ඉරුණු ජීවිත 36 (නවකතාව) ප්‍රතිඵල
පරිච්ඡේදය 37 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
හෙන්රික්ස්ගේ ගෙදරින් දිවා ආහාරය ගත් ඈන් සහ විලියම් ගෙදර ඉස්තෝප්පුවේ පුටු වල අසුන්ගෙන හිස් බැල්මෙන් හෙන්රික්ස්ගේ මනාව පවත්වාගෙන යන වත්ත දෙස බලා සිටී. දරුවා වඩා ගත් හෙන්රික්ස්ගේ බිරිඳ නා නා විධ ගස් වර්ග මල් වර්ග දරුවාට පෙන්නමින් දරුවා හුරතල් කරමින් සිටියි.වෙනදා නම් මෙවැනි වත්තක හාත්පස දුවන්නේ ඈන් ය. රෝස මල් වලට ඈන්ගේ කැමැත්ත ඉතා ඉහලය. තම ගෙවත්තේ හා වෙදහල ඉදිරිපිට විවිධ වර්ණයෙන් යුතු රෝස මල් වැවුනේ ඈන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසටය. ඒවාට පොහොර දැම්මේ,වතුර දැම්මේ ඈන් ය. ඈන් මුළු දිවයින පුරාම ඇති රෝස වර්ග එකතු කර පාත්ති හදනවා කියා එකල හිනාවුන විලියම් ද ඒවායේ මල් පිපෙන විට එහි සුන්දරත්වයට කැමති විය. ඈන් ගේ වගා සංග්‍රාමය හේතුවෙන් වෛද්‍යවරයාගේ නිවසත් වෙදහලත් ඇති ඉඩම හරිතාගාරයක් වූයේ බලා ඉද්දීය. කුඩා ඈන් ගස් අතගාමින් වතුර දමමින් ගස් සමඟ කතා කරමින් ගස් වටේ යෑම එකල වෙදහලට පැමිණෙන කාටත් හුරු පුරුදු දර්ශනයක් විය.ඈන් සමඟම පැලද නීරෝගීව දළු ලමින් වැඩෙනු වෛද්‍යවරයා බලා සිටියේය. ගස් වටා දිවූ කෙල්ල ලමිස්සියක වූ හැටිත් අනතුරුව කාලසටහනකට අනුව පැල වලට වතුර සහ පොහොර ලැබෙන්නට වූ සැටිත්,සවස් ජාමයේ කවුරුන් හෝ කුලී කරුවකු සමඟ ගස් වටේ යමින් අනවශ්‍ය අතු, වල් පැලැටි උදුරමින් ගස් වලට වුර්තීයම සාත්තුවක් ද දුන්නේ ඈන් ය.
එරල්ගේ අසනීපය හසු වූ දා සිට පැල දෙස බැලුවේ වත් ඈන් නොවේ. පැල වලට කුලී කරුවකු ලවා වතුර දැම්මේව්වේ ද හෙදියයි. වෙද ගෙදර තිබු සිරියාව ටිකෙන් ටික වියැකී යාවී යැයි බිය වූ තැනැත්තිය හෙදියයි. ඈන් ගේ වේදනාව , විලියම් ගේ වේදනාව හොඳින්ම දැනෙන තැනැත්තියත් හෙදියයි. එනිසා වෙදගෙදරට පැමිණෙන කවර ගැටළුවකදී වුවද, වෙද ගෙදර කරුණු කාරණා ඒ පරිදිම වෙනසක් නැතිව , පිටතට ගැටළු නොපෙනෙන පරිදි පවත්වා ගෙන යෑම සෑම විටම සිදු කලේ හෙදියයි.
සවස හතරයි තිහ පමණ වන විට හෙන්රික්ස් ගේ නිවසේ දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේ සිතුවිලි දාම වල වෙලී සිටි ඈන් හා විලියම් ව සිතිවිලි වලින් අවදි කරවමිනි. දුරකතනයට පිළිතුරු සැපයුවේ ගෙදර ප්‍රධාන මෙහෙකරුය. දුරකථනය විසන්ධි කොට විලියම් දෙසට හැරුණු මෙහෙකරු
"සර්ට අපේ සර් එන්න කිව්වා " කියා කීවේය.
