ඉරුණු ජීවිත 30 (නවකතාව) එරල් බයිඩන්

පරිච්ඡේදය 31 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්

 කාලය ගෙවී යද්දී හා ඈන් යවන ලද කිසිදු ලිපියකට පිළිතුරු නොලැඹෙන විට මයිකල් වෙනස්' වී ඇති බව වටහා නොගැනීමට තරම් ඈන් මෝඩ නැත. නමුත් හිත පතුලේ මයිකල් ට ඇති ආදරයට බුද්ධිය යටවේ. විටින් විට බුද්ධිය දෙන නිගමන ආදර හදවත විසින් යටපත් කරනු ලැබේ. ඈන් තවමත් තම බුද්ධියට තරවටු කරමින් කියා සිටින්නේ ළමයා ලැබුණු විට මයිකල් සිය දරුවා බැලීමට පැමිණීම අනිවාර්යයෙන් සිදුවන බවය. බුද්ධියේ සමච්චල් සිනා හඬ එවිට ඈන් ට ඇසේ. එවිට ඇය කරන්නේ එම සිනා හඬ නෑසුණා සේ නොතකා හැරීමයි.

දින, සති මාස වලට පෙරලී කාලය ගෙවී ගොසින් දරුවා ලැබෙන්නට ඈන්ට දැන් කාලය හරිය. ඈන් කවදත් කඩිසරව වැඩ කරන යුවතියකි. ළමයා ලැබෙන්න සිටියාය කියා ඇය වැඩ නොකර සිටියේ නැත. සැමදා ඇය වැඩ කළාය. ලෙඩුන්ට බෙහත් දුන්නාය. ඉවුම් පිහුම් ගැනද විටින් විට බැලුවාය. 

ඈන් කා අතරත් ජනප්‍රිය බැවින් දැන් සමහර ලෙඩුන් බෙහෙත් ගන්නට පැමිණෙන්නේ මුදල් පමණක් රැගෙන නොවේ. ඈන්ගේ නූපන් දරුවාට තෑගිත් රැගෙනය. ඒවායේ බොහෝවිට නොයෙකුත් සබන් හා පුයර වර්ග , නැප්කින් ආදිය අඩංගු වේ. ඈන්ගේ ළමයාට අවශ්‍ය වන තොටිල්ල ලැබුණේ, ඈන් ගේ හොඳම මිතුරියකගෙනි.ඈන්ට වඩා තරමක් වැඩිමහල් ඇගේ දියණිය මේ වන විට අවුරුදු පහක පමණ ළමයෙකි. ඇය පාවිච්චි කරන ලද තොටිල්ල ඈන්ගේ ළමයාට ලැබුණේ නොමිලේ ය. ඒ වන විටත් එම තොටිල්ල දරුවන් පහක් පමණ පාවිච්චි කරන ලද එකක් නමුත් එය ඉතාමත් හොඳ තත්වයෙන් පැවතිනි. ඈන්ගේ මිතුරිය එය පිරිසුදු කොට නව තීන්තයෙන් පින්තාරු කොට සිය අශ්ව කරත්තයේ පටවාගෙන ඈන්ට ගෙනත් දුන්නේ ඉතාමත් මෑතකදී ය. එදා ඈන්ට ඇයගෙන් ලැබුන අවවාද අනුශාසනා බොහෝමයකි. මීට අමතරව ඈන්ට විවිධ කැවිලි වර්ග ද බොහෝ ලැබේ. මේ වන විට වෙදහලෙහි තේ පානය කරන වෙලාවට රස කැවිල්ලක් නොමැතිව තේ නොලැඹෙන්නේ එබැවිනි.

මෙසේ කාලය ගෙවීගෙන යද්දී ඈන්ට විළිරුදාව ඇතිවන්නේ උදෑසන පහට පමණය. වහාම ඇයව ඇඳ මත හොවා වෛද්‍යවරයා හා හෙදිය අවශ්‍ය සියළු කටයුතු සිදු කරන්නේ ඉතාමත්ම නිවැරදි ආකාරයෙනි. සැමදා මහන්සි වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් නිසාදෝ ඈන්ට දරු ප්‍රසූතිය එතරම් අසීරු දායක කටයුත්තක් වූයේ නැත. නොවැම්බර් මාසයේ පහළොස් වැනිදා ඈන්ගේ කුසයෙන් මෙලොව එලිය දුටුවේ කුඩා පිරිමි දරුවෙකි. හරියටම කියනවා නම් පියා නැති පිරිමි දරුවෙකි. ගමේ ගොඩේ හැටියට අවජාතකයකි. නමින් ඔහු එරල් බයිඩන් ය.  

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!