ඉරුණු ජීවිත 19 (නවකතාව) තරුණ දොස්තර නෝනා
පරිච්ඡේදය 19 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්
ඈන් වෛද්‍යවරයා යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පටන්ගෙන දැන් අවුරුදු දෙකකට වැඩිය. ඇයට දැන් සෑහෙන දුරකට යමක් කමක් කිරීමට හැකිය. ලෙඩුන්ගේ නාඩි බැලීම, බෙහෙත් ද්‍රව්‍ය සැකසීම, ලෙඩ හඳුනාගැනීම ඇයට සිදුකල හැක. කුඩා රෝග, තුවාල වැනි දේ වලට ද ඇය බෙහෙත් කරයි.වෛද්‍යවරයා දැන් දැන් කුඩා රෝග වලට බෙහත් කරන්නේ ම නැති තරම්ය. ඒවා පවරා ඇත්තේ ඈන් ට ය.
වෛද්‍යවරයා තමාගේ නේවාසික වාට්ටුව පටන් ගන්නා විට ඈන් වෛද්‍ය සිසුවියක වී අවුරුද්දක් පමණ ගෙවී ගොස් තිබුණි. මස් පිඩු පෙරලීම්, උළුක්කු ඇති රෝගීන් ගේ සම්බාහනය, කටුචිකිත්සාව ආදිය සිදු වන්නේ මේ කාමරයේම එක් කොටසකය. දිගු කාලීනව නැවති සිටින රෝගීන්ට උදෑසන බෙහෙත් වේල ඈන්ගෙන් ලබා ගැනීමට බොහෝ රෝගීහූ කැමැත්තෙන් සිටියහ. උදේම සුන්දර සිනාවකින් මුව සරසාගෙන කරුණාබර වදන් දොඩමින් ලෙඩ රෝග විමසා බෙහෙත් දෙන තරුණ කෙල්ලකගෙන් බෙහෙත් බොන්න කවුද අකමැති ?
කාලය ක්‍රම ක්‍රමයෙන් ගෙවී යද්දී ඈන්ට දැන් තරමක් ලොකු ලෙඩ වලට ද බෙහෙත් කිරීමට හැකිය. දැන් වෛද්‍යවරයාට නිදහසක් දැනේ. දැන් ලෙඩෙක් තමා ලඟට පැමිණෙන්නේ එහෙමත් වෙලාවකටය. රෝගීන් වැඩි උදය කාලයේ හා සවස් කාලයේ ඈන් හා වෛද්‍යවරයා යන දෙදෙනාම රෝගීන් පරීක්ෂා කරන නමුත් සෙනඟ අඩු දිනවල ඈන් පමණක් බොහෝ විට ලෙඩුන් පරීක්ෂා කරයි. ඈන්ට හඳුනා ගැනීමට අපහසු ලෙඩක් තිබුණහොත් පමණක් වෛද්‍යවරයා ලඟට ලෙඩුන් යොමු කිරීම ඈන් විසින් සිදු කරනු ලබයි. මෙවිට වෛද්‍යවරයා එම ලෙඩා පරීක්ෂා කරනු ලබන්නේ ඈන්ට ඒ ගැන කියා දෙමිනි. මෙවිට වෛද්‍යවරයා එම ලෙඩා පරීක්ෂා කරනු ලබන්නේ ඈන්ට ඒ ගැන කියා දෙමිනි. මෙවිට ඊළඟ දිනයේ එවැනි රෝගියකු පැමිණියහොත් ඔහුට වෙදකම් කරන්නේ ඈන් මිස වෛද්‍යවරයා නොවේ.
එක්තරා ඉරු දිනක පල්ලියේ දේව මෙහෙයෙන් අනතුරුව ඈන් කඩ මණ්ඩිය දෙසට ගියේ නිවසට අවශ්‍ය කලමනා හා බඩු වර්ග කිහිපයක් මිල දී ගැනීමටයි. කඩ මණ්ඩියට පැමිණි විට ඇයට ලැබෙන්නේ ඉහල ප්‍රතිචාරයකි. සෑම කෙනෙක්ම ඈන් සමඟ වචනයක්, දෙකක් හෝ දෙඩීමට කැමතිය. ඈන් මිනිසුන් සමඟ දෙඩීමට අකමැතිය. නමුත් ඇය කිසිදා එය එළිපිට නොපෙන්වයි. කතා කරන සෑම කෙනෙක් සමඟම මුව පුරා සිනා සී කතා කිරීම ඈන් ගේ සිරිතයි.එබැවින් ඈන්ට කඩමණ්ඩියට ගියහොත් නිවනක් නැත. ඈන් සමඟ වැඩිපුරම කතා බහට පැමිණෙන්නේ වයසක අන්කල්ලා හා ඇන්ටිලා ය. ඔවුන් නැවත නැවතත් එකම කතාව කියන බැවින් ඔවුන් බොහෝමයකගේ කතා ඈන්ට කටපාඩම්ය. නමුත් ඈන් පළමුවරට අසන්නාක් මෙන් උනන්දුවෙන් සවන් දෙන බැවින් මෙම අංකල්ලා හා ඇන්ටිලා ඇයට නැවත නැවතත් එම කතාවම කියති.
මතු සම්බන්දයි