ඉරුණු ජීවිත 16 (නවකතාව) පල්ලියට යමු
පරිච්ඡේදය 16 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්
සෙනසුරාදා හවස ඈන් කැඳවූ වෛද්‍යවරයා ඉරිදා පල්ලි යාමට අවශ්‍ය බැවින් තමාගේ ඉස්තරම් ම ඇඳුම එනම් කළු කබාය, තොප්පිය බස්තම මෙන්ම සපත්තුද මැද සකස් කරන මෙන් දැනුම් දුන්නේ ය. ඒ අතරම ඔහු පැවසුයේ තමා ඇයට ලබා දී ඇති ඇඳුම් වලින් හොඳම ඇඳුම සුදානම් කරගෙන හෙට තමාත් සමඟ පල්ලි යාමට පැමිණෙන ලෙසයි.ඔහුගේ ඉස්තරම්ම ඇඳුම ඔහු අඳින්නේ පල්ලි යාමට බව ඇය දනී. නමුත් එලෙස ඔහු අඳින්නේ දෙසැම්බර් විසි හතර වැනි දින මධ්‍යම රාත්‍රීයේ පැවැත්වෙන දේව මෙහෙයට යාමට පමණක් වීමත් තවද නත්තල් දේව මෙහයට යන විට ඔහු හෙදිය ද තමා සමඟ කැටුව යන නමුත් අද හෙදියගේ පැමිණීමක් පිළිබඳව ඔහු කිසිම සඳහනක් කලේ නැති වීමත් පිලිබඳ ඇයට අමුතු හැගීමක් දැනවුවද, " සමහර විට හෙදියට කියලා ඇති " යන සිතුවිල්ලත් සමඟම එය යටපත් වී ගියේය.
වෛද්‍යවරයාගේ ඇඳුම් පැළදුම් සකසා වෙනදා ඔහුගේ කාමරයේ ඇඳුම් තබන තැනම සීරුවට තැබූ ඇය, ඇයගේ අල්මාරිය අරගෙන බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටිමින් කල්පනා කලේ අඳින්නේ කුමක්ද? කියාය. ඇයට ඕනෑවටත් වඩා ඇඳුම් තිබුණි. වෛද්‍යවරයා ස්කොට්ලන්තයට ගිය සෑම අවස්ථාවකම ඇයට ඇඳුමක් රැගෙන පැමිණියේය. වැඩි ගමන් බිමන් නොතිබූ ඇයගේ බොහෝ ඇඳුම් ඇය ඇඳ ඇත්තේ වරක් හෝ දෙවරක් පමණි. ඇඳුම් මනාව පිළිවෙලකට සෝදා නවා තැබීමටත් පරිස්සමින් ඒවා භාවිතා කිරීමටත් ඇය පුරුඳු වී සිටීම නිසා සෑම අඳුමක්ම පාහේ තවම අළුත් ඇඳුම් මෙනි. හද තුල නැගි විශාල තර්ක විතර්ක රාශියකින් පසු ඇය තෝරා ගන්නේ අවසාන වරට ස්කොට්ලන්තයට ගොස් පැමිණෙන විට වෛද්‍යවරයා ඇයට ගෙනත් දුන් ඇඳුමයි. සුදු පාට සේද පිළියෙන් නිර්මාණය කොට තිබු ඇඳුමේ වැටී තිබු මල් මෝස්තරය එම ඇඳුමේ චමත්කාරය තවත් වැඩි කොට තිබුණි.පසුගිය නත්තල් දා එය ඇඳගෙන එලියට බසිනවාත් සමඟම වෛද්‍යවරයා "හා ! හරි ලස්සනයි නේ ! පල්ලියට අද සුරංගනාවිය එක්ක යන්නේ මං " කියමින් ඇය වැලඳ ගත් හැටි ඇයට මතක් විය.පල්ලියේදී තරුණයන් කිහිප දෙනෙකු මත් වී මෙන් ඇය දෙස බලා සිටින අයුරුත් ප්‍රධාන දේශණය පැවැත්වූ පුජකතුමා තමා දෙස කිහිප විටක්ම බැලීමට ගොස් දේශණාව පැටලී වැරදී ගිය අයුරුත් මතක් වෙද්දී ඇයට තවමත් සිනහ යයි. එම ඇඳුම හිමින් සීරුවේ එලියට ගෙන ඇඳුම මැද නිසි පිළිවෙලට තැබූ ඇය ඇඟපත සෝදා ගෙන ඇඳට වැටුන සැනින් නින්දට වැටුණාය.එළිවෙන ජාමයේ ඇයට පෙනෙන්නේ අමුතු හීනයකි. තම මිය ගිය පියා අළුත් ඇඳුමක් ඇඳ ඇයගේ පරණ ගෙදර මිඳුලේ වෛද්‍යවරයාත් සමඟ සතුටු සාමිච්චියේ යෙදෙමින් වයින් බොමින් උදෑසන ආහාරය ගන්නා ආකාරයයි. මේ හීනයත් සමඟ අමුතු සතුටු හැගීමකින් ඇය අවදි වුයේ වෙනදාටත් කලිනි. පල්ලියට යෑමට ඇති බැවින් උදෑසන ආහාරය සඳහා බේකන් , බිත්තර සමඟ සැන්ඩ්විච් සැකසු ඇය වෙනදා මෙන්ම හෙදියටත් ඔවුන්ගේ පංගුව වෙන්කොට තබා තම කොටස වේගයෙන් අනුභව කොට ඇගේ ප්‍රියතම සේද පිළියෙන් සැකසු ඇඳුම ඇඟ ලා ගන්නේ සතුටු සිතිනි.
මතු සම්බන්දයි