ඉරුණු ජීවිත 31 (නවකතාව) හදවත් රෝගියා
පරිච්ඡේදය 32 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්
ඈන්ගේ ළමයාට දැන් වයස මාස හයක් පමණ වේ. වෙන අවජාතක දරුවන්ට වඩා මෙම අවජාතකයා වාසනාවන්තය. පියා කියා කියන්නට පිරිමියකු හැර ඉතිරි සියල්ල කුඩා එරල් ට අඩුවක් නැතිව ලැබේ. ඈන්ගේ ආදරය , ඔහු තමාගේ ආච්චි හා සීයා යැයි කවදා හෝ සිතා ගනු ලබන හෙදියගේ හා වෛද්‍යවරයාගේ ආදරය ඉතා හොඳින් දරුවාට ලැබේ. අතින් අතට මාරු වෙමින් ගෙයි ඇතුළු හිස් සාලයක් පුරා බඩ ගාමින්, දණගාමින් එරල් වෙද නිවසට ආලෝකයක් වී හමාරය.මඳක් අමතක වූ විට එරල් බඩ ගා ගෙන යන්නේ ලෙඩුන් සිටින දිශාවටය. මෙවිට කොහේදෝ සිට දිව එන හෙදිය හෝ ඈන් කරන්නේ ඔහුව නැවත ඇතුළු සාලයට දමා එලියට පැමිණිය නොහැකි ලෙස ලෑලි කෑල්ලක් දමා හරස් කිරීමය.
එරල්ගේ දඟ වැඩ අපමණය. වෙද ගෙදර හැමෝටම දැන් කලින් කල වැඩ ප්‍රමාණයට වඩා වැඩ ගොඩක් වැටී ඇත. එනම් මේ දඟ මල්ල බලා ගැනීමයි.
දිනක් සවස සියළු වැඩ අවසන්ව සිය දරුවා උකුලේ තබාගෙන හුරතල් කරමින් සිටි ඈන් දුටුවේ තමන් අසල තිබු වෙද නලාව අල්ලා ගනිමින් පෙරලමින් සිටිනා සිය පුත්‍රයාය. පුතාගේ අතින් වෙදනලාව ගත් ඈන් පුතාට පෙනෙන්නටම කෙළවරවල් දෙක කනේ ගසා ගෙන නලාව පපුවට තිබ්බේ සෙල්ලමටය.
දරුවාගේ පපුවේ " ලබ් ඩබ් " ශබ්ධය ඈන්ට ඇසේ. ඊට අමතරව ඇයට තවත් ශබ්ධයක් ඇසේ. ඇය නැවතත් හොඳින් කන් දී සිටියේ තමාගේ සිතට නැඟුණ ශබ්ධයක් දැයි දැන ගැනීමටය. නැත. ලබ් ශබ්ධය, ඊළඟට ඩබ් ශබ්ධය ඊළඟට "චූස්" ගා ඇසෙන අමුතු ශබ්ධය.නැවතත් ඇය හොඳින් කන් දුන්නාය. ඔව් , ලබ් ඩබ් වලට අමතරව චූස් ගා ශබ්ධයක් ද ඇසේ. ඇගේ සිතට බිය කාන්දු වන්නට විය. මෙම ශබ්ධය සාමාන්‍යයෙන් ඇසෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට සෑදෙන ලෙඩකටය. තම දරුවා එතරම් අවාසනාවන්ත යැයි ඈන් ට කිසිම විටක සිතා ගැනීම පහසු නැත. මේ අසරණයා කාටවත්ම වරදක් කර නැත.තමාද කිසිම කෙනෙකුට වරදක් කර නැත. එසේ නම් තමන් දෙදෙනාටම මෙතරම් අවාසනාවන්ත දෑ සිදුවන්නේ මන්දැයි ඇයට සිතා ගත නොහැක. ඇයව ඇඳෙන් එක් වරම නැගිට්ටුනා ය. ඇය එක්වරම දිව ගියේ වෛද්‍යවරයාගේ කාමරයටය. වෛද්‍යවරයා සිය වැඩ අවසන්කොට නිදා ගැනීමට සැරසුණා පමණි. දොරට දඩි බිඩි ගා ගසන හඬට ගැස්සී ඇඳෙන් බැස ආ වෛද්‍යවරයා දුටුවේ දොර අසල තැති ගත් මුහුණින් හා කඳුළු පිරුණු දෙනෙතින් සිටගෙන සිටින ඈන් ය.
