ඉරුණු ජීවිත 43(නවකතාව) මිෂන් 1- අවසානය

පරිච්ඡේදය 44 | Laksilu 22 වාර කියවා ඇත 0 අදහස්

 ජෝ ගේ රඟපෑම විශිෂ්ඨය. බයිඩන් ගෙන් ලැබුණු මුදල් නොමසුරුව වියදම් කිරීමට ඔහුට හැක. එම මුදල් ඔහුට සැප පහසුව, වැදගත්කම මෙන්ම තොරතුරුද ලබා දෙන්නේ නොමසුරුවය.මාධ්‍යවේදියා දූපතේ සෞඛ්‍ය පහසුකම් ගැන උනන්දුය. දූපතේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව බලධාරීන් දැනුවත් කල විට තව තවත් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වනු ඇත. සියළු පහසුකම් සහිත රෝහලක් දූපතට ලැබේ නම් එය සෑහෙන දෙයකි. දැනට පවතින වෙදහල එතරම් පහසුකම් සහිත තැනක් නොවේ. ලොකු ලෙඩක් හැදුනොත් ස්කොට්ලන්තයට යාමට සිදුවේ. මේ දූපතේම පහසුකම් සහිත රෝහලක් සෑදේ නම් රැකෙන ජීවිත ගණන වැඩිය. ජීවිතයක වටිනාකම මිල කල හැක්කේ කෙසේද ?

සංචාරක මඟ පෙන්වන්නා තමාට දැපනේ වැටී ඇති බව ජෝ ට වැටහී හමාරය. දැන් තමාට අවශ්‍ය ඕනෑම තොරතුරක් මොහුගෙන් ලබා ගත හැක. සංචාරක මඟ පෙන්වන්නා වෙදහල තුලට යාමට කතා කලත් ජෝ ඊට එතරම් කැමැත්තක් නොදැක්වීය. හේතුව කුමක්දැයි සංචාරක මඟ පෙන්වන්නාට නම් ගැටලුවකි. නමුත් ජෝ ට එතැනට ගොස් මෙතෙක් කරගෙන ආ බොරුව හෙලිකරගැනීමට අවශ්‍ය නැත. එදා බයිඩන්ගේ මන්දිරයට පැමිණි විලියම් ව එලියට ඇද දැම්මේ ඔහුය. වෛද්‍යවරයාට සමහර විට ඔහුගේ මුහුණ මතක තිබෙන්නට පුළුවන. එසේ වුවහොත් මේ තාක් කරන ලද සියල්ල වතුරේ ය. එපමණක් නම් කමක් නැත. තමන්ගේ රැකියාවද අහිමි වීමට වුවද ඉඩ ඇත.

වෙද ගෙදර අවට ප්‍රදේශය හා වෙදගෙදර ඡයාරූප ගත කල මාධ්‍යවේදියා වටින් ගොඩින් සංචාරක මඟ පෙන්වන්නා සමඟ කතාවට වැටුණේ වෙදගෙදර පිලිබඳවය.

"කවුද ?ඔය ඩිස්පෙන්සරිය කරන්නේ " මාධ්‍යවේදියා ඇසීය.

"ඩොක්ටර්, විලියම්ස්"

"ආ, හරි හොඳ මනුස්සයෙක්නේ, මම අහලා තියෙනවා එයා ගැන".

"ඔව්, හරිම කරුණාවන්ත මනුස්සයා, ලෙඩුන්ට විතරක් නෙමේ, ඕනෑම කෙනෙක්ගේ දුකකදී කරදරයකදී කවදාවත් අහක නොබලපු මනුස්සයෙක්".

"ඇත්ත ද ? ඔහොම අය දැන් හොයා ගන්න නෑ "

"ඔව් , මම සර් ට කතාවක් කියන්නම් , සර් කවම කවදාවත් විශ්වාස කරන එකක් නෑ "

"ඒ මොකක් ද ?"

"සර් දන්නවද මෙහෙ සපත්තු මහමින් හිටපු මිනිහකුගේ දුවව හදාගෙන වෙද කමත් ඉගැන්නුවා කියලා "

දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියන්නේ මේකටය. දෙවියෝ දෙන විට දෙන්නේ මඳි නොකියන්නට ය. තමාගේ කාර්යය ඉක්මනින් ම අවසන් වීමට යන බව ජෝට වැටහේ. තමාට ලැබෙන මුදල් ප්‍රතිලාභය සිතෙන විට ජෝගේ මුහුණ පිපි යයි. එය මෙතරම් පහසුවෙන් සිදුවේ යැයි ජෝ කිසිදා සිතුවේ නැත.

"හැබෑට, මාර මනුස්සයෙක් නේ "

"එකනේ සර් , දෙවියෙක් වත් අද කාලේ ඔහොම කරයි ද ? කියලා සැකයි." ඒ වුනාට ඒ ලමයාටත් ලොකු කරදරයක් වුනානේ, ඒ ළමයා නම් හරි අවාසනාවන්තයි."

"ඒ මොකද ? වෙදකමත් ඉගැන්නුවා නම් ,දැන් වෙදකමත් කරනවා නම් මොකක්ද අවාසනාව ?"

"මේ ස්කොට්ලන්තයෙන් ආපු පාහරයෙක් කරපු වැඩක් නේ " ජෝගේ මුහුණ වෙනස් වුවද ජෝ වහාම සිය මුහුණ යථා තත්වයට පත් කර ගත්තේ වෙනස මඟ පෙන්වන්නාට වැටහීමට පෙරය.

"ඒ යකා මේ කෙල්ලව රැවට්ටුවා, අන්තිමට ලමයකුත් දීලා ගියා. දැන් ආගිය අතක් නැහැල්ලු.මේ කෙල්ල ඒ ළමයත් බලා ගෙන ඉන්නවා, දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඔය වගේ උන්ට දඩුවම් දෙන්න ඕනේ ".

"ඇයි ළමයට මොකක්ද තියෙන අසනීපේ ?"

"හදවතේ සිදුරක් ලු නේ , ස්කොට්ලන්තයේ ඉස්පිරිතාලයකටත් එක්කන් ගියා "

"කොහොමද ? ඔච්චර විස්තර දන්නේ "

"ඔය පවුල ගැන මේ දුපතේ කවුද නොදන්නේ සර්, අනෙක මගේ ළමයයි ඒ ලමයයි ඉගෙන ගන්නේ එකම පන්තියේ. 

මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!