ඉරුණු ජීවිත 03 (නවකතාව) රෝග විනිශ්චය

පරිච්ඡේදය 3 | Laksilu 10 වාර කියවා ඇත 0 අදහස්

 " සෙන් කිල් ඩාස්" කොහේද ? යැයි සෙවීමට මවටත් පියාටත් වේලාවක් නොවීය. ඉහත සිඳුවීම සිදු වී සති කිහිපයකට පසු පියසෝම හදිස්සියේ අභාවප්‍රාප්ත වන්නේ මානසික රෝගියකු වූ ඔහුගේම නෑදෑයෙක් රෝගය උත්සන්න වූ අවස්ථාවකදී එල්ල කරන ලද පොලු ප්‍රහාරයක් හිසට වැදීමෙනි. අනපේක්ෂිතව සිදු වූ මරණයත් සමඟ දියණිය හා මව තනි වූ අතර නිවසේ කුඳු මහත් කටයුතු හා වගකීම් මවගේ හිස මත වැටීමත් සමඟ ඇයට "සෙන් කිල්ඩාස්" සහමුලින්ම අමතක විය.පියාගේ මරණය, සියළු වගකීම් කරට ගෙන මව කරන ජීවන යුද්ධය දකින දියණිය ඇයට නැවත රතු -සුදු කෝච්චි ගැන වත් සෙන් කිල්ඩාස් ගැන වත් කියන්න යන්නේ නැත. මතක් කරන්න යන්නෙත් නැත.

කාලය වේගයෙන් ගෙවී ගෙන යයි. අමුතු සිඳුවීම් කිසිවක් සිදුවන්නේ නැත. උදේට නැගෙනහිරින් ඉර පායයි. එවිට අවදිවන මව හා දියණිය අනෙක් සාමාන්‍ය පවුලක් මෙන්ම කටයුතු කරයි. දියණිය අධ්‍යාපන කටයුතු වල වැඩියෙනුත් මව ගෘහස්ත කටයුතු වල වැඩිපුරත් නිරත වේ. මෙම කුඳු මහත් කටයුතු අවසන් වන විට හිරු බටහිරින් බැස ගොසිනි. එවිට ඔවුන්ට ඇත්තේ රාත්‍රී අහාර කිස නිම කර පසුදා ඉර උදාව බලාපොරොත්තුව නිදා ගැනීම පමණි.

දියණිය 9-10 පන්ති වලට පැමිණෙන විට අන් ළමුන්ගේ දක්නට නොලැබෙන හා එම පරම්පරාවේ නොතිබුණ ලක්ෂණයන් විද්‍යාමාන වන්නට පටන් ගති. ඇයට ගණිත ගැටළු විසදීමේ මනා හැකියාවක් තිබුණු අතර රෝග ලක්ෂණ කී සැනින් රෝගය කීමේ හැකියාව තිබුණි . 

රෝග ලක්ෂණ කිහිපයක් කී සැනින් "ඔයාගේ liver (අක්මාව) එකේ ප්‍රශ්නයක් liver profile එකක් අරන් බලන්න". නැතිනම් "ඕක food allergy (අහාර විෂවීමක්) එකක් මොනාද ? කෑවේ. එසේත් නැතිනම් "පේන හැටියට ඔයාගේ වේන් එකක් තෙරපෙනවා ඔතන රිදුණට ඔතන නෙමේ ප්‍රශ්ණේ තියෙන්නේ. ඔයාට තියෙන්නේ reflected pain (පරාවර්තිත වේදනාව ) එකක්.

මඳ කලකට පසු බෙහෙත් ගැනීමට නොව ලෙඩ හඳුනා ගැනීම සඳහා ඇය ලඟට අසල්වාසීන් , ඇගේ පාසලේ යෙහෙලියන්, නෑදෑයින් පැමිණෙන්නට පටන් ගන්නේ ඇගේ මවට අමතර කරදරක් හා වියදමක් ද ඇති කරමිනි.

පැමිණෙන බොහෝ දෙනා හිතවතුන් නෑයින් වීම හේතු කොට ගෙන ඔවුන්ගේ රෝග ලක්ෂණ පමණක් නොව,පුරසාරම් ද ,කේලාම් ද හිස් වචන ද අසා සිටීමට ඇයට හා මවට සිදුවේ.

රෝග ලක්ෂණ වලින් ලෙඩ හඳුනාගැනීම් පටන් ගැනීමත් සමඟ ඇය සැමදා දකින හීනයට තවත් කොටසක් එකතු වී සිහින දෙකක් ලෙස සැමදා පෙනෙන්ට පටන් ගත්තේ ඇයවත් විමතියට පත් කරවමිනි.

එහිදී ඇයට දිස්වන පළමු හීනයේ සුදු ඇඳුමක් හා සුදු තොප්පියක් පැළද එනම් වර්තමානයේ හෙදියන් අඳින ඇඳුමට මඳක් සමාන ඇඳුමක් හැඳ කුඩා මඩුවක රෝගීන්ට ප්‍රතිකාර කරනු ඇයට දිස්වේ. එම සිහිනය අවසන් වූ විට නැවත ඇයට පෙනෙන්නේ මීදුම් මැදින් කඳු පන්තිය වටා යන රතු සුදු කෝච්චියත්, එක දෙස බලා සිටින තමා යැයි හැඟෙන දුඹුරු හිසකේ ඇති නිල් ඇස් ඇති තරුණ කතත් ය . අනතුරුව සිතට දැනෙන තද බල වේදනාව සමඟ ඇය කන්දෙන් පහලට වැටේ. තිගැස්සේ. ඇයට ඇහැරේ. 


මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!