ඉරුණු ජීවිත 28 (නවකතාව) බැහැපන් එලියට පරයා

පරිච්ඡේදය 29 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්

සෙමින් සෙමින් ඉදිරියට ගමන් කරන වෛද්‍යවරයාගේ සිත පැටලිලි සහගතය. කතාව පටන් ගන්නේ කෙසේද ? ප්‍රතිචාරය කුමක් වේද ? යන්න වෛද්‍යවරයාට සිතා ගත නොහැකිය. නමුත් මෙය සිදු විය යුත්තක් බව වෛද්‍යවරයා දනී. මයිකල් යුතුකම් දන්නා හොඳ අයකු ලෙස වෛද්‍යවරයා මේ මෑතක් වන තුරු සිතා ගෙන සිටියේය. නමුත් ඈන්ගේ ලිපිවලට ප්‍රතිචාර නොලැබෙන්නට වූ කල ඔහුගේ සිතේ ඒ පිළිබඳව පහල වූයේ ගැටළුවකි. දැන් මයිකල් නැත. සිටින්නේ ඔහුගේ පියාය. මයිකල් වගේම මූත් මහ කෛරාටිකයකු විය හැක. නමුත් ඈන් වෙනුවෙන් මේ සියල්ල යුතුය."සුභ උදෑසනක් වේවා ! ඩොක්ටර් " එන්න ඇතුලට වාඩි වෙන්න " මයිකල්ගේ පියා දොරකඩ පැමිණ වෛද්‍යවරයා පිළිගත්තේය.

"බෙහෙත් බඩු ගෙනියන්න ආවද ? ඩොක්ටර් , සෑහෙන්න කරදරයි නේ ඔහොම එන්න යන්න ගියහම නේද ?" ආණ්ඩුවේ අදහසක් තියෙනවා මෙහෙ ඉදන් එහාට පාලමක් හරි උමං දුම්රියක් හරි දාන්න. නමුත් එහේ ජනගහණය අඩුයි නේ ,ඒක නිසා කවුරුත් ඒ පැත්තට යන්න වැඩිය කැමැත්තක් නැහැ " මයිකල්ගේ පියා දිගටම කියවාගෙන ගියේය.

"නරකද මෙහේ ඇවිල්ලා ඔය ප්‍රැක්ටිස් එක පටන් ගත්තා නම් ?"

"මට හුරු කට්ටිය ඉන්නේ එහේ නේ " මෙහෙ ඇවිල්ලා ඉතින් මුල ඉඳන්ම පටන් ගන්න එපාය. වෛද්‍යවරයා කීවේය.

"අයියෝ ඔයා වගේ දක්ෂ වෛද්‍යවරයකුට ඕක මොකක්ද? ජනගහණය වැඩියි කියන්නේ ලෙඩ්ඩු වැඩියි ", ලෙඩ්ඩු වැඩියි කියන්නේ ඉතින් ඩොක්ටර්ට " කියා මයිකල්ගේ පියා මහ හඬින් "හා !හා !" ගා සිනාසුනේය.

ආයාසයෙන් නඟා ගත් සිනාවකින් ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍යවරයා ,

"මයිකල් පැරිස් ගිහිල්ලා ලූ නේද ?"

"ආ ! ඔව් එයාගේ හනිමුන් එකනේ ,දැන් සතියකට විතර කලින් කසාද බැන්දේ "

වෛද්‍යවරයාගේ මුවේ කෙළ සිදිනි. ඇඟ රත් වී දහඩිය දමන්නට විය. කිසිම බරක් පතලක් නැතිව මූ මේක කියන්නේ කොහොමද ? බයිඩන්ගේ මුහුණේ ඇදී ඇති සාවඥ සිනහව වෛද්‍යවරයාට වටහා ගත හැක. සියල්ල හොඳින් දැන ගෙන නොදන්නවා සේ රඟපාන මුගේ හොම්බට හැටක් අනින්න වෛද්‍යවරයාට සිතේ. නමුත් එතරම් ශරීර ශක්තියක් තමන්ට නැති බව වෛද්‍යවරයාට සක් සුදක් සේ පැහැදිළිය. ඔහු අවට සිටින නිල ඇඳුම් හැඳගත් ආරක්ෂකයන් සමඟ හැපෙන්නට තබා හැරෙන්නටවත් වෛද්‍යවරයාට නොහැකිය.

"මහත්තයා දන්නවද ? ඈන්ට මයිකල්ගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා " වෛද්‍යවරයා තමන්ගේ සියළු ධෛර්යය එකතු කොට කියා ගත්තේය. 

"ආ ! එතකොට මේ නෑයෝ බලන්නද ? ආවේ. අනේ නිකං පලයන් නාකියා යන්න. උඹේ ලුණු ,ගොරකා මදි මාව තම්බන්න. " බයිඩන් කෑ ගැසුවේ ය. ආරක්ෂකයින් ඔහු ආසන්නයටත් තමන් වටාත් ස්ථානගතවනු වෛද්‍යවරයාට පෙනිණි.

"මම ඇත්ත කියන්නේ ! ඈන් ලියුම් වලිනුත් මේ කාරණාව මීට මාස ගණනකට කලින් දන්නලා තියෙනවා" වෛද්‍යවරයා කීවේය.

"අනේ යකෝ ! ඔය වගේ එන එන ලියුමට පුතාලා දෙන්න තමුසේ හිතුවද මට පුත්තු දුසිමක් විතර ඉන්නවා කියලා.කොහොමත් මේ දේපල වලට හැමෝම ඇහැ ගහගෙන ඉන්නේ මේ ගෙදරට පනින්නේ කොහොමද ? කියලා තමයි , හිඟන වේසියෝ " බයිඩන් කීවේ කෝපයෙනි. 

"මේවා අහස පොළව නුහුලන අපරාධ මහත්තයා. ඈන් කියන්නේ මගේම දුව වගේ මගේ ගාවම හොඳට හැදුන ළමයෙක් " වෛද්‍යවරයාට කියා ගැනීමට හැකි වූයේ එපමණය.

"තමුසේ දුවව හරියට හැදුවානම් එක එක කොල්ලෝ එක්ක බුදියන්න යනවද ?, අනේ මගෙන් මොකුත් අහගන්නේ නැතිව පලයන් යන්න. මෙන්න මූව එලියට ඇදලා දාපන් " බයිඩන් අණ දුන්නේය.

වෛද්‍යවරයා ලඟට පැමිණි ආරක්ෂකයින් දෙදෙනෙක් වෛද්‍යවරයාව පිටතට ඇදගෙන යන්නට විය. ඇදගෙන යන අතර ආපසු හැරුණු වෛද්‍යවරයා 

"දෙවියන් වහන්සේ ඉදිරියේ අවසන් විනිශ්චයේදී අපි හැමෝම උත්තර දෙන්න ඕනේ සර් " කියනවාත් සමඟ ආරක්ෂකයා බෙල්ලෙන් අල්ලා වෛද්‍යවරයාව පිටතට තල්ලු කළේය. වෛද්‍යවරයා නොවැටී බේරුණේ අනුනමයෙනි. පිටුපසින් දොර දඩාස් ගා වැසෙනු වෛද්‍යවරයාට ඇසුණි. 

 

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!