ඉරුණු ජීවිත 22 (නවකතාව) ඈන්ගේ ආදරය

පරිච්ඡේදය 22 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්

මයිකල් සම්පුර්ණ සුවය ලැබීමට මාස තුනක පමණ කාලයක් ගත විය.එකල මෙකල මෙන් ලෙඩුන් ගෙන යාමට විශේෂිත වූ යාන වාහන ද වැඩිපුර නොතිබුණ බැවින් හා සෙන් කිල්ඩාස් ප්‍රධාන භූමියෙන් වෙන්ව දූපතක් වශයෙන් පිහිටීම නිසාත් අඩිය බිම තබා ගැනීමට හැකි වුවද ගෙදර යාමේ අවශ්‍යතාවයක් නොතිබුණි. මේ අතරතුර කාලයේ මයිකල්ගේ පියා මයිකල් බැලීමට කිහිප වරක් පැමිණියේය.යම්තම් සුව වූ විට පියා මයිකල්ව ගෙදර ගෙන යාමට උත්සාහ දැරුවත් මයිකල්ගේ ඊට වැඩි කැමැත්තක් නොතිබුණි. ඈන්ට ද ඔහුව ගෙදර යැවීමට කැමැත්තක් නොතිබුණේ ඔහු ළඟ සිටීම පවා ඇයට චිත්ත ප්‍රීතියක් ගෙන දුන් බැවිනි.වෙන ලෙඩුන්ට වඩා ඉතාමත් වැඩියෙන් මේ ලෙඩාට ඈන් ගේ කරුණාව, ආදරය, සැලකිල්ල ලැබුණු බව හෙදියටවත් ,වෛද්‍යවරයාටත් රහසක් වූයේ නැත. හෙදිය ඉඳහිට මයිකල් ගැන කියා ඈන්ට විහිළු කරත් වෛද්‍යවරයා මේ සම්බන්ධතාවය ගැන සිතුවේ වඩා ගැඹුරිනි. ඔහු ඈන්ගෙන් මේ පිළිබඳව විමසුවේ නැත. ඇරත් ඈන් දැන් වැඩිහිටියෙකි .වැඩිහිටියන් යමක් කරන්නේ අවබෝධයෙන් යුතුව යැයි වෛද්‍යවරයාට වැටහී තිබුණි.ඈන් ගිය විට තමාට කුමක් සිදුවේ දැයි වෛද්‍යවරයාට වැටහී තිබුණි. ඈන් ගිය විට තමාට කුමක් සිදුවේදැයි වෛද්‍යවරයා සිතා ඇත. තමා තනි වුවද ඈන් සිය ගමන යා යුතු යැයි ඔහු සිතු වාර අපමණ ය. ඈන් වැනි සුන්දර කෙල්ලක් සැමදාම ගෙදර තබා ගැනීම දෙවියන් වහන්සේටවත් කල නොහැකි දෙයක් බව වෛද්‍යවරයාට වැටහී තිබුණේ බොහෝ කලකට පෙරය. එනිසා වෛද්‍යවරයා මේ පිළිබඳව කිසිදා ඈන් සමඟ කතා කලේ නැත.

මේ වන විට ඈන් මයිකල් ගැන නොදන්නා දෙයක් ද , ඈන් පිළිබඳව මයිකල් නොදන්නා දෙයක් ද නැති තරම්ය. මයිකල් කර්මාන්තශාලා කිහිපයක් හිමි පොහොසත් ව්‍යාපාරිකයකුගේ එකම පුතු බවත්, ගෙදර වාහන කිහිපයක් ඇති බවත් එම විශාල ගෙදර සේවකයින් විශාල ප්‍රමාණයක් වැඩ කරන බවත් ඈන් දැන සිටියාය. පියාගේ අභාවයෙන් පසු ව්‍යාපාර වල හිමිකරු වන්නේ ද මයිකල්ය. එවිට ඔහුගේ ව්‍යාපාර වලට උදව් කිරීමට තමන්ට සිදු විය හැකි බවත් වෛද්‍ය වෘත්තියට එවිට සමුදිය යුතු බවත් ඈන් සිතුවාය. මයිකල්ගේ දරු පැටවුණු තමුන්ගේ කුසයෙන් බිහි වී ඇකයේ හැදෙන වැඩෙන ආකාරය පිළිබඳව ඇය සිහින මැව්වාය. ඈන් යනු වෛද්‍යවරයාගේ දියණිය නොවන බවත්, කලකට පෙර මියැදුන සපතේරුවකුගේ දුවක බවත්, වෛද්‍යවරයාගේ ආදරය කරුණාව මත වෛද්‍යවරයාගේ දූ තනතුරෙහි වැඩෙමින් වෛද්‍ය විද්‍යාව හැදෑරු බවත් මයිකල් තව දුරටත් රහසක් නොවිනි.

මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!