ඉරුණු ජීවිත 29 (නවකතාව) අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ

පරිච්ඡේදය 30 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්

වෛද්‍යවරයාගේ මනස හොඳටම අලකලංචිය. කිසිම දෙයක් පැහැදිලිව සිතා ගැනීමට තරම් වෛද්‍යවරයාගේ සිත සන්සුන් නැත. වෙනදා ඉතාමත් සීරුවෙන් හොඳින් තෝරමින් බෙහෙත් බඩු ගන්නා වෛද්‍යවරයාට සැමදා යන කඩයට යන පාර වැරදිනි. පාර වැරදි බව වැටහුණු වෛද්‍යවරයා නැවත ආපසු හැරී පැරණි කඩයට ගොස් බෙහෙත් බඩු ගත්තේය. වෛද්‍යවරයාගේ වෙනස කඩ හිමියාට නොවැටහුනා නොවේ. වෙනදා ඔහු මිලදී ගන්නා බෙහෙත් ද්‍රව්‍ය වලින් වැඩි හරියක් ඔහු මිලදී ගත්තේ නැත.මුදල් ගෙවීමට යාමේදී ද අදාළ මුදල් ප්‍රමාණය දීමේදී ද ඔහුට කිහිපවාරයක් වැරදුනි.වෛද්‍යවරයා තමන්ගේ නිවැරදි සන්සුන් මානසිකත්වයේ නැති බව දුටු බෙහෙත් බඩු කඩයේ හිමිකරු ගෝලයාට කතා කොට වෛද්‍යවරයාට නෑසෙන සේ "අද මනුස්සයා මොකක් හරි ලොකු අප්සට් එකක ඉන්නේ උඹ මේ බඩුත් අරගෙන ගිහින් මනුස්සයාව පරිස්සමින් බෝට්ටුවට දාලා වරෙන්, දැන් වයස නිසා වෙන්න ඇති, මොනවා උනත් අපේ තාත්තගේ කාලේ ඉඳන් බඩු ගත්තේ අපේ කඩෙන් "

මේ ඇසුණ අවතේවකරු "ඇයි දන්නේ නෑ නේද ? මහත්තයා " 

"උඹට ඕනෑ නැති ඒවා වැඩක් නෑ, මඟදී අනං මනං ඒ මනුස්සයාගෙන් අහන්න යන්නත් එපා. බඩු ටික අරගෙන ගිහින් පරිස්සමට බෝට්ටුවට පටවලා වරෙන් එච්චරයි තේරුණා ද ?" මුදලාලි තරමක් සැරෙන් කීවේ ගෝලයාගේ හැටි දන්නා නිසාත් අනවශ්‍ය කරුණු හාර අවුසන්න ගොසින් පරම්පරා ගණනාවක් අඛණ්ඩව තිබු වෙළදාම නැති කර ගැනීමට අවශ්‍ය නොවීමත් නිසාය.

වෛද්‍යවරයා සමඟම බඩුද රැගෙන පිටත් වූ ගෝලයාට ද වෛද්‍යවරයාගේ සිතේ කුමක් හෝ ලොකු දුකක් ඇති බව වැටහිනි.කිහිප විටකදීම හේතුවක් නැතිවම වෛද්‍යවරයා සුසුම් හෙලනු ආවතේවකරුට දැනුණි. නමුත් මුදලාලිගේ අණට උඩින් යන්න ගෝලයා බයය.

සෙන් කිල්ඩාස් වෙත යන බෝට්ටුවට වෛද්‍යවරයා නැගුණ පසු බෙහෙත් බඩුත් වෛද්‍යවරයා අතට පත් කල ගෝලයා "පරිස්සමින් ගිහින් එන්න ඩොක්ටර් කියා කීවේ පුරුද්දටය".

සෙන් කිල්ඩාස් වලින් ගොඩබට වෛද්‍යවරයා දුටු විගස ඔහු ලඟට දිව ආවේ ඇන්තනිය. වෛද්‍යවරයා තමාගේ කරත්තයට නංවාගත් ඇන්තනි බෙහෙත් බඩුද එයටම පටවා වෛද්‍යවරයාව වෙදහලට ඇරලවීය.වෙනදා රට තොට ගැන දොඩමළු වන වෛද්‍යවරයා නිහඬතාවය ඇන්තනීට නොදැණුනා නොවේ.නමුත් ඔහු ඒ පිළිබඳව ප්‍රශ්ණ කලේ නැත.

