ඉරුණු ජීවිත 39(නවකතාව) එස්මරෙල්ඩා

පරිච්ඡේදය 40 | Laksilu 4 වාර කියවා ඇත 0 අදහස්

සිය එකම පුත්‍රයාගේ මළ ගෙදර අවසන් වී ටික කලෙකින් සර් බයිඩන්ට මහා බැරෑරුම් ප්‍රශ්නයක්ට පිළිතුරු සෙවීමට සිදුව තිබුණි. එනම් ඔහුගෙන් පසු ඔහුගේ මේ වස්තු සම්භාරය, ව්‍යාපාර , වතුපිටි, දේපල ලබා දෙන්නේ කාටද යන්නයි. බයිඩන්ගේ සිතට නොයෙකුත් සිතුවිලි ගලා එයි. එක් වරක ඔහුට සිතෙන්නේ සිය නමින් භාරකාර අරමුලක් පිහිටුවා අසරණ ළමයින්ට අනාථ නිවාසයක් සදා නඩත්තු කරන්නය. එවිට‍ හිත ඇතුලෙන් ඊට විරුද්ධව හඬක් නැගේ. "කොහෙවත් ඉන්න උන්ට මම කන්ඩ දෙන්නේ මොකොටද ?"

තම නෑදෑයින්ට් අතර තමාගේ ධනය බෙදා දීමට වරක ඔහුට සිතේ. නමුත් එවිට සිතෙන්නේ උන්ට හැමදේම තියන බැවින් උන්ට දීමට අනවශ්‍ය බවයි.

දින කිහිපයක සිට තවත් කිරීමට යමක් මතක් වේ.නමුත් එය තරමක් ආන්දෝලනයකට තුඩු දෙනු ඇතැයි ඔහුට සිතේ. එනම් තමාගේ ජාන සහිත මෙලොව වසන එකම තැනැත්තාට මෙය පැවරීමයි. ඔව් !ඈන්ගේ ළමයට සියලු දේපල ලිවීමයි . නමුත් ඒ සදහා සිත නමා ගැනීමට බයිඩන්ට අසීරුය. නමුත් තමා කැමැති වුවත් අකමැති වුවත් එම දරුවා තමාගේ ජීව විද්‍යාත්මක මුණුපුරා බව බයිඩන් දනී. දින කිහිපයක් මේ උභතෝකෝටිකයේ පැටලි සිටි බයිඩන් අවසානයේ තීරණය කලේ එස්මරෙල්ඩා සමග මේ පිලිබදව සාකච්ඡ කිරීමටය. එස්මරෙල්ඩා යනු බයිඩන්ගේ බිරිඳයි. බයිඩන් මේතාක් ගත් කිසිඳු තීරණයක් සඳහා එස්මරෙල්ඩාගේ සහාය පතා නැත.නමුත් මේ ගැටළුව නිරාකරණය කර ගැනීමට තමුන්ට තනිවම නොහැකි බව බයිඩන්ට මේ වන විට හොඳටම වැටහී අවසන්ය.

එස්මරෙල්ඩා සමඟ තනිවම මේ පිළිබඳව කතා කිරීමට අවස්ථාවක් බලමින් සිටි බයිඩන්ට ඒ සඳහා අවස්ථාවක් පෑදුනේ සති කිහිපයක ඇවෑමෙන් සිකුරාදා දිනක සැදෑවේ එළිමහනේ පුටුවක් මත හිඳගෙන තේ බොමින් පොතක් කියවන එස්මරෙල්ඩා දුටු බයිඩන්ට සිය ගැටලුව ලිහා ගැනීමට හොඳම දවස අද බව සිතුනේය. තමාගේ තේ එකද එම ස්ථානයට ගෙන යන ලෙස සේවිකාවට පැවසු බයිඩන් සෙමින් සෙමින් තණගොල්ල මතින් ඇවිදමින් එස්මරෙල්ඩා අසුන් ගෙන සිටි අසුනට ඉදිරිපස අසුනේ අසුන් ගත්තේය.

එස්මරෙල්ඩා ඔහු දෙස බලා මඳහසක් පා නැවතත් තමා කියවමින් සිටි පොත කියවන්නට ගත්තා ය.

බයිඩන් එස්මරෙල්ඩා සමඟ කතාව ආරම්භ කරන්නේ කෙසේදැයි මෙතැනට පැමිණීමට පෙර ගැටළුවක් තිබුනත්,ඇය කියවමින් සිටි පොත දුටු ඔහු එමගින් කතාව පටන් ගන්නට සිතා ගත්තේය.

"මොකක්ද? ඔය පොත"

"ලයිට් ඔෆ් ඒසියා, එඩ්වින් ආර්නෝල්ඩ් ගේ "  

බයිඩන් මේ පොත ගැන යම්තම් අසා ඇත. නමුත් ඔහු එය කියවා නැත. විශේෂයෙන් අන් ආගමික ශාස්තෘවරයකු පිළිබඳ පොතක් කියවීම ඔහුගේ පරිචය තුල කිසිසේත්ම නැත.

"ඇයි ඔය ඕක කියවන්නේ "

"ඔයත් කියවලා බලන්න. මේකේ තියෙන පොයම්ස් මාර ලස්සනයි, වගේම හරිම ගැඹුරුයි. දෙතුන් වතාවක් කියෙව්වේ නැතිනම් නියම අදහස ගන්න බෑ " කියූ එස්මරෙල්ඩා , "මොනවා වුනත් සර් එඩ්වින් අර්නෝල්ඩ් හරි දක්ෂ කවියෙක්" කීවාය.

"හ්ම්, ඇත්තද ?" කියූ බයිඩන් වටපිට බැලුවේය. සැමදාම දේපල, වතු,ව්‍යාපාර ගැන සිතමින් සර් බයිඩන් මුදල් ඉපයුවා විනා කිසිදාක කවි කියවන්න ගියේ නැත. ඔහු පවුම් දහස් ගන්නන් වියදම් කොට සමාජ සුභසාධක ව්‍යාපාර කරේ තමාගේ නම ප්‍රසිද්ධ කර ගැනීමේ අරමුණින් පමණය. එම ක්‍රියා කලාපයන් අවසානයේ රැජිනගෙන් නයිට්වරයෙක් ලැබෙන තැන දක්වා තමන්ව ගෙන ගිය බව බයිඩන් දනී. නමුත් තමන්ට කිසිදා කවි පොත් කියවීමට තරම් වේලාවක් නොතිබුණ බව බයිඩන් ට සිහි වේ. නැවතත් එස්මරෙල්ඩා දෙසට හිස හැරවූ බයිඩන් මඳ වේලාවක් ඇය දෙස බලා සිටියාය. මෙවිට තේ රැගෙන ආ මෙහෙකරු ඒවා මේසය මත තබා පසෙකට වී බලා සිටියේ බයිඩන්ගෙන් සන්යාවක් ලැබෙන තුරුය. බයිඩන් මෙහෙකරුට ලබා දුන් සංඥයා ව වෙනදාට වඩා වෙනස්ය. එම සංඥයාවට අවනත වූ මෙහෙකරු එතැන නොසිට නිවස දෙසට යන්නට විය.

තමාට තේ සකසා ගනිමින්ම බයිඩන් එස්මරෙල්ඩාට කතා කලේ බෙහෙවින්ම සන්සුන්වය.

"එස්මරෙල්ඩා, මට වැදගත් දෙයක් තියනවා ඔයත් එක්ක කතා කරන්න". එස්මරෙල්ඩා පොත පහලට දමා මඳ වේලාවක් ඔහු දෙස බලා සිට පොත අකුලා මේසය මත තැබුවාය.

"මොකක්ද? කියන්න තියෙන්නේ " එස්මරෙල්ඩා ඇසුවේ විමතියෙනි. නමුත් සන්සුන්වය.

"මම මේ කල්පනා කරේ මේ දේපල වලට අපෙන් පස්සේ මොකද ? වෙන්නේ කියලා "

එස්මරෙල්ඩාගෙන් ප්‍රතිචාරයක් නැත.

"ඔයාට, මොනවද ? හිතෙන්නේ."

"දැන් අපිට ළමයි නෑනේ බයිඩන්, අපෙන් පස්සේ මේවාට මොනවා වුනහම අපිට මොකෝ "

"එහෙම නෙමෙයි, අපෙන් පස්සේ මේවාට යන කලක් තියෙන්න එපාය.

එස්මරෙල්ඩා හිත ඇතුලෙන් හිනා යයි. දෙවියන් වහන්සේගේ ස්වර්ගය සැමට විවෘතය.දැන් බයිඩන් හදන්නේ ස්වර්ගයට පළමු පන්තියේ ටිකට් ගන්න දැ යි සිතුණු එස්මරෙල්ඩා හදවතේ නැගුණු හැගීම යටපත් කරගෙන බයිඩන් දෙස බැලුවාය.


මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!