ඉරුණු ජීවිත 14 (නවකතාව) නර්ස්

පරිච්ඡේදය 14 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්

පසුදා උදෑසන අවදි වූ වෛද්‍යවරයා වෙනසක් නොපෙන්වා ම වෙනදා පරිදි වැඩ කරන්නට විය. ඈන් ද වෙනදා පරිදිම මඳ සිනාවකින් මුව සරසා ගෙන වැඩෙහි යෙදෙන්නට විය. ශරීරය සන්සුන් වුවද වෛද්‍යවරයා ගේ සිත නොසන්සුන්ය. ඔහු වරින් වර ඇහැ කරකමින් විපරම් කර බැලුයේ ඈන් කරන්නේ කුමක්ද? කියාය. ඈන් ගේ දවසේ වැඩ පිළිවෙල වෛද්‍යවරයා නොදනී. එය සොයා බැලීමට මීට කලින් කවරදාවත්ම සිතී නැත. කඩිසර ගමනින් ඒ මේ අත යන මේ සුන්දර කෙල්ල තමාට වාසනාව රැගෙන ආ බව ඔහුට හැඟුනත් ඔහු එය කිසි දිනක ඇයට හැගෙන්න හැරියේ නැත. ඒ වෙනුවට ඇයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනැවිත් දුන්නා මිස ඇගේ අනාගතය පිලිබඳ මදකුඳු සැලකිල්ලක් තමා තුල නොතිබූ බව සිහිවන විට වෛද්‍යවරයාට දැනෙන ලැජ්ජාව හා වේදනාව අති මහත්ය.ඇගේ දවසේ වැඩ පිළිවෙල සිතෙහි සටහන් කරගත් වෛද්‍යවරයා ඇගේ කුඳුමහත් කටයුතු වලින් යම් පමණකට ඇය නිදහස් කීරීමට සිතා ගත්තේය. ඒ අනුව ඔහු හෙදියට උපදෙස් දුන්නේ දිවා රාත්‍රී ආහාර වේල් සකස් කොට මුළුතැන්ගෙය අස්පස් කිරීමට ස්ත්‍රීයක් සොයන ලෙසයි. එවිට ඇයට ඉතිරි වන්නේ වෙදහළේ පිරිසිදු කටයුතු, උදෑසන අහාරය පිළියෙළ කිරීම හා රෙදි සේදීම යන කාර්යයන් පමණි.

එම ගම්මානයේ වෙසෙන බොහෝමයක් දුප්පත් මාළු කාරයෝය. ඒ නිසා වැඩට අයෙක් සොයා ගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. උපදෙස් දී දින දෙකක් ගත වීමටත් මත්තෙන් හෙදිය අවුරුදු හතලිස් පහක ගැහැණු අයෙක් කැඳවාගෙන එන්නේ, ඇය පිලිබඳ ඉතා ඉහල චරිත සහතිකයක් ද ලබා දෙමිනි. නමුත් හෙදියගේ සිතෙහි ගැටළු රාශියක් පැන නැගී ඇත. "දුප්පත් ඈන් ව එලවන්න යනවද කොහිදෝ " කියා ඇයට සිතුන වාර අපමණය. කුඩා කාලයේ සිටම තමන් ඇසුරු කල ඈන් වෙන්ව යනවාට ඇය අකමැතිය. ඈන් ව ඇය හඳුනාගන්නේ ඇයට අවුරුදු අටේදී පමණය. ඒ අනුව ඈන් හා ඇගේ ඇසුරට දැන් අවුරුදු දහයක් පමණ වේ. ඉනුත් අවුරුදු පහක් පමණ ඔවුන් දෙදෙනා සිටියේ එකටම වාගේය. ඒ නිසා ඈන් මෙතනින් පැන්නුවහොත් ඇයව තමන්ගේ මවගේ නිවසේ නතර කිරීමට හෙදිය සිතා ගත්තේ "බලමු" කියා තමන්ටම කියා ගනිමිනි.

හෙදිය ගෙන ආ ගැහැණිය සමඟ මඳ වේලාවක් කතා කල වෛද්‍යවරයා මේසය මත ඇති සීනුව නාද කොට කැඳවීය. සීනුව නාද කොට ඈන් ව කැඳවීය. සීනුව එක දිගට තුන් වරක් වදී නම් ඒ කැඳවන්නේ ඈන් බව එතැන සියල්ලෝ දනිති.එලෙස ඈන් ව කැඳවා වෛද්‍යවරයා පවසන්නේ දිවා ආහාරය හා රාත්‍රී ආහාරය පිසීම හා ඊට අදාල කටයුතු සිදු කල යුතු ආකාරය ඇයට පැහැදිලි කොට දින දෙකක් තුල එම කටයුතු තනියම සිදු කිරීමට ඇයව පුහුණු කරන ලෙසත්ය.

මෙම අවස්ථාවේ ඈන්ගේ මුහුණේ ශෝකය වෛද්‍යවරයාට නොදැනුනා නොවේ. සිනාවෙන් පිරි තිබු මුහුණ මැලවී යනු ඔහුට පෙනිණි. වෛද්‍යවරයාගේ අණට එකඟ වූ ඈ ආපසු හැරී යන ගමන් ඇස් කෙවෙනි තුල එකතු වූ කඳුළු බිංදු ඇඟිලි තුඩින් මිරිකා ගන්නා අයුරු වෛද්‍යවරයා හැගීමෙන් තොර මුහුණින් බලා සිටිනු දුටුයේ දොර අසල මුවා වී මේ සියල්ල බලා සිටි හෙදියයි. ඈන් කැඳවීමේ සීනුව ඇසී ඈන් කුටියට පිවිසෙනවාත් සමඟ තමන් කරමින් සිටි වැඩය ද නතර කොට හඬ නොනැඟෙන පරිදි අඩි තබමින් දොර අසලට පැමිණ දොර රෙද්දට මුවා වී සියල්ල බලා ගත්තේ ඈන් ට සිදුවන්නේ කුමක් දැයි දැන ගැනීමට ය. ඈන් ව එළවා දැමුවහොත් වැඩි දුර යාමට පෙර ඇය අල්ලා ගැනීමට නම් මේ කාලයේ සිදුවන සිදුවීම් පිලිබඳ ව විමසිල්ලෙන් පසු විය යුතුය. ඇගේ දෙපා වැසු සුදු සපත්තු කුට්ටම දොර දෙස බලා සිටින වෛද්‍යවරයා දුටු බව ඇය දන්නේ නැත. ඒ පිලිබඳ හැගීමක් ද ඇයට නැත. වෛද්‍යවරයා කරන්නට හදන "කැත වැඩේ " ට එරෙහිව ඇගේ මනස තුල නැගෙන විරෝධය , වෛද්‍යවරයා තම සපත්තුව දකී වැනි හැගීමක් මනසට පැමිණීම වලකා තිබු බව ඇය දන්නේ නැත.

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!