අවදි වුයේ කිසිදු හේතුවක් නැතිවය. ඇඳේ පෙරලමින් මද වේලාවක් ගත කල වෛද්‍යවරයා ළඟ තිබූ ජල භාජනයෙන් ජලය බීගෙන බීගෙන ගියේ උගුර වියෙලෙමින් තිබු නිසාය. සීතල දිනක් බැවින් ඇඳ යට තිබු ගිනි කබල පිටතට ගෙන බැලු ඔහු දුටුවේ නිමෙමින් පවත්නා අඟුරු කැට කිහිපයයි. මෙම ගිනි කබල සැකසීම ද දිනපතා සිදු වන්නේ ඈන් අතිනි. තමා කියා දී ඇති ආකාරයට බෙහෙත් ද්‍රව්‍ය සමඟ නිවැරිදි ගානට මිම්මට ඇය දුම් කබල සකසන බැවින් රාත්‍රීයේ ඔහුට මැසි මඳුරු උවදුරු වලින් තොරව හොඳ උණුහුමට නින්ද යයි . අද ඇය අතින්'වරදක් වුවා යැයි සිතිය නොහැක. නමුත් දැන් අවශ්‍ය නිදා ගැනීමයි. ඒ සඳහා ගිනි කබල නැවත සකසා ගත යුතුය. කුස්සිය තුල දර ලිපෙහි ගිනි දැල්වෙන බව දනී. මුළු ගෙදරම උණුසුම් වන්නේ එම ගිනි මැලයේ රස්නයෙනි. ගිනි කබලද අතට ගෙන ගිනි ගෙය දෙසට ගිය ඔහු ගිනි ගෙයට ඇතුළුවන ආරුක්කුව අසල දී දුටු දර්ශනයෙන් ත්‍රස්ත විය. එය ඔහු කිසිදා තුන් හිතකින් වත් දකින්නට බලාපොරොත්තු වූ දර්ශනයක් නොවේ. ඔහු දුටුවේ ගිනිගෙයි ගිනි මැලය අසල කුඩා බැංකුවක් මත පොත් තබා ගෙන සීතල පොලව මත කොට්ටයක් තබා ඒ මත අසුන්ගෙන සිය වෙදපොතක් කියවමින් අභ්‍යාස පොතකට සටහන් ගන්න ඈන් ය. ඔහුගේ උගුර වියලී ගොස් දෑසට කඳුළු ඉනුවේය. මේ තාක් තමා ඇයගේ ගත්තේ කුස්සි අම්මාගේ වැඩය පමණක් බව මතක් වන විට ඔහුට තමා ගැනම කලකිරීමක් ඇති වේ. දුප්පත් වූ පලියට ඇයට කිසිදු විශේෂ හැකියාවක් නොමැති දැරියක සේ සැලකුවේ මන්ද ? වෛද්‍ය වැඩවලටවත්, මුදල් ගනුදෙනු වලටවත් ඇයව කිසි දින සම්බන්ධ කර නොගත්තේ මන්ද ? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය. තම පියා තමාට මෙම වෛද්‍ය ශාස්ත්‍රය කියා දීමට වෙහෙසුන හැටි ඔහුට මතකය. දිනපතාම උදෑසන ඔහුව අවදි කරේ මහා යුද්ධයකට පසුය. තමා හැකි පමණ වකුටු වී පියා අවදිවන්න යැයි කෑගසද්දීත් නිදා ගත් අයුරු ඔහුට මතකය. රාත්‍රීයේ කිසිදාක මෙසේ නිදිවරමින් පාඩම් කලා ඔහුට මතක නැත. ඔහු සෑම විටම පාඩම මගහැරීමට උත්සාහ කලා විනා මෙවැනි ඇල්මකින් ඉගෙන ගත්තා ඔහුට මතක නැත. 

දිනක් රෝගීන් පරීක්ෂා කරන කාමරයෙන් පිටතට එනවිට මහලු ස්ත්‍රීයකගේ අතක් නාඩි බලන ආකාරයට ඈන් අල්ලාගෙන සිටියා සිටි බව ඔහුට මතක් විය. තමා දුටු විගස අත බිමට දමා දෑස බිමට හරවාගෙන වරදක් කලා මෙන් බිත්තිය මුල්ලට ගුලි වූ අයුරු ඔහුට මතකයට නැගේ. ඒ අවස්ථාවේදී වත් මේ ගැන කිසිදු හැගීමක හංකාවිසියක් වත් මනසට නොආවේ මන්ද?

දැන් ගිනි කබල සකසන්න ගියහොත් ඈන් බිය වී පොත් කියවීම සඳහටම නවතා දමනු ඇත. එය ඇයට පමණක් නොව ලෝකයටම කරන අපරාධයකි.ඒ නිසා ඔහු නැවත හඬ නොනැගෙන පරිදි ඇඟිලි තුඩින් ඇවිදිමින් ඔහුගේ කුටියට ගියේ සිතුවිලි වලින් පිරුණු හිසකිනි.

ඇඳෙහි වැතිරී ඒ මේ අත පෙරලමින් සිටි ඔහුට නින්ද නම් ලෙහෙසියට නොආවේය. හිස තුලින් මතු වන නොයෙකුත් හඬවල් ඔහුට දොස් නගමින් චෝදනා කරන්න විය. අවසානයේ ඔහු තීරණයකට එළඹුනේය. හදවතින් දෙවියන් පාමුල වැඳ වැටුණු ඔහු දෙවියන්ගෙන් සමාව ඉල්වීය. අද තවම අඟහරුවාදා හිමිදිරි උදෑසනය. එන ඉරිදා නොවැරදීම පල්ලි එන බවට ඔහු දෙවියන්ට සපථ විය 

මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!