ඉරුණු ජීවිත 44(නවකතාව) ජෝ ගේ නිවාඩුව
පරිච්ඡේදය 45 | Laksilu 28 වාර කියවා ඇත 0 අදහස්
ජෝ දුපතට පැමිණියේ සතියක කාලයක් සඳහාය. අවශ්‍ය නම් එම කාලය දිගු කර ගැනීමට වුවද ජෝට හැකියාව තිබේ. නමුත් මෙම දුපතට පැමිණ පස්වන දිනය වන විට අවශ්‍ය තොරතුරු සියල්ල ජෝ දැනගෙන හමාරය. ඔහුට නැවත ස්කොට්ලන්තයට යා හැකි නමුත් සැක උපදවන යමක් කිරීමට ජෝ අකමැතිය. එම නිසා මඟ පෙන්වන්නාට කියා තිබු පරිදිම ඔහු පුරා සතියක්ම දුපතෙහි ගත කළේය. මේ කාලය තුල දුපතෙහි වූ එකම පාසල තුලට ද යාමට ජෝට හැකි විය. එහි ප්‍රධානාචාර්ය තුමා ඇතුළු ගුරුවර ගුරුවරියන්ගේ පින්තූරත්, පාසලේ පින්තූරත් ඔහු ගත්තේ පාසලේ දියුණුවට තමාට හැකි උපරිම සහාය ඔහු ලබා දෙන බව පවසමිනි. ඔහු විදුහල්පතිතුමාට පහදා දුන් පරිදි ඔහුගේ ලිපියට රජය ප්‍රතිචාර දක්වනු නොඅනුමානය. තවද තමා දන්නා පරිත්‍යාගශීලීන්ගේ අවධානයට මෙම පාසල ලක් කිරීමට ඔහු පොරොන්දු විය. පාසලට අත්‍යාවශ්‍ය වන නමුත් විදුහල්පතිතුමාට පවා නොසිතුණු ප්‍රථමාධාර සහ හෙදියක් සහිත කුඩා "sick room" එකක් ඔහුට ලබා දිය හැක. ඒ සඳහා අසනීප ළමුන්ගේ නම් ගම් විස්තර සහිත ලැයිස්තුවක් තිබේ නම් වඩා හොඳ බව ඔහු විදුහල්පතිතුමාට ඒත්තු ගැන්වූයේ ඉතාමත්ම පහසුවෙනි. එහි ප්‍රතිඵලය ඉතා විශිෂ්ඨය. එහිදී ඔහුට එරල් විස්තර සියල්ල දැන ගත හැකි විය.එරල් ගේ වෛද්‍ය වාර්තාවේ තිබු වැදගත් කරුණු කිහිපයක් විදුහල්පතිතුමා විසින් එරල් ගේ ලිපි ගොනුවේ සඳහන් කොට තිබුණි.ඒ අතර තිබු වැදගත්ම කරුණු එරල් පරීක්ෂා කරන වෛද්‍යවරයාගේ නම, ඔහුගේ දුරකථන අංකය හා ඔහු වැඩ කරන රෝහලේ නමයි.ජෝ මේ දත්ත තදින් හිතේ සටහන් කර ගත්තේ, විශේෂයක් දක්වමින් ඔහුගේ කරුණු පමණක් සටහන් කර ගන්නට ගියා නම් සැක සිතෙන බැවිනි. ජෝ සටහන් කර ගත්තේ ළමුන්ගේ නමුත් ඔවුන් පෙලන ව්යාධියත් පමණය. එරල් පිලිබඳ ඉතිරි සියