ඉරුණු ජීවිත 32 (නවකතාව) පිය සෙනෙහස
පරිච්ඡේදය 33 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්
පසුදා උදෑසනම අවදි වූ වෛද්‍යවරයා හැඳ පැළඳ ගත්තේ වෙනදා මෙන් සතුටින් නොවේ. ඔහුගේ හිසෙහි දැන් ඇත්තේ මහා බරකි. තමාගේ වෛද්‍ය විද්‍යා දැනුම අනුව එරල්ට හදවතේ සිදුරක් තිබීම සෑහෙන දුරට තහවුරුය. නමුත් මේ යන්නනේ එය සීයට සීයක් තහවුරු කර ගැනීමට නම් නොවේ. වෛද්‍යවරයාගේ එකම උත්සාහය හා ප්‍රාර්ථනය තමාගේ හා ඈන් ගේ සැක සහිත නිගමන වැරදි එරල් නිරෝගී දරුවෙකු බව ප්‍රකාශ වීමයි. නමුත් එවැන්නකට ඇති ඉඩ කඩ ඉතාමත් අවම බවත් වෛද්‍යවරයා දනී.දුකින් අඳුරු වී ඇති ඈන්ගේ මුහුණ දුටු වෛද්‍යවරයාට තවත් දුක සිතිනි. කිසිඳු වදනක් නොදොඩා වෛද්‍යවරයා පිට වී ගියේ ශෝකයෙන් ඇලලී ගිය මුහුණකින්ට බව හෙදිය වටහා ගත්තේ ක්ෂණයකිනි.වෛද්‍යවරයාගේ මුහුණ දෙසවත් ඈන් ගේ මුහුණ දෙසවත් කෙලින් බැලීමට හෙදියට සිත් නොදේ. ඒ අතින් කිසිවක් නිසා නොව ඔවුන්ගේ වේදනාවද හෙදියට ඒ ආකාරයෙන්ම දැනෙන බැවිනි. එම දුකින් බරිත මුහුණු දකින හෙදියගේ දෙනෙතට කඳුළු උනන්නේ නිතැතිනි.
සුපුරුදු පරිදි ඇන්තනිගේ අස්රියෙන් තොටුපලට ගිය වෛද්‍යවරයා බෝට්ටුවට නැඟ අසුන් ගත්තේ වෙනදා පුරුද්දටය. බෝට්ටුවේ දිය රළ කපාගෙන ඉදිරියට ඇදෙද්දී වෛද්‍යවරයාට ඈන්ගේ පියාගේ රූපය සිහියට නැගිණි. තමාගේ වෙදහල අසල කුඩයක් ඉහලාගෙන කැඩුණු සෙරෙප්පුවක් හෝ සපත්තුවක් රැගෙන පැමිණෙන තුරු ඔහු පැය ගණන් බලා සිටී. ඔහුගේ සේවය ලබා ගන්නා සේවාදායකයින් කිසිදා ඔහු ඉල්ලන මුදල දුන්නේ නැත. අසරණ මිනිසා සමඟ ඔවුන් පැය ගණන් හෙට්ටුකලේ මේ මිනිසාටත් බඩගිනි වන බව අමතක කරමිනි. අන්තිමේ දී ඔවුන් දෙන කීය හෝ මුදල ගන්නවා හැර වෙන විකල්පයක් ඒ අසරණයාට නොතිබිණි. ඔහුට කෑම ගෙන ආවේ ඔහුගේ කුඩා දියණියයි. එම කෙල්ලගේ කෘශ ශරීරයත් මන්දපෝෂණ ලක්ෂණත් දුටු තමාට අනුකම්පා සිතුණු සැටිත් , තමා හෙදිය මාර්ගයෙන් ඇයව වෙදහලට සම්බන්ධ කරගත්තේ අවශ්‍යතාවයට නොව ඇයට කෑමට යමක් දීමට බවත් වෛද්‍යවරයාට මතකයට ආවේ චිත්‍රපටයක දර්ශනයක් දෑස් ඉදිරියේ දිග හැරෙන ආකාරයටය.
බෝට්ටුව තොටුපලේ නැවතුන විට එතැන තිබූ කුලී රථයක නැගුනු වෛද්‍යවරයා තමාගේ මිතුරු ළමා රෝග විශේෂඥයා හමු වීම සඳහා පිටත් විය. කුලී රථයේ පිටුපස අසුනේ අසුන් ගත් වෛද්‍යවරයාට දැන් ඈන්ගේ මුහුණ හා එරල්ගේ මුහුණ මැවී පෙනේ. වෛද්‍යවරයාගේ හිත මහා කණගාටුවකින් පිරී ගියේ ඈන් ගැනය. දෙවියන් වහන්සේ අහිංසක ඈන්ට මෙතරම් වද දෙන්නේ ඇයි දැයි යන පැනය වෛද්‍යවරයාගේ හද තුල පැන නැගුණේ එක පාරටමය. වහා එම අදහස අත්හල වෛද්‍යවරයා දෑස පියාගෙන මඳ වේලාවක් නිහඬවම දෙවියන් යැද්දේ තමාගේ පව්කාර සිතුවිල්ලට බිය වූ නිසාය.
මතු සම්බන්දයි