ඉක්මනින් අසුනින් නැගිට ගත් ඈන් ගෙවත්තට ගියේ ළමයා ආපසු ගැනීමටයි.නමුත් වෛද්‍යවරයාගේ බිරිඳ කීවේ ඔවුන් ගොස් එනතුරු ළමයා තමා බලාගන්නම් කියාය. ඈන් එයට වැඩි කැමැත්තක් දැක්වුයේ නැත.
"මෙයාට බඩගිනි වෙයිද ? දන්නේ නෑ" ඈන් කීවාය.
"මේ ළමයාව ඕනෑවට වඩා ඉස්පිරිතාලයට ගෙනියන්න එපා. කිරි ටිකක් දීලා යන්න. බය නැතිව ගිහින් එන්න මම ළමයාව බලා ගන්නම්, ළමයාව දොස්තර උදේ බැලුවනේ,උවමනා වුනොත් කෝල් එකක් දෙන්න ම්ම් අරගෙන එන්නම්. මම ළමයි දෙන්නෙක් හදපු අම්මා කෙනෙක්" හෙන්රික්ස් ගේ බිරිඳ සිනාසෙමින් කීවේ අලුත් අම්මලාගේ ආදරය කොතරම් ද කියා ඇය දන්නා බැවිනි.
"ඔව් ඈන් ළමයාව ගෙනියන්න ඕනේ නෑ, කැතරින් අපි එනකම් එයාව බලා ගනීවි" යැයි විලියම් කීවේ ඈන් දෙස බලමිනි.
තමාට හඬක් නැති ඈන්ට වැටහේ. විලියම්ට ඈන් කිසිදා විරුද්ධ වී නැත.එම නිසා කරබා ගත් ඈන් ඔහු සමඟ නිවසින් පිට වුනේ එතරම් හිතේ සතුටින් නොවේ.
කුලී රියෙහි නැගුණ ඔවුන් නැවත දෙවැනි මහලේ දාහතර වන කාමරයට යන විට එතැන සිටි හෙදිය සිනාමුසු මුහුණින් දොර හැර ඔවුන් ඇතුලට ගත්තාය. කාමරය තුල දොස්තර බ්‍රවුන් ට අමතරව දොස්තර හෙන්රික්ස් ද විය. දොස්තර විලියම් හා ඈන් ද එතැනට පැමිණි පසු දොස්තර හෙන්රික්ස්ත ම අතෙහි වූ වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල බ්‍රවුන්ට දුන්නේය.විලියම් ඒමට පෙර වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල හෙන්රික්ස් විසින් ලබාගෙන තිබු අතර ඒවා ඔහු අධ්‍යනය කර තිබුණි. දොස්තර බ්‍රවුන් නිහඬව පරීක්ෂන වල ප්‍රතිඵල අධ්‍යනය කරමින් පසකින් තබන වෛද්‍ය වාර්තා විලියම් රැගෙන බලයි. අනතුරුව එය බලන්නේ ඈන් ය.
මේ සියළු දෙනාටම පැහැදිලිව දැක ගත හැකි දෙයක් මෙම වාර්තා වල ඇත. එනම් කුඩා එරල්ගේ කෝෂිකා ආවාරයේ සිදුරක් ඇති බවය.සියළු දෙනාම තුශ්නීම්භුතව දැන් බලා සිටින්නේ වෛද්‍ය බ්‍රවුන් ගේ විශේෂඥ මතය දැන ගැනීමටය. නැවතත් වෛද්‍ය පරීක්ෂණ වල ප්‍රතිඵල වාර්තා අතට ගත් බ්‍රවුන් දැඩි අවධානයකින් නැවත ඒවා දෙස බලා සිට සිය හඬ අවධි කලේ සෙමිනි.
