ඉරුණු ජීවිත 37 (නවකතාව) තවත් ගැහැණියක්
පරිච්ඡේදය 38 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්
පසුදා පාන්දරම අවදි වූ ඈන් හා විලියම් තවමත් නිදාගෙන සිටින එරල් ද සුදානම් කරගෙන ආපසු එන්නට පිටත් වූයේ හෙන්රික්ස් ගේ ගෙදරින් ලබා දුන් උදෑසන තේ කෝප්පය ද බීමෙන් පසුය. උදෑසන ආහාරය සඳහා ආරාධනා ලැබුනත් මෙම පවුලට තව දුරටත් බරක් වීමට විලියම් ට සිත් නොදේ. ඒ නිසා විලියම් කීවේ
" ඩිස්පෙන්සරිය අරින්න ඕනේ නේ , අදත් වහලා තියන්න බෑනේ." යනුවෙනි. ආම්පන්න ලට්ට ලොට්ට සියල්ල අසුරා ගත් විලියම් හා ඈන් හෙන්රික්ස්ට මුව නොසෑහෙන සේ ස්තූති කොට ගෙදරින් පිටත් වූයේ උදෑසන හතට පිටත් වන බෝට්ටුව අල්ලා ගැනීමටය.
විලියම් ,ඈන් හා එරල් ගේට්ටුවෙන් පිට වී යන දෙස මඳ වේලාවක් බලා සිටි කැතරින්
"විලියම් ට පිස්සුද දන්නේ නැහැ නේ " කීවාය.
එය ඇසුණු හෙන්රික්ස් කැතරින් දෙසට හැරී "ඇයි" කියා ඇසුවේ විශ්මය ගැබ්වූ දෙනෙතිනි.
"කොහෙද යන අනාථ කෙල්ලෙක් මුලින් හදා ගත්තා. දැන් එකී අවලමේ ගිහින් හදාගත්ත අවජාතකයා බලා ගන්නවා"
මෙවැනි දෙයක් හෙන්රික්ස් කිසිවිටකත් කැතරින්ගෙන් බලාපොරොත්තු වූයේ නැත. ඊයේ දවස පුරා ඇය ඈන් සමඟ කටපුරා සිනාසෙමින් ආ ගිය තොරතුරු කතා කරමින් සිටින්නට ඇත . ඔවුන් යනකම් ඉඳ මේ කියන ජරා කතාව හෙන්රික්ස්ට කිසිසේත්ම ඇල්ලුවේ නැත.
"විලියම් ඒ ගොල්ලන්ව බලා ගන්න ඔයාගෙන් සල්ලි ඉල්ලුවද ?"
"අපෝ නෑ "
"ඔයාට විලියම්ගෙන් මොනා හරි දේපලක් ලැබෙන්න තියෙනවද ?"
"විකාරද ඔයාට "
"එහෙනම් ඔයාට මොකද? විලියම් අනාථ කෙල්ලෝ ,අවජාතකයෝ නැතිනම් ගණිකාවෝ හදා ගත්තත් "
කැතරින් එයට උත්තරයක් දෙන්නට ගියේ නැත. සිය සැමියාගේ හඬේහි වූ නුරුස්සනා ගතිය ඇයට නොවැටහුනා නොවේ. අහක යන කෙහෙම්මලකට රණ්ඩු වෙන්නේ මොකටදැයි සිතා කැතරින් නිහඬ විය. මද වේලාවකට පසුව කැතරින් ගේ සිතට ලැජ්ජාවක් කාන්දු විය. අනුන්ගේ කුණු ගොඩවල් සෙවීමේ ගැහැණු ගතිය ඇයට තාමත් පවතින්නේ වයස අවුරුදු පනහක් වුවද ඇයත් ගැහැනියක් වීම නිසාය.
වෙනදා මෙන්ම උදෑසන අවදි වූ හෙදිය උදෑසන ආහාර පිළියෙළ කිරීමේ කටයුතු සොයා බැලීමෙන් පසුව සිය කාමරයට පැමිණියේ එරල්ට කුමක් වන්නට ඇත්දැයි සිතමිනි. ඇය ඊයේ දවස පුරාම කලේ එරල් හා ඈන් වෙනුවෙන් දෙවියන් යැදීමයි. දෙවියන්ට මේ කියන ඒවා සියල්ල ඇසෙන පෙනෙන බව ඇයට ඉගැන්නුවේ ඇය කුඩා කල ගිය පල්ලියේ දහම් පාසලිනි. අදත් ඇය එලෙසම එය විශ්වාස කරයි.
විවිධ වූ සිතුවිලි රාශියක් හද තුල තෙරපෙද්දී හෙදිය වෙදහලෙන් පිටතට ආවේ ඇයටත් නොදැනීය. කිසිදා නොදැනුන පාළු ගතියක් ඇයට ඊයේ දවස පුරාම දැනෙන්නට වූයේ එරල් හා ඈන් නැති බැවිනි. ඈන් කුඩා කාලයේ ඈන්ටත් සමඟ ආහාර පිස ඇය වැඩට එනතුරු ඇය මග බලා සිටියේ ඇයිද ? කියා අදටත් ඇයට නොවැටහේ. එරල් ඉපදී වැඩි කාලයක් නොමැති වුවත් ඔහුද ඇයගේ සිතට ක්‍රමයෙන් ඇතුළු වී ඇතැයි ඇයට සිතේ. අතීත සිදුවීම් එකින් එක ඇගේ දෑස ඉදිරියේ ඇදෙද්දී දෑසින් උණු කඳුළු කැට කම්මුල දිගේ ගලා යනු දැනුනු ඇය දකුණු අත්ලෙන් ඇස් පිසදා ගත්තේ කාටවත් නොපෙනේනටය.
උදෑසන නමය පමණ වන විට දරුවා වඩා ගත් ඈන් ළමයා හෙදියට දී කිසිදු වචනයක් නොදොඩා වෙදහලට ඇතුළු විය. පිටුපසින් පැමිණි විලියම් ද ගමන් මලු ඩිස්පෙන්සරියේ පුටුවක් මතට දමා කිසිවක් නොකියා ඔහුගේ කාමරයට වැදුනි. මෙම ලක්ෂණ සුභ ලක්ෂණ නොවන බව හෙදිය දනී. එම නිසා හෙදිය කිසිවක් ඈන් ගෙන් වත් ,විලියම්ගෙන් වත් නොවිමසුවාය.ඇයද නිහඬව ඩිස්පෙන්සරිය තුලට පැමිණ එරල් ඔහුගේ පුටුව මත තබා ,ගමන් මලු දෙකේ වූ ද්‍රව්‍ය අස්කරන්න ගත්තේ එක් ඇසක් එරල් ළඟ තබමිනි.
කුටිය තුලට වැඳුන වෛද්‍යවරයා ඇඳුම් අහවර කර කෑම කාමරයට ගොස් උදෑසන අහාරය ද ඉතා ඉක්මනින් අවසන් කොට හෙදියට කීවේ ඩිස්පෙන්සරිය විවුර්ත කරන ලෙසය.
මතු සම්බන්දයි