ඉරුණු ජීවිත 38 (නවකතාව) මයිකල් බයිඩන් 2

පරිච්ඡේදය 39 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්

වැඩි හැලහොල්මනක් නැතිව, ඒකාකාර සුපුරුදු ජීවන රටාවට අනුව වසර කිහිපයක් ගෙවී යන්නේ කාටත් නොදැනීය. මේ වන විට එරල්ගේ වයස අවුරුදු හයකි. පාසල් යන වයසේ පසු වන එරල් දූපතේ ඇති එකම පාසලට ඇතුලත් කරනු ලැබ සිටියි. මේ කාලය තුල විටින් විට කරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණ වලින් එරල්ගේ පපුවේ සිදුර ඉබේ පැහෙන එකක් නොවන බව කාටත් දැන් වැටහී අවසන්ය. අවුරුදු 10-12 පමණ වන විට සැත්කමකින් මිස පපුවේ සිදුර වැසීමට දැන් නම් අන් ක්‍රමයක් නොමැත. 

මේ සැත්කම ඉතාම විශාල වියදමක් යන සැත්කමක් බැවින් ,මේ පිළිබඳව දැනගත් දා සිට වෙදගෙදර ඇත්තෝ කටයුතු කලේ අරපිරිමස්මෙනි. පල්ලියේ,ප්‍රජාවේ කටයුතු වලට පෙර අත දිග හැර වියදම් කල වෛද්‍යවරයා දැන් එතරම් ඒවා සඳහා වියදම් නොකරයි. මේ නිසා වෙදගෙදර සමඟ හිත් අමනාපකම් ඇති කරගත් අය නොසිටියා නොවේ.

ඈන්ගේ කටයුතු ද දැන් සිදුවනුයේ බොහෝම අරපරිසමිනි. ඇය ද පෙර මෙන් අරුමෝසම් බඩු, ඇඳුම් සඳහා වියදම් නොකරයි. දැන් ඇය ඇඳුමක් ගන්නේ ඇඳුමක් අත්‍යාවශ්‍ය නම් පමණි. පාවහන් යුගලක් ගන්නේ පැළදිය නොහැකි තරමට පාවහන් යුගල කැඩුණු හෝ ගෙවුණු පසුය.

එරල්ගේ හුරතල් දකිමින්, එම ගෙදරම සිටින හෙදිය නොදැනුවත්වම ඊට සහභාගී වෙලාය. ඇයට ලැබෙන මාසික පඩියෙන් ඇය යමක් ඉතිරි කරන්නට ගත්තේ කුඩා එරල්ට ය. ඇයට කවදත් වැඩි උවමනා නොතිබූ අයෙකි. ඒ නිසා ඇගේ චර්යාවේ නම් වැඩි වෙනසක් සිදුව තිබුනේ නැත.සිදුව තිබු එකම වෙනස නම් මාසික පඩියෙන් නිශ්චිත ප්‍රමාණයක් සෑම මාසයකම බැංකු ගිණුමක තැන්පත් වීමයි.

දිනක් හවස පුවත්පත කියවමින් සිටි වෛද්‍යවරයාගේ නෙත ගැටුණු පුවතක් වෛද්‍යවරයාගේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කළේය. එම ලිපිය කියවූ ඔහු සීනුව නාද කොට හෙදිය කාමරය තුලට ගෙන්වා ගත්තේය. හෙදිය කාමරය තුලට පැමිණෙනවාත් සමඟම කාමරයේ දොර වැසීමට අතින් සන් කල වෛද්‍යවරයා දොර වසා පැමිණෙන හෙදියට පුවත්පතේ එක් ලිපියක් ඇඟිල්ල තබා පෙන්වූ අතර ඔහු එම ලිපිය කියවන හෙදියගේ මුහුණ දෙස බලා සිටියේ එහි පහළවන හැඟුම් කියවන්ටය.

ලිපිය කියවන හෙදියගේ මුහුණ වෙනස් වනු වෛද්‍යවරයාට පෙනේ. වරින් වර වෛද්‍යවරයාගේ මුහුණ බලමින් ඇය ලිපිය සම්පුර්ණයෙන්ම කියවා අවසන් කළාය. එම ලිපියෙහි වැදගත් කමක් ඇත්නම් ඇත්තේ ඈන්ට හා එරල්ටය. 

