ඉරුණු ජීවිත 17 (නවකතාව) වෛද්‍යවරයාගේ යාඥාව
පරිච්ඡේදය 17 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
වෙදහළේ සිට පල්ලියට පයින් යා හැක. මුහුද කිට්ටුව කඩ මංඩියෙන් මඳක් ඈතට වන්නට නිස්කලංක පෙදෙසක ඇති පල්ලිය එම දූපතේ තිබු විශාලම ගොඩනැගිල්ලයි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබු එම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු නිසියාකාරව සිදු නොවුන බැවින් දැන් ඇත්තේ ගරා වැටෙන්න කිට්ටු මහළු පෙනුමකි. නගරයේ දක්නට ලැබෙන පල්ලියක් මෙන් නොව මෙම පල්ලිය වැඩි ආරළු බුරලු වලින් තොර චාම් ගොඩනැගිල්ලකි. නගරයේ කෙනෙක් මෙම පල්ලිය දුටුවහොත් එය පල්ලියක් දැයි සැක සිතෙන තරම් චාම් ගොඩනැගිල්ලකි.ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති කුරුසියත් ගමේ පිරිසට රැස්විය හැකි බැංකු දැමු කුඩා රැස්වීම් ශාලාවත් නොවන්නට එය තව එක් ගෙයක් පමණි.වෙදහලේ සිට පල්ලියට පයින් යා හැකි වුවත් වෛද්‍යවරයා ඇතුළු දුපතේ යමක් කමක් ඇති සියළු දෙනා පල්ලියට ගියේ අශ්ව කරත්තයෙනි.දූපතින් පිට ලෝකයේ නවීන වාහන කොතෙකුත් තිබුනත් මෙම දූපතේ තිබුණේ වාහන තුනකි.ඒවා අයිතිව තිබුණේ සංචාරක ව්‍යාපාරය සරුවට සිදු කරන මාක් ශ්වෝන්ටය .පියාගෙන් පසු මාක් ට ව්‍යාපාරය උරුම වූ පසු මාක් විසින් කරන ලද නව එකතු කිරීම් වලින් එකකි එම වාහන තුන.ඒවා ද සෆාරි ජීප් විනා සාමාන්‍ය ගමනට යොදා ගන්නා වාහන නොවේ. මාක් ද පල්ලියට පැමිණෙන්නේ සිය අශ්ව කරත්තයෙනි. වෛද්‍යවරයාට අශ්ව කරත්තයක් නොතිබුනත් ඉතා කෙටි පණිවුඩයකින් ගෙන්වා ගත හැකි අශ්ව කරත්තයක් ඇන්තනි මාමා ළඟ ඇත. වෛද්‍යවරයා නිතරම පාවිච්චි කලේ එම කරත්තයයි. අද ද සුපුරුදු පරිදි නියමිත වේලාවටත් පෙර නවතා ඇති අශ්වකරත්තයට කතාවකින් තොරවම වෛද්‍යවරයා නැග ගත්තේ ඇන්තනි මාමා ගේ උදව්වෙන් ඈන් කරත්තයට නැඟුණු පසුය. සුපුරුදු මං මාවත් පසු කරමින් පල්ලිය දෙසට ඇදෙන කරත්තයේ හැගීම් තොර මුහුණින් වෛද්‍යවරයා අසුන් ගෙන යන අතරේ වටපිට බලමින් යන ඈන් අසුන් ගෙන සිටින අශ්ව කරත්තය පල්ලියේ දොරටුව අසළ නතරවීමට ගත වූ කාලය විනාඩි දහයකටත් අඩුය. අශ්ව කරත්තයෙන් බට ඈන් සහ වෛද්‍යවරයා පල්ලිය තුලට ගිය අතර අශ්ව කරත්තයේ ඇන්තනි අශ්ව කරත්තය නවතන තැනට ගොස් එය ගාල් කොට අසු අසල ගසක බැඳ වෛද්‍යවරයාට හා ඈන් ට පසුව පල්ලියට ඇතුළු වී පල්ලියේ පිටුපස කෙළවරක ඇති බැංකුවක අසුන් ගත්තේය. මෙය සැමදා සිදුවන සාමාන්‍ය සිදුවීමකි. පල්ලියේ මෙහෙය අවසන් වූ පසු වෛද්‍යවරයා නැවත ගමන් කරන්නේ තම කරත්තයේ බව ඇන්තනී දනී. නමුත් ඔහුගේ මෙම චර්යාවට හේතුව එය නොවේ. ඔහු හොඳ කතෝලිකයකි. එනිසා මොනවා නැතත් , ඉරිදා දේව මෙහෙයට සහභාගී වීම ඔහු මඟ හරින්නේ නැත.