"ඈන්, ඇයි මොකක්ද ? ප්‍රශ්ණේ "
ප්‍රශ්ණය කියන්නට ඉස්පාසුවක් ඈන් ට නැත. වෛද්‍යවරයාගේ අතින් ඇඳගෙන තමාගේ කාමරයට ඈන් දිව යන්නේ වයසක වෛද්‍යවරයාට එතරම් වේගයෙන් දිව යෑමට නොහැකි බව ද අමතක කරමිනි.
" අනේ ! එරල්ගේ පපුවට ස්ටෙත් එක තියලා බලන්න, මට බයයි" ඈන් කීවාය.
ඈන්ගේ වෙදනලාව ගත් වෛද්‍යවරයා එය කනෙහි රුවාගෙන එරල්ගේ පපුවට වෙදනලාව තැබුවේ අවුල් වූ සැක මුසු මනසකිනි.
වෛද්‍යවරයා හොඳින් එරල් ගේ පපුවේ රිද්මයට සවන් දුන්නේය. ලබ් ,ඩබ් ඉන් අනතුරුව චූස් හඬ වෛද්‍යවරයා ඇසේ. ඈන් ගේ කලබල වීමට හේතුව වෛද්‍යවරයාට පැහැදිලිය. තම අත්දැකීම් අනුව මෙය සීයට අනුඅටක්ම වාගේ ඈන් සිතන අවාසනාවන්ත තත්වයමය. නමුත් ඒ පිළිබඳව ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කල හැකි වන්නේ තව දුරටත් වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව හදවත් රෝග විශේෂඥයකුට පෙන්වීමෙනි. ඔව් ඈන්ගේ සැකය නිවරිදිය. කුඩා එරල් හදවතේ සිදුරක් ඇති ළමයකු බවට තහවුරු වීමේ සම්භාවිතාවය 98% කට වැඩිය.
ඈන් දෙසට හැරුණු වෛද්‍යවරයා "ඈන් දොස්තර කෙනෙක් හැටියට දැන් කලබල වෙලා බෑ. ඔයාගේ'සැකය හරි යන්න හෝ වරදින්න ඉඩ තියෙනවා"
"ඒ කියන්නේ මම සැක කරන දේ හරිද? " ඈන් ඇසුවේ ලොවම කඩා වැටී ඇත්තා සේය.
"මම කිව්වනේ සැකයක් තියෙන්නේ කියලා. මගේ යාළුවෙක් ඉන්නවා ස්කොට්ලන්ඩ් වල මිනිහා නම් ළමා රෝග විශේෂඥයෙක්. මිනිසා දන්න කාට හරි පෙන්නලා බලමු. මම හෙට ගිහින් මිනිහව හම්බු වෙලා එන්නම්", මේ වෙලාවට තමයි හිතෙන්නේ මේ දූපතට ටෙලිෆෝන් තිබ්බා නම් කොච්චර ලේසිද? කියලා " කියූ වෛද්‍යවරයා සෙමින් අඩි තබමින් ආපසු කුටියට ගියේ දුකින් පිරුණු සිතිනි.
ඈන් තම නීත්‍යානුකූල දියණිය නොවුවත්, එරල් තම මුණුබුරා නොවූවත් ඈන් තමන්ගේම දියණිය නොවන්නේ හා එරල් තම මුණුබුරා නොවන්නේ DNA වලින් පමණක් බව වෛද්‍යවරයාට දැන් නම් හොඳටම පැහැදිලිය.
මතු සම්බන්දයි