ඉරුණු ජීවිත 33 (නවකතාව) කළගුණ සැලකීම

පරිච්ඡේදය 34 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්

ළමා රෝග විශේෂඥයාගේ නිවසට ගිය වෛද්‍යවරයාට දැක ගැනීමට ලැබුණේ ඔහු රෝහලට ගොස් ඇති බවත් නැවත පැමිණීමට ගත වන වේලාව කිව නොහැකි බවත්ය.

" මම ගොඩක් දුර ඉදන් ආවේ. මම ඩොක්ටර්ගේ හොඳම යාළුවෙක්. පොඩි කෝල් එකක් දෙන්න බැරිද ?, සෙන් කිල්ඩාස් වල ඩොක්ටර් විලියම් ඇවිල්ලා ඉන්නවා කියලා "

"අපිට කියලා තියෙන්නේ කවුරු ආවත් ඩිස්ටර්බ් කරන්න එපා කියලා " ගෙදර මෙහෙකරු යැයි සිතිය හැකි අයෙක් කීවේය.

"කවුද ? ඇවිල්ලා ඉන්නේ " කියමින් පිටතට පැමිණියේ හොඳින් ඇඳ පැලඳ ගත් කාන්තාවකි. වෛද්‍යවරයා මෙම කාන්තාව හොඳින් හොඳින් හඳුනයි. ඇයද වෛද්‍යවරයාව හොඳින් හඳුනයි. ඔවුන්ගේ හැඳිනීම සුළු පටු එකක් නොවේ.වරක් තමාව මරණයෙන් බේරා ගත් දේවතාවා ලෙස ගැහැණියට ඔහුව මතකය. තමාට තිබු අසනීපය සුව කල නොහැකියි සමහර වෛද්‍යවරු කියද්දී මෙම වෛද්‍යවරයා තම නිවසට පැමිණ විද්‍යාත්මක හා සම්ප්‍රදායික වෙදකම් එකට මුසු කරමින් මහා සටනක් කොට තමාගේ දිවි බේරු හැටි ඇයට මතකය. මාස 10 පමණ එක දිගට සෑම දවස් තුනකට වරක් මම වෛද්‍යවරයා තම නිවසට පැමිණි අයුරුත් නා නා විධ තෙල් වර්ග , දුම් වර්ග, කටු චිකිත්සා ක්‍රම , සමඟ බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රම ද මුසු කරමින් ඒ පෑ මහා ප්‍රාතිහාර්යය අමතක වන්නට නම් ඇය නැවත මැරී ඉපදිය යුතුය.

"දැන්ම කෝල් එකක් දෙනවා ඩොක්ටර්ට , විලියම් සර් ඇවිල්ලා ඉන්නවා කියලා, ඉන්න තැනකින් පුළුවන් ඉක්මනට එන්න කියනවා " කියා මෙහෙකරුට ගෙරවු ඇය 

"එන්න ඩොක්ටර් ඇතුලට කාලෙකට පස්සේ අපිවත් මතක් වෙලා තියෙන්නේ, සතියකට සැරයක් ස්කොට්ලන්ඩ් ආවට ඉතිං අපිව බලන්න එන්නේ නෑනේ." කියමින් ඇය නෝක්කාඩු කියන්න පටන් ගත්තේ සිනාසෙන දෑසිනි. කලකට පසු හිතවත් නෑදෑයෙක් දුටු සතුටට සමාන සතුටිනි.

"කෑම ටිකක් කාලා ,අද මෙහේ ඉදලා යමු නේ " ඇය නැවතත් කීය.

"කෑම ටිකක් නම් කන්නං, ඉන්න නම් බැහැ,යන්න ඕන" වෛද්‍යවරයා කීවේ සිනාසෙමිනි.

වෛද්‍යවරයා සිනහ වුවද එම සිනහව යට සැඟවුණු දුකක් ඇති බව ඇගේ ගැහැණු ඉවට වැටහීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. වෛද්‍යවරයා අද පැමිණ ඇත්තේ කුමක් හෝ කරදරයක් නිසා බව ඇයට වැටහේ. ඔහු ඉල්ලන උදව්ව කුමක් විය හැකිද? මුදල්ද ? නැතිනම් වෙන උදව්වක් ද ? පුළුවන් උදව්වක් නම් කරන්න බැරියැ. පොඩි ගානක් නම් ඉතින් මුදල් වුනත් දෙන්න බැරියැ. හැබැයි ලොකු ගානක් එහෙම ඉල්ලුවොත් තමයි ප්‍රශ්නේ? බෑ කියන්න අමාරුයි. දෙන්න විදිහකුත් නෑ. මිනිහගේ ප්‍රක්ටිස් එක බංකොලොත් වෙලාද? දන්නේ නැහැ. අපිටත් කඩා වැටෙන්නේ ඔහොම ලෙඩ නේ ". ඇය සිතන්නට විය.

