ඉරුණු ජීවිත 41(නවකතාව) මිෂන් 1- සැලසුම්
පරිච්ඡේදය 42 | Laksilu 22 වාර කියවා ඇත 0 අදහස්
එස්මෙර්ල්ඩාගේ අනුමැතියත් සමඟ බයිඩන් සිය නව ව්‍යාපෘතිය අරඹන්නේ පසුදා උදෑසන එලිය වැටීමත් සමඟය. ඔහු පවරන ඕනෑම ආකාරයක වැඩක් සිදු කිරීමට අවශ්‍ය මිනිසුන් ඔහුට සිටී. එසේම මිනිසුන් ඕනෑම වැඩකට පෙළඹවීමට තරම් මුදල්ද , බලය ද ඔහුට ඇත. ඕනෑම රටක පොහොසතුන් බලවතුන් හමුවේ නීතිය නැවේ. නීතිය තදින්ම දුප්පතුන්ට ක්‍රියාත්මක වුවත් නීතිය ධන බලය, නිල බලය, දේශපාලන බලය හමුවේ ක්‍රියාත්මක වන්නේ හෙමිනි. නීතිය නැමෙන ප්‍රමාණ හා ආකාරය රටින් රටට වෙනස් වුවද ධනය, බලය හමුවේ නීතියෙහි නැමීම නම් සෑම රටකටම පොදුය.බයිඩන්ගේ පළමු අවශ්‍යතාවය වුයේ ඈන් හා දරුවා පිලිබඳ වත්මන් තත්වය දැන ගැනීමයි. ඒ සඳහා ඔහු තෝරා ගන්නේ මැදි වයසේ පසුවන තමාගේ හිතවත්ම සේවකයකි. ඔහුගේ නම ජෙරල්ඩීන් වුවද හැමදා සැවොම ඔහු ඇමතුවේ "ජෝ " යන සුරතල් නාමයෙනි. බයිඩන් පවරන ඕනෑම වැඩක් දේවකාරියක් සේ සලකා බයිඩන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහලින් කිරීම නිසා බයිඩන්ගේ හොඳහිත, කරුණාව හා ආදරය දිනාගත් අයෙකි "ජෝ ". ඒ නිසා මේ වැඩය පැවරීමට ඔහුට වඩා සුදුසු අයෙකු නොමැත.
උදෑසන පාතරාසයෙන් අනතුරුව "ජෝ " සිය නිල කාමරයට කැඳවූ බයිඩන් ඇත දිගු කොට ඔහුට අසුන් ගන්නට යැයි කීවේය.
"ජෝ හා බයිඩන් අතර සාකච්ඡව ඉතාම රහසිගත එකකි. ජෝ ට පැවරුණු කාර්යය ඉතාමත් බාරදූර එකකි.ජෝ ,සෙන් කිල්ඩාස් දූපතට ගොස් ඈන් ගැනත්, ඈන්ගේ ළමයා පිළිබඳවත් තොරතුරු සොයා ගෙන බයිඩන්ට දැන්විය යුතුය. ජෝ මීට එක පයින් කැමති විය. ඊට හේතුව ඔහුට බයිඩන් ගානේ දිගු නිවාඩුවක් ලැබීමය. ගමන් බිමන්, ඉඳුම් හිටුම් , කෑම බීම සඳහා සියළු වියදම් බයිඩන් දරනු ලබන අතර සිය මාසික වැටුපට අමතරව තවත් අමතර මුදලක් මේ විශේෂ මෙහෙයුම සඳහා ගෙවීමට බයිඩන් එකඟ වීම මෙම කාර්යය කිසිසේත්ම පැහැර හැරිය නොහැකි තත්වයකට ජෝව පත් කරනු ලැබීය. ලැබුණු සියළු උපදෙස් හොඳින් ධාරණය කරගත් ජෝ සෙනසුරාදා උදේ බෝට්ටුවෙන් සෙන් කිල්ඩාස් වෙත යෑමට සිතා ගත්තේ සංචාරකයින් බොහෝමයක් කරන්නේ එසේ බැවිනි. කිසිවකුට සැක නොසිතෙන පරිදි සංචාරකයකු ලෙස ගොස් දවස් කිහිපයක් සෙන් කිල්ඩාස් හි නැවතී සිට තොරතුරු දැන ගැනීමේ මෙහෙයුමට දැන් ජෝ සුදානම්ය.
මතු සම්බන්දයි