එම ලිපිය මයිකල් බයිඩන් ගැනය. එනම් එරල් බයිඩන්ගේ ජීව විද්‍යාත්මක පියා ගැනය. ලිපියේ සඳහන් වූයේ ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයකු වන සර් ජොන්ස්ටන් බයිඩන්ගේ පුතු හා ඔහුගේ බිරිද හදිස්සි අනතුරකින් මිය ගොස් ඇති බවයි. ඔවුන් දෙදෙනා ගමන් කළ රිය වේගය පාලනය කොටගත නොහැකිව ගොස් කන්ටේකරයක ගැටී ඇති බවක් මේ ගැටුම හේතුවෙන් පාරෙන් ඉවතට විසි වු BMW රථය අසල පිහිටි නදියට වැටී ගිලී ඇති බවත් එහි සඳහන් වේ . මයිකල් හා ඔහුගේ බිරිඳගේ මංගල දිනයේ ඡයා රූපයක්ද , මහලු සර් ජොන්ස්ටන්ගේ රුපයක් ද එහි විය. මෙය මිනීමැරුමක් විය නොහැකිද යන්න පුවත්පතින් ප්‍රශ්න කොට තිබුණේ ව්‍යංගයෙනි.

"මේක ඈන්ට පෙන්නනවද?" වෛද්‍යවරයා හෙදියගෙන් අදහස් විමසීය.

"ඔව් ! පෙන්නමු " හෙදිය කීවේ ක්ෂණිකවමය.

"ඈන් කලබල වෙයිද දන්නේ නැහැ , එයා මයිකල් බැඳලා කියලා දන්නෙත් නැහැනේ "

"ඔයා ගෑනු ගැන දන්නේ නෑ ඩොක්ටර්. ඩොක්ටර් හිතන්නේ ඈන් තාම පොඩි ළමයෙක් කියලද ? ඈන් ඔය ඔක්කොම හොඳට දන්නවා අපිට නොකිව්වට, කරදරයක වැටුනහම ගෑනු හිත් පිරිමින්ගේ හිත් වලට වඩා ගොඩක් හයියයි ඩොක්ටර් " කියූ හෙදිය වෛද්‍යවරයාගේ දෑස දෙස කෙලින්ම බැලුවේ ඔහුගේ මුහුණේ අදහස තේරුම් ගැනීමටය.

"හා එහෙනම් ඕනේ එකක් " කියූ වෛද්‍යවරයා පත්තරය හෙදිය අත තැබුවාය.

දිනයේ වැඩ අහවර වී වෙද ගෙදර අස් පස් කිරීම් වල හෙදිය නිරත වූ අතර ළමයාගේ පාඩම් වගයක් බලමින් ඈන් එරල් අසල අසුන්ගෙන සිටියාය. මෙවිට ඈන් දෙස බැලූ හෙදිය 

"ඈන්, වැඩක් නැතිනම් මෙහෙට පොඩ්ඩක් එන්නකෝ " යැයි කීවාය.

එය ඇසුණු ඈන්, පුටුවෙන් නැගිට ගොස් හෙදිය අසල අසුන් ගත්තාය. 

"ඈන් මේක දැක්කද?"

පුවත්පත අතට ගත් ඈන් මයිකල් ගේ මරණය පිලිබඳ ලිපිය සම්පුර්ණයෙන් කියෙව්වාය.

"මොකද කරන්නේ, යනවද ෆුයුනර්ල් (funeral) එකට"

"ඕනෑ නෑ, අර මිනිහා අපි ඔක්කොටම ගහලා එලවයි. අනික මං එයාව අමතක කරලා ගොඩක් කල් "

ඈන් ගේ පිළිතුර'හෙදිය තුල නැංවුයේ කුකුසකි. මයිකල්ගේ පියා විලියම් ව එලවා දැමු බව ඇය දන්නේද?,නැතිනම් ඔහේ කටට ආවට කීවද ? යන පැනය හෙදියගේ හිතට නැගුණ නමුත් එම ගැටළුව විසඳාගැනීමට මේ වේලාව නොවේ. අනික දැන් ඒවායින් වැඩක් නැත.

"මයිකල්ට ළමයි නැහැ වගේ නේ" හෙදිය කීවේ ඈන්ගේ මුහුණ දෙස හොඳින් බලමිනි. මුහුණේ මඳ සිනාවක් නැගුණ ඈන් 

"ම්! නැතිනම් පින්තුරක් වත් දායි නේ" කියා හුන් තැනින් නැගිට නැවත එරල් අසලට ගියේ ගණනක බින්දුවෙන් පහක් අඩු කර ගැනීමට නොහැකිව එරල් මුර ගසන්නට වීම නිසාය.

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!