මෙහෙකරු ගෙනැවිත් දුන් දොඩම් යුෂ වීදුරුව වෛද්‍යවරයා අතට ගත්තේ සෙමින් හා කල්පනාවෙනි.

"අද මේ මහත්තයත් කෑමට ඉන්නවා " ගැහැණිය මෙහෙකරුට කීය.

"හොඳමයි මැඩම්" කියූ මෙහෙකරු නිවස තුලට ගියේය.

වෛද්‍යවරයා සමඟ ආ ගිය කතාවට වැටුණු ගැහැණියට වෛද්‍යවරයාගේ ප්‍රැක්ටිස් එක බංකොලොත් වී ඇති වගක් නොවැටහේ. කතාවෙන් වැටහෙන්නේ එය දියුණු වී ඇති බවකි. දැන් ලෙඩුන් නවතාගෙන බෙහෙත් කරන කුඩා ඉස්පිරිතාලයක අයිතිකාරයකි මේ වෛද්‍යවරයා., එහෙනම් මොකක්ද මෙයාට තියෙන ප්‍රශ්නේ " යනු ඇයගේ සිතෙහි කැරකුණු එකම ගැටළුවයි. තමන් කෙතරම් දක්ෂ වුවත් තමාට වෛද්‍යවරයාගේ ප්‍රශ්නය පිටතට ගැනීමට නොහැකි වූ බව වැටහුනේ ගෙදර දොරේ විදුලි සීනුව වදින විටය.

"හලෝ ! විලියම් , මොකද මේ පැත්තේ , මට විනාඩියක් දෙන්න වොෂ් එකක් දාගෙන එන්නම් " කියූ ළමා රෝග විශේෂඥයා නිවස තුලට ගියේය.

ඔහු වොෂ් දමාගෙන පැමිණෙන්නට ගත වූ කාලය විනාඩි වලින් නම් බර ගණනක් වන්නට ඇත. ඔහු නැවත පැමිණෙන විට කෑම මේසයද පිළියෙළ වී තිබුණ අතර වෛද්‍යවරුන් දෙදෙනා හා ළමා රෝග විශේෂඥ හෙන්රික්ස් ගේ බිරිඳ කෑම මේසයට අසුන් ගත්තේය. ඉතාමත් විශිෂ්ට ලෙස කෑම මේසය සකස් වී තිබු අතර සුප් කෝප්පයෙන් පටන් ගෙන අතුරුපසට ජෙලි දක්වා වූ පුර්ණ බටහිර කෑම මේසයක් ඔවුන් ඉදිරිපිට විය. ඔවුන් කෑම ගෙන අවසන් වන තුරු වීදුරු වලට වයින් පිරවීම සඳහා මේසයට මඳක් දුරින් සිටගෙන සිටියේ සුදු ඇඳුමක් ඇඳගත් මිනිසෙකි. ඔහු කෝකියා විය යුතු යැයි විලියම්ට සිතුනි.

කෑම කන අතරතුර තම ප්‍රශ්නය විලියම් විසින් ළමා රෝග විශේෂඥයා වෙත සවිස්තරව විස්තර කරන ලද අතර ඉන් අනතුරුව වෛද්‍ය භාෂාවෙන් සිදුවුන සංවාදය ළමා රෝග විශේෂඥයාගේ බිරිඳට වැටහුනේ මඳ වශයෙනි. නමුත් මිනිසුන්ගේ ජීවිත වලට හෙන ගෙඩි කඩාපාත් වන අයුරු පිළිබඳව ඇගේ සිතුවිලි දාමය තුල දෙවියන් වහන්සේත් දඩුවම් දෙන්නේ අහින්සකයන්ටමද ? යන ප්‍රශ්නය කිහිප විටකදීම නැගුණි.

ආහාර ගෙන අවසන් වූ වහාම හෙන්රික්ස් කලේ සිය දුරකතනයෙන් හදවත් රෝග විශේෂඥයා ඇමතීමයි. සියළු රෝග ලක්ෂණ කෙටියෙන් කිවූ හෙන්රික්ස් ලබන බ්‍රහස්පතින්දා උදේ දහය වන විට ළමයා රැගෙන හෙන්රික්ස් ගේ ගෙදරට පැමිණීමටත් අනතුරුව ඔහුගේ වාහනයෙන්ම හදවත් රෝග විශේෂඥයා හමුවීමට යාමටත් කතිකා කර ගත් විලියම් හා හෙන්රික්ස් ආගිය තොරතුරු කතා කරමින් සමුගන්නා විට සවස හතරද පසුවී තිබුණි.


මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!