ඉරුණු ජීවිත 18 (නවකතාව) ඈන්ගේ සතුටු කඳුළු

පරිච්ඡේදය 18 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්

 මේ සියල්ල දෙස වරින් වර පල්ලියේ දොරටුවෙන් එබී බලමින් සිටියේ ඇන්තනිය.ඇන්තනිගේ රතු කට්ට නම් මේ වන විට හොදටම පැනලාය. නමුත් වෛද්‍යවරයාට කිසිවක් කීමට ඔහුට නොහැකිය. ඒ හැම ඉරිදාම ලැබෙන ගතමනාව අහිමි වන නිසාම නොවේ. ලෙඩ දුක් දුරු කරන ජීවකයාට ඇති ගරුත්වයද ඊට හේතුවකි.අශ්ව රියේ නැගුණ ඈන් සහ වෛද්‍යවරයා නැවත වෙදහලට පැමිණෙන විට වෙදහලේ , දොස්තර ලෙඩුන් බලන කාමරයේ කේක් ගෙඩියක් තබා තිබුණි. එහි මැද ඉංග්‍රීසි අකුරින් "ගෝඩ් බ්ලෙස් යු ඈන්" ලෙස සටහන් කොට තිබුණි. කිසිම හැඩයක් නැති හතරැස් කේක් ගෙඩියක් වන එහි හතරැස් හැඩයද නිවැරදිව තිබුණේ නැත. එම හැඩය එම දූපතට අමුත්තක් නොවේ. ඒ දූපතේ සිටින බේකරිකාරයට ගනුදෙනුකරුවා ඉල්ලන හැඩය හැර අනෙක් ඕනෑම හැඩයකට කේක් සැකසිය හැකි බව දූපතම දන්නා කරුණකි. එනිසා මෙවැනි දේ වලට එම දුපත් වැසියෝ සැලෙන්නේ නැත.

අස්රියෙන් බැස වෛද්‍යවරයා කඩිනමින් ලෙඩුන් බලන කාමරයට ගිය අතර හෙදිය කාමරයට නොපැමිණ ඇඳුම අහවර කිරීමට යන ඈන් ට,

"ඈන් , පොඩ්ඩකට එනවද?" කියා ඈන් ට කාමරයට කතා කළාය. 

ඈන් කාමරයට ඇතුළුවනවාත් සමඟම,

"මේ ඉන්නේ අපේ අලුත් මෙඩිකල් ස්ටුඩන්ට්" යැයි ප්‍රකාශ කල වෛද්‍යවරයා හිනැහෙන්නට විය.එහි වටේ සිටි ගමේ බෙහෙත් ගන්නනට පැමිණි කිහිපදෙනෙක් අත්පුඩි ගැසුහ.

"ඈන් කේක් එක කපන්න"යැයි හෙදිය කීවේ දෑසේ සතුටු කඳුළු පුරවා ගෙනය. 

ඈන්ට පුදුමෙනුත් පුදුමය. තමා මෙඩිකල් ස්ටුඩන්ට් වූයේ කෙසේදැයි ඇයට වැටහෙන්නේ දැන්ය. එදා සිට අද දක්වා තමන්ටත් නොදැනෙන්න වෛද්‍යවරයා හා හෙදිය එහෙනම් කලේ මේකයි යැයි ඈන් ට සිතුණි.ඇයට චිත්‍රපටයක මෙන් සියල්ල මැවී පෙනෙන්නට විය. වරෙක ඇයට සිතුනේ ඇය සිහිනයක් දකිනවා කියාය.නමුත් කේක් කපන පිහිය ඇය අතට දෙන විට හෙදියගේ ශරීරයේ උණුසුම හා දෘඩ බව දැනුන බැවින් මෙය සිහිනයක් නොවන බව ඇයට පැහැදිලිය. තම හිතේ තිබූ ආසාව, කිසිදා සැබෑ නොවේ යැයි සිතා සිතන්නටත් බිය වූ සිහිනය වෛද්‍යවරයා දැන ගත්තේ කෙසේද? 

කේක් කෑල්ලක් කපා ගත් ඈන් දිව ගියේ වෛද්‍යවරයා ළඟටය. කුඩා කේක් කැබැල්ලක් වෛද්‍යවරයාට කැවූ ඇය කේක් කැබැල්ල අසල තිබූ මේසය මත තබා වෛද්‍යවරයා බදා ගෙන ඉකිගසමින් හැඬුවේ සිතේ තිබූ අපමණ සතුටටය. දෙවියන් වහන්සේ අන් කවරකුවත් නොව මිනිස් වෙස්ගත් මෙම වෛද්‍යවරයා යැයි ඇයට සිතුණි. 

මේ සියල්ල බලා සිටි සමහරක් කඳුළු පිස දැම්මෝය. සමහරු හදවතින්ම සිනාසුනහ. පැය භාගයක් පමණ වෛද්‍යවරයා බදාගෙන හඬමින් සිටි ඈන් අනතුරුව හැරුණේ හෙදිය දෙසටය. දෙපසට දෑත් විදහාගෙන ඉදිරියට පැමිණි හෙදිය ඈන්ව බදා ගත්තාය. හෙදියට තුරුළු වූ ඈන් හෙදියගේ ඇඳුම තෙත් වන තුරු කඳුළු හැලුවාය. "ගෝඩ් බ්ලෙස් යු" කියමින් හෙදිය ඇගේ හිස අතගෑවේ හඳ පතුලෙන්ම නැගි සෙනෙහසිනි. පියා නැති වූ දා සිට වෛද්‍යවරයා තමාට පියා වී සිටි බවත් හෙදිය මව වී සිටි බවත් ඇයටහොඳටම වැටහෙන්නේ දැන්ය. ඒ බව සිහිවන විට දෑසින් තව තවත් කඳුළු වැගිරෙන බව ඈන් ට තේරුණේ නැත.

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!