"දැන් අපි ඔක්කොටම පේනවානේ ප්‍රශ්ණේ. මේක ලොකු කෙනෙක්ගේ නම් "ඕපන් හාර්ට් සර්ජරි (open heart surgery)එකකින් හදන්න පුළුවන්. නමුත් මේ ළමයා තාම ගොඩක් පොඩි වැඩියි. අඩුම තරමේ අවුරුදු දහයක් වත් වුනහම තමයි මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් වෙන්නේ."කියූ බ්‍රවුන් කථාව නවතා ඔලුව උස්සා බැලීය. ඈන් ගේ දෑසේ කඳුළු බිංදු ඔහුට පෙනේ. නැවතත් බොහෝ කල්පනාකාරීව වෛද්‍ය බ්‍රවුන් හඬ අවදි කළේය.
අවුරුදු දාහක් දොළහක් වෙනකොට මේක ඉබේම වැහිලා යන්න ඉඩ තියෙනවා. දේව කරුණාවෙන් එහෙම වුනොත් ප්‍රශ්නයක් නැහැ. නැතිනම් අපිට සර්ජරි එකකින් මේක වහන්න පුළුවන්. මොක වුනත් දැන්ම මුකුත් කරන්න බැහැ.
ඈන්ට කෑගසා අඩන්නට සිතුණි.නමුත් බුද්ධිය ඇය වලක්වාලීය. ඈන්ගේ දැනුම ඇයට වෛද්‍යවරයාගේ ඊළඟ වැකි කිහිපය කීමට පෙර සිතා ගැනීමට සැලැස්වීය. නමුත් වෛද්‍ය බ්‍රවුන් තමන්ගේ කාර්යය අකුරටම කළේය.
" මේ වගේ ළමයි දුර්වලයි. ප්‍රතිශක්තිය අඩුයි නේ, ඒ නිසා ඉතින් ළමයාව හොඳට පරිස්සම් කර ගන්න ඕනේ" කියූ බ්‍රවුන් අනතුරුව විලියම් දෙස බලා "සර්ජරි එක කරන්න උනොත් තරමක වියදමක් යනවා " කියූ අතර විලියම් ඔලුව වැනුවේ "ඔව් මම දන්නවා" කියන අයුරිනි.
මෙම සාකච්ඡවෙන් පසුව බ්‍රවුන්ට ස්තූති කොට එලියට පැමිණි විලියම් හා ඈන් පිටුපසින් පැමිණි හෙන්රික්ස් "එන්න විලියම් යමු " කියමින් ඔහුගේ කාරය දෙසට ඇවිද ගියේය. ඔහු පිටුපසින් විලියමුත් ඊට පිටුපසින් ඈන්නුත් ගමන් කොට හෙන්රික්ස්ගේ කාරය තුලට ගොඩ විය. ඈ න්ට නම් මේ සියල්ල හීනයක් මෙන් දැනේ. තමාගේ එකම පැතුම වූ සිය පුත්‍රයාද දැන් ලෙඩෙකි. ඔහුව රැක බලා ගැනීම ද කල යුත්තේය. වෙන දරුවන් මෙන් දුව පැන ඇවිදින ටිකිරි සිනා නඟන නිරෝගී දරුවකු සිතේ මැවුණු ඈන් ට මඳ වේලාවකින් එම චිත්‍රය බොඳ වී අනෙක් ළමයි වේගයෙන් දුවද්දී පැත්තකට වී ඕතැනීව සිටින දරුවකුගේ චිත්‍රය සිතේ මැවුනි. මඳ වේලාවකින් එම ළමයාගේ රූපය පැහැදිලිව දිස්වන්නට විය. ඒ එරල් ය. ඈන් වහාම එම චිත්‍රය සිතින් මකා දැමුයේ එම සිතිවිල්ලට ඇති වූ බියටය.
