ඉරුණු ජීවිත 27 (නවකතාව) මට ඇතුළට යන්න දෙන්න
පරිච්ඡේදය 28 | Laksilu 11 වාර කියවා ඇත 0 අදහස්
ස්කොට්ලන්තයෙන් බට වෛද්‍යවරයා පළමුව මයිකල් හමු වීමට සිතුවේ බෙහෙත් බඩු ඔසවාගෙන යනවාට වඩා පළමුව ඔහු හමුවන්නට යාම පහසු බැවිනි. අනෙක අද බෙහෙත් බඩු වලට අමතරව ඈන් ට අවශ්‍ය බඩු ද ගැනීමට අවශ්‍යය. බෙහෙත් බඩු ගන්නා තැන් වෛද්‍යවරයා හොඳින් දන්නා නමුත් අනෙකුත් බඩු ගැනීමට කඩවල් ගානේ රස්තියාදු වීමට සිදු වුවහොත් මයිකල් හමු වීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරයාට සිතුණි.තොටුපල අසල නවතා ඇති කුලී රියකට අත වැනු වෛද්‍යවරයා, ලඟට පැමිණි කූලී රථ රියදුරාට ලිපිනය ලියූ කොළ කැබැල්ල පෙන්වා ඇසුවේ මෙතන සිට ගොඩක් දුර ද යන්නය. ලිපිනය බැලූ රියදුරා
"ඒ තරම් දුරක් නෑ සර් ,පැය භාගයක් පමණ යාවී ."
රථයට නැගුණු වෛද්‍යවරයා දෙස බැලූ රියදුරා
"මම මේ සර් බයිඩන්ගේ ගෙදර දන්නවා ,සර් ඒගොල්ලන්ගේ නෑදෑයෝ ද ?"
"නෑ!, ටිකක් දන්නවා පුතාව, මගෙන් බෙහෙත් අරන් තියෙනවා"
"සල්ලි කාරයොනේ ඩොක්ටර් " ගේ හැමතැනම මුර දාලා තියෙන්නේ අපොයින්ට්මන්ට් එකක් නැතිව නම් ලේසියෙන් යන්න බැහැ "
"ගිහිල්ලම බලමු " කියූ වෛද්‍යවරයා එතනින් එහාට ඔවුන් ගැන රියැදුරා සමඟ කිසිවක් කතා කලේ නැත.
ජනාකීර්ණ මාවත් මැදින් ඇදී ගිය කූලී රිය නැවත්වුයේ මහා මන්දිරයක් අසලය. කූලී රථයෙන් බැස ගත් වෛද්‍යවරයා සෙමින් සෙමින් මහා මන්දිරයේ ගේට්ටුව අසලට ගියේය. ගේට්ටුව අසල සුදු නිල ඇඳුමකින් සැරසී සිටි මන්දිරයේ සිකුරිටි යැයි සිතිය හැකි මිනිසා
"මේ මහත්තයා කාව හම්බුවෙන්නද " යැයි ඇසුවේ මඳ සිනාවක් වත් මුහුණේ නැතිවය.
"මයිකල් පුතා ඉන්නවද ?"
"ආ ! මයිකල් මහත්තයා නම් නෑ පැරිස් ගිහින් නේ , එන්න තව මාස කිහිපයක් යයි "
"ඇත්ත ද ?"
"මේ මහත්තයා මයිකල් මහත්තයා ව දන්නේ නෑදෑයෙක් ද ?"
"ආ ! ඔව් ටිකක් දුරින් ළඟකදී මේ පැත්තේ ආවේ නැහැ "
"එක තමයි මාත් බැලුවේ , මහත්තයාව වැඩිය හුරු නැහැ "
"ලොකු මහත්තයා නම් ගෙදර ඇති හැබැයි අපොයින්ට්මන්ට් එකක් නැතිව හම්බු වෙන්න බැහැ "
"මම ගොඩක් දුර ඉඳන් ආවේ ,බැරිද ටිකකට හම්බු වෙන්න"
"නෑදෑයෙක් නේ'! මම කියලා බලන්නම් , ෂුවර් කරන්න නම් බැහැ , කවුරු ආවා කියලද කියන්නේ "
"සෙන් කිල්ඩාස් වල ඩොක්ටර් ඇවිල්ලා කියන්න "
කුටියට ගිය මුරකරු මඳ වේලාවකට පසුව නැවත පැමිණියේය.
"මහත්තයා ව එවන්න කිව්වා " යැයි කියූ සිකුරිටිගේ මුහුණේ වූයේ සැක සහිත බැල්මකි . මෙසේ බැල්ම වෙනස් වූයේ බයිඩන් මහත්තයාගෙන් ලැබුණ පිළිතුරත් සමඟය.
"ආ! ඇවිල්ලද එවපන් ඕකව ඇතුළට " යන පිළිතුර සාමාන්‍යයෙන් බයිඩන්ගෙන් පිටවන්නේ ආපසු හරවා යැවිය නොහැකි කරදරකාරයක් පැමිණි විට බව මුරකරු හොඳින් දනී. ඔහු දන්නා තවත් දෙයක් ඇත. එනම් මෙයින් පසු සිඳුවන්නේ අමුත්තා නැවතත් මේ මන්දිරයේ පස් නොපාගන තත්ත්වයට පත් වීම බවය.
මතු සම්බන්දයි