වෛද්‍යවරයා වෙදහලට ගොඩ වී කෙලින්ම සිය කාමරයට ගියේය. කරත්තයේ තිබු බඩු ඇන්තනී විසින් හෙදියට භාර දෙන ලදී. හෙදිය විසින් ඇන්තනීගේ ගමන් ගාස්තුව ගෙවා දමන ලද අතර බෙහෙත් බඩු අඩුක් කිරීමට පටන් ගත් හෙදියට වැටහුණේ බෙහෙත් බඩු කිහිපයක් වෛද්‍යවරයා මිලදීගෙන නොමැති බවයි.

හෙදිය කෙලින්ම ගියේ වෛද්‍යවරයාගේ කාමරයටය. කාමරය තුලට ගිය හෙදිය දුටුවේ සිය අසුන මත වාඩි වී යමක් කල්පනා කරමින් සිටින වෛද්‍යවරයා ය. කල්පනාව කෙතරම් ගැඹුරුද කියතොත් ඇය පැමිණි බව වත් වෛද්‍යවරයා ට දැනුණේ නැති බව ඇයට වැටහිනි.

"එක්ස්කියූ ස් මී " යැයි කියූ හෙදිය වෛද්‍යවරයාගේ කල්පනාව කඩා බිඳ දැම්මාය.

"මොකද ප්‍රශ්ණේ ඩොක්ටර් " හෙදිය කෙලින්ම වෛද්‍යවරයාගෙන් ඇසුවාය. 

"කෝ ඈන් ?" වෛද්‍යවරයා විමසීය. 

"අර පැත්තේ වාට්ටුවේ ලෙඩ්ඩු බල බල ඉඳලා මහන්සියි කියලා කාමරයට ගියා, එයාට දැන් වෙනදා වගේ වැඩ කරන්න අමාරුයි "

"ඒක හොඳයි . ඔය දොර වහලා මෙතනින් වාඩි වෙන්න " 

හෙදිය දොර වසා අසුන් ගත් පසු වෛද්‍යවරයා දිගු සුසුමක් හෙලා සෙමින් කතා කරන්නට පටන් ගත්තේය.

"මම මයිකල්ගේ ගෙදර ගියා ".

"ඉතින්" හෙදියගේ කුතුහලය ඇවිස්සිනි.

"මයිකල් ගෙදර හිටියේ නෑ , කසාද බැඳලා පැරිස් ගිහිල්ලා"

"මොනවා !" කියූ හෙදිය එක් වරටම පුටුවෙන් නැගිට්ටවුනි. "මූ මහ ජරා සතෙක් නේ ", කිව්වේ නැද්ද? හොඳවයින් දෙකක් "

"කිව්වා හැබැයි මන් නෙමෙයි. මයිකල්ගේ තාත්තා, අපි හරියට ළමයා හදලා නෑ කිව්වා , උගේ දේපල වලට තණ්හාවේ ඈන්ව මයිකල්ගේ කරේ එල්ලන්න හදනවා " කියලා කිව්වා.

"හරි කතාවක් නේ ඒක ", අපි ඔය යකාට මොනවද ? තියෙන්නේ කියලවත් හරියට දන්නේ නැහැනේ, පොලිසියට කියමු ද ?"

"මෝඩ කතා කියන්න එපා ,උන් එක්ක අපිට හැප්පෙන්න බැහැ. පොලිසි ගියොත් උන් ඈන්වත් මරලා අපිවත් මරලා දායි", දැන් අපිට තියෙන්නේ එන විදිහකට මුහුණ දෙන එක".

"මාර වැඩක් නේ ඒක, රටේ සාදාරණයක් තියෙන්න එපැයි "

"ඈන් කසාද බැඳලා නැහැ . මේක සිද්ධ වුනේ ඈන්ගේ කැමැත්තෙන් . අපිට නඩු ගිහින් දිනන්න අමාරුයි. අපි ප්‍රයෝගික තත්වයට මුහුණ දෙන්න ඕනේ " කියූ වෛද්‍යවරයා මඳ වේලාවක් කල්පනාවේ නිමග්නව සිට,

"මේක ඈන්ට කියන්න එපා ! එයාට කියන්න මයිකල් බිස්නස් වලට පැරිස් ගිහිල්ලා කියලා, ඉක්මනින් එයි කියන්න"

 මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!