සුපුරුදු පරිදි ඉරිදා දේව මෙහෙය පැවැත්වුන අතර සත් ප්‍රසාද ද බෙදා දී අවසන් කෙරිනි. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන් පල්ලියෙන් පිටතට ගියත් වෛද්‍යවරයා අල්තාරය අසළ දණ ගසා ගෙන නෙතු පියාන යමක් තොල් මතුරමින් සිටියි. ඒ අසලම දණ නමාගෙන අල්තාරය අසල සිටින්නී ඈන්ය. වෛද්‍යවරයා අල්තාරය අසලින් නැගිටින තුරු ඈන් අල්තාරය අසලින් නැගිටින්නේ නැත. එය ඇයගේ සාමාන්‍ය පුරුද්දයි. නමුත් අද වෙනදාට වැඩි වේලාවක් වෛද්‍යවරයා දණ ගසා ගෙන සිටීම ඈන් ට පෙහෙලිකවකි. වරින් වර ඇය වෛද්‍යවරයා දෙස බැලුවද වෛද්‍යවරයා නැගිටින පාටක් නැත. ඇයගේ දණ ද ක්‍රමයෙන් රිදීගෙන එයි. නමුත් ඇය ඉරියව්ව වෙනස් නොකර දණ බිම ඔබාගෙන ම සිටියේ වෛද්‍යවරයාට පෙර නැගිට යාම සුදුසු නොවේ යැයි සිතාය. තවත් විනාඩි පහළොවකට පමණ පසු වෛද්‍යවරයා "ආමේන් " කියා කුරුසිය ඇඳ නැගිටේය. ඈන් ද ඔහු අනුගමනය කෙරෙමින් "ආමේන්" කියා කුරුසිය ඇඳ නැගිට්ටාය.
වෛද්‍යවරයාගේ මෙම වෙනස වැටහුණු අයට සිටියේ ඈන් පමණක් නොවේ. පල්ලියේ පූජකතුමා ද ඇන්තනි ද ඒ අතර වෙති. ඇන්තනි නම් බලා සිටින්නේ ඉක්මනින් ආපසු යාමටය.ඉක්මනින් ගමන අවසන් කළහොත් ඔහුට තව කුලී ගමන් කිහිපයක් සොයා ගත හැක. පූජකතුමා වෙනස දැක්කේ වෙනත් ආකාරයකටය. ඒ නිසා ඔහුට වෛද්‍යවරයා සමඟ කතා කිරීමට සිත් විය. වෛද්‍යවරයා පල්ලියෙන් පිටතට යාමට ප්‍රධාන දොර දෙසට ගමන් කරන විට වෙනත් දොරකින් පිටතට ගොස් අහම්බෙන් මුහුණට මුහුණ හමු වන්නාක් මෙන් ප්‍රධාන දොරෙන් ඇතුළු වූ පූජකතුමා වෛද්‍යවරයා සමඟ කතාවට වන්නේය.
"ඔබතුමා අල්තාරය ළඟ ගොඩක් වෙලා දණ ගහගෙන හිටියා මම දැක්කා."
"ආ! ගොඩක් වෙලා හිටියද මට කාලය ගැන ඒ තරම් වැටහීමක් ඒ වෙලාවේ තිබුණේ නැහැ."
"හිතේ මොකක් හරි දුකක් කරදරයක් තියෙනවද ?"
"අනේ නෑ , මම අළුත් වැඩකට අත ගහන්න කියලා හදන්නේ . මම ඒක දෙවියන් වහන්සේට කිව්වා "
"නිසැකවම දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරාවි, සර්වබලධාරී දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක, ගෝඩ් බ්ලෙස් යු " කියූ පුජකතුමා යන්නට ගියේය.
මෙම කතාව අසා සිටි ඈන් ට මතක් වුයේ වෙදහල විශාල කොට නැවතීමේ පහසුකම් සහිතව ලෙඩුන්ට ප්‍රතිකාර කිරීමට අදහසක් ඇති බව වෛද්‍යවරයා පැවසු අයුරුය.
"අළුත් වැඩේ එක වෙන්න ඇති" ඈන් සිතුවාය.
මතු සම්බන්දයි