වැඩි කතා බහක් නොමැතිව තිදෙනාම නැවත පැමිණියේ හෙන්රික්ස් ගේ ගෙදරට ය. ඔවුන් නැවත පැමිණෙන විට අඳුර වැටී තිබුණ බැවින් දරුවා නිවස තුල සිට කැතරීන් අතට වී වට පිට බලමින් සිටිනු ඈන් ට දැක ගත හැකි විය. ඈන් ගේ පැමිණීම වටහා ගත් දරුවා හඬන්නට වූයේ ඈන් නැතිව මුළු කාලයම අඬමින් සිටියා මෙනි. ඈන් වහාම දරුවා අතට ගත් අතර හැඩීම නැවතිණි. ඈන් ඔහුත් සමඟම නිවස තුල වූ අසුනක අසුන් ගත්තාය.
ඔවුන්ට සවස තේ සමඟ කේක් සහිත ට්‍රොලිය තල්ලු කරගෙන පැමිණි මෙහෙකරු අතින් එය ගත් කැතරීන් ඈන් අසලට ගොස් ඇයට තේ බීමට ආරාධනා කලාය. හෙන්රික්ස් හා විලියම්ද ඒ ආරාධනය ඇසී එතැනට පැමිණියේ ඇඟට කෙමෙන් ඇතුළු වන සීතල මකා ගැනීමට තේ ටිකක් පානය කිරීම තරම් තවත් දෙයක් නැති නිසාය.
"විලියම් අද මෙහෙ ඉඳලා යමු. අන්තිම බෝට්ටුවත් තව පැය භාගයකින් යනවා." හෙන්රික්ස් කීය.
"අනේ ! අපි තව කරදර කරන්නේ කොහොමද ? ඉක්මනට ගියොත් බෝට්ටුව අල්ල ගන්න පුළුවන් නේ" විලියම්ගේ පිළිතුර විය
"ඉතිං ඔච්චර හදිස්සියේ ගිහින් බෝට්ටුව අල්ලන්න ඕනේ නෑ . අද ඉඳලා හෙට උදේටම යන්න බැරිය" කියුයේ කැතිරින්ය.
දෙදෙනාගේම සිත් බිඳ දමා යාමට විලියම් ට නොහැකිය. ඈන්ගේ අඳුරු මුහුණෙහි කිසිඳු ප්‍රතිචාරයක් නැත. දැන් ඈන්ට උන්නත් දාහයි මලත් දාහයි වැනිය. ඈන්ගේ සිතුවිලි පුරාම ඇත්තේ පුංචි එරල්ගේ අසනීපයි. අනෙක් කතා ඇයට ඇසෙන්නේත් නැති තරම්ය.
"හා ! හොඳයි , හැබැයි උදේට කෑම හදන්න කරදර වෙන්න එපා. උදෙන්ම අපි යන්න ඕනේ. ඩිස්පෙන්සරිය අරින්නත් ඕනේ නේ" කියූ විලියම් එදින රාත්‍රිය එහි නැවතීමට සිය කැමැත්ත දුන්නේ ය.
හෙන්රික්ස්ගේ නිවස සුඛෝපභෝගී නිවසකි. හෙරික්ස් ලා පරම්පරාවෙන්ම පොහොසත් මිනිස්සුය. මේ ගෙදර තව දෙන්නකුට නවාතැන් දීමට හොඳටම ඉඩ කඩ සහිතය. ඒ නිසා කැතිරීන්ට කිරීමට ඇත්තේ ඉතා සුළු වැඩකි. එනම් මෙහෙකරු කැඳවා අද මොවුන් ඉන්නා බව දැනුම් දීම පමණකි. එවිට සියළුම කටයුතු අදාළ පරිදි නිවැරදි ආකාරයෙන් පිළියෙළ වන බව ඈ දනී.
එදින රාත්‍රී ආහාරයෙන් පසු ඈන් දරුවා තුරුළු කොටගෙන ඉක්මනින් ම නින්දට ගිය අතර විලියම් ,හෙන්රික්ස් හා කැතරීන් ආ ගිය තොරතුරු කතා බස් කරමින් මදුවිත තොල ගා නින්දට වැටෙන විට රාත්‍රී දහය ද පසු වී තිබුණි.
මතු සම්බන්දයි