ඉරුණු ජීවිත 40(නවකතාව) උරුමක්කාරයෝ

පරිච්ඡේදය 41 | Laksilu 2 වාර කියවා ඇත 0 අදහස්

"මොනවා කරන්න ද ඉන්නේ ?" එස්මරෙල්ඩා ඇසුවේය."අපේ නෑදෑයින්ට නම් මේ දේපල වලින් වැඩක් නැහැ නේ, අනාථ නිවාසයක් හදලා ආණ්ඩුවට භාර දෙමුද කියලත් හිතෙනවා "

"බයිඩන් ට තවත් නම්බු නාමයක් ඕන වෙලාද කොහිදෝ " කියා සිතට නැඟුණ සිතිවිල්ල එස්මරෙල්ඩා මුවෙන් පිට නොකලාය. ඒ වෙනුවට බයිඩන් ගේ මුහුණ දෙස මඳ වේලාවක් බලා සිටි ඇය 

" කැමැත්තක් කරන්න " කියා කීවාය. එම පිළිතුරෙහි ස්වරය තුල එම අදහසට එතරම් සහයෝගයක් නොලැබෙන බව බයිඩන්ට වැටහිනි.

"තවත් අදහසක් තියෙනවා, ඔයා කැමති වෙයිද? දන්නේ නෑ."

ඒ මොකක් ද ?

"ඔයාට මතකද මයිකල් සෙන් කිල්ඩාස් වල නැවතිලා බෙහෙත් ගත්තා "

"ඔව් අර ගෑණු ළමයෙක් එක්කත් යාළු වුනේ"

"මොනවා ! මට කවුරුත් ඒක ගැන මුකුත් කිව්වේ නැහැනේ" එස්මරෙල්ඩා කීවේ තරහිනි.

"ඔව් ඉතිං තාත්තල, පුතාලා කවදත් මට හැමදේම හංගපු එකනේ කරේ " කියූ ඇය කර බා ගත්තාය. ඇගේ සිත හොඳටම රිදිනි. කිසිදා නොදැනුන තරමේ දුකක් ඇගේ සිතට කාන්දු විය. තවදුරටත් මෙම කතාව කරගෙන යෑමට ඇයට සිත් නොදේ. මෙච්චර කල් හැංගුවා නම් දැන් මොනාද කියන්නේ." එස්මරෙල්ඩාගේ සිත කෑ ගසන්නට විය. ඒ අතර බයිඩන්ගේ ගේ හඬ ඇයට ඇසෙන්නට විය.

"එහේ දොස්තර දවසක් මෙහෙ ආවා ඔය පණිවුඩය අරගෙන, මම මිනිහව එළවලා දැම්මා. ඒ කාලේ මයිකල්ට "ස්ටේසිව " කතා කරලා තිබ්බේ."

එස්මරෙල්ඩා නිහඩය. සිතුවිලි වලින් ඇගේ හද පිරී ඇත.නැවත බයිඩන් කතා කරයි.

"මයිකලුත් දැනගෙන ඉන්න ඇති, හැබැයි එයත් මට මුකුත් කිව්වේ නැහැ."

එස්මරල්ඩාට දැන් නම් දැනෙන්නේ පිළිකුලකි. මයිකල්ගේ සෙල්ලකාර ගති ඇය දැන නොසිටියා නොවේ. නමුත් ලමයකුත් සමඟ කෙල්ලක් අනාථ කරන තරමට තම කුසින් වැදූ පුත්‍රයා අමනයකු බව ඇය කිසිදා විශ්වාස නොකලාය. මඳක් මඳක් කතාව නවතා බයිඩන් එස්මර්ල්ඩාගේ මුහුණ බැලුයේ ඇගේ සිතුවිලි කියවන්නට මෙනි. ඔහුට එස්මරෙල්ඩාගේ සිතුවිල්ල කියවා ගත හැකි විය.එහි පැහැදිලිව සටහන්ව ඇති පිළිකුලත්, තමා කෙරෙහි ඇති අවඥාවත් බයිඩන්ට දැනිණි. නමුත් ඒ පිළිබඳව තර්කකිරීම, තර්ජනය කිරීම තමා හරි යැයි කියාපෑමට කරුණු දැක්වීමට බයිඩන්ට අවශ්‍ය නැත. විය යුතු සියල්ල සිදු වී හමාරය.මේ ලෝකයෙහි එස්මරෙල්ඩා හා ඔහු තනි වී ඇත. නැත. එස්මරෙල්ඩා ඇගේ ලෝකයේත් තමා තමාගේ ලෝකයේත් තනි වී ඇති බව බයිඩන්ට වැටහුනේ මීට දින කිහිපයකට පෙරය. තමාගේ වැරදි වලට දෙවියන් වහන්සේ තමාට දඩුවම් කර ඇද්දැයි බයිඩන්ට සිතුනු වාර අනන්තය. නමුත් දෙවියන් වහන්සේ මහා කාරුණිකය. වරදට සමාව දෙන්නේය. තමාගේ අතින් වූ වරද යම් ආකාරයකින් නිවැරදි කල හැකි නම් දෙවියන් වහන්සේ තමාට නියත වශයෙන්ම සමාව දෙන බව බයිඩන්ට විශ්වාසය. නැවත බයිඩන් කතා කිරීමට පටන් ගත්තේය.

"මට හිතෙනවා , ඒ ළමයව අපි අරගෙන හදා ගමු කියලා, එහෙම හොඳයි නේ ......, මොනවා වුනත් අපේ මුනුබුරා "

එස්මරෙල්ඩා මුහුණට නැගුනු අවඥා සහගත සිනහව සඟවා ගැනීමට ඇය වෑයම් නොකලාය. ඇගේ සිතේ සිතුවිලි දහසක් උපන්නත් ඒ සියල්ල සාරාංශ කොට 

"ඔව් , තාත්තයි, පුතයි එකතු වෙලා කරපු පව් ටික ගෙවන්නත් එක්ක එහෙම දෙයක් වත් කරන එක හොඳයි. නැතිනම් අවසන් විනිශ්චයේදී කියන්ට දෙයක් නැති වෙනවනේ " කියූ එස්මරෙල්ඩා කියවමින් සිටි පොත ද රැගෙන නිවස තුලට ගියේ කළුවර වැටෙනවාටත් වඩා මේ සංවාදය ඉදිරියට ගෙන යාමට ඇති නොකමැත්ත හේතුවෙනි. 


මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!