ඉරුණු ජීවිත 34 (නවකතාව) Cavan Monaghan Hospital
පරිච්ඡේදය 35 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්
ඊලඟ බ්‍රහස්පතින්දා දක්වා වූ දින පහක කාලය ඈන්ට දැනුනේ කල්ප ගණනාවක් ලෙසිනි. දිවා කාලයේ ළමයා අසලම සිටින ඈන් රාත්‍රීයට වරින් වර තිගැස්සී නැගිට ළමයාගේ පපුවට කන තබා බලයි. ළමයා ජීවතුන් අතර බව තහවුරු කර ගන්නා ඈ නැවත නින්දට වැටේ. නැවත ඇහැරේ. මෙය ඈන්ගේ මේ දිනවල දින චරියාවයි.
බ්‍රහස්පතින්දා උදේම නැගිට ගත් ඈන් ළමයාගේ අවශ්‍ය කළමනා ද සුදානම් කරගෙන වෛද්‍යවරයා සමඟ පිටත් වුයේ උදෑසන හතට පිටත් වන බෝට්ටුවට නැගීමටය. එදා වෙදහල වසා දැමුණු අතර හෙදිය පමණක් වෙදහලේ නැවතුනේ නේවාසික රෝගීන්ගේ අනෙකුත් වැඩ මෙහයෙවීමට හා අධීක්ෂනයටයි.
බෝට්ටුවේ නැග අනෙක් තොටුපළෙන් බැස්ස ඈන් වෛද්‍යවරයා පිටුපස ඇදේ. ඈන්ගේ මුහුණ හේබාලාය. දෑසේ ඇත්තේ කනගාටුවකි. විටින් විට දෑසේ නැඟුණු කඳුළු බිංදු ඇස් කෙවෙනි වලින් වැටෙන්නට පෙර ඇය පිසදා ගනී. කෙතරම් දක්ෂ වුවත්, උගත් වුවත්, ලෙඩ වූවන් කෙතරම් දැක ඇතත්, ඈන් නම් මවට මෙය දරා ගැනීමට නොහැකිය.
කුලී රථයකට නැගුණු ඈන් හා විලියම් දොස්තර හෙන්රික්ස් ගේ නිවස අසලින් බසින විට වේලාව උදෑසන නමය පමණ වන්නට ඇත. උදෑසන පාතරාසය හෙන්රික්ස්ගේ බිරිඳ විසින් සියළු දෙනාටම පිළියෙළ කර තිබුණි. උදෑසන ආහාර වේල ගැනීමට අචාර සමාචාර වලින් පසු සියළු දෙනා අහාර ගැනීමට අසුන් ගත්තත් ඈන් කෑවා නොකෑවා වැනිය. ආහාර කොතරම් රසවත් වුනත් ඒ රස ඇයට නොදැනේ. ඇගේ දිවේ රස නහර හදේ ශෝකයෙන් ආවරණය වී තිබීම නිසාදෝ ඇයට සෑම ආහාරයක්ම දැනුනේ වතුර වගේ ය.
ආහාරයෙන් පසුව දොස්තර හෙන්රික්ස් දරුවා පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. වෙද නලාව කිහිපවාරයක් ළමයාගේ පපුව මත තබා පපුවේ හඬට කන් දුන් හෙන්රික්ස්ගේ මුහුණේ කිසිඳු වෙනසක් දැක ගැනීමට ඈන්ට නොහැකි විය. විලියම් ද ඔහු දෙස හිස් බැල්මෙන් බලා සිටිනු ඈන්ට දැක ගත හැකි විය.
"අපි මෙයාව කාඩියෝලොජිස්ට (Cardiologist) පෙන්නමු." කියූ හෙන්රික්ස් ඈන්ගේ මුහුණ මඳ වේලාවක් බලා සිට ඇගේ සිත කියවීය.
"කළබල වෙන්න එපා. අපි තාම මේක හරියටම දන්නේ නැහැනේ. පරීක්ෂණ වලින් පස්සේ තමයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ, සමහරවිට අපි හිතන තරම් නරක නොවෙන්න පුළුවන්." කියූ හෙන්රික්ස් "යමු දැන් නැතිනම් පරක්කු වෙනවා" කියා වේගයෙන් සිය මෝටර් රථය වෙත ගමන් කරන්නට විය. ඔහු පිටුපසින් විලියම් ද ඊට පිටුපසින් දරුවා වඩා ගත් ඈන් ද මෝටර් රථයට ගොඩ වුනු අතර සැර දමමින් ධාවනය පටන් ගත් මෝටර් රථය වේගයෙන් ඇදී යන්නට විය.
මහ පාරවල්, අතු පාරවල් හරහා ඇදී ගිය මෝටර් රථය නැවතුනේ ඉස්පිරිතාලයක් ඉදිරිපිටය. " Cavan Monaghan Hospital" යන නාම පුවරුව ඈන් ට දිස්වූයේ සිහිනයකදී මෙනි.
මතු සම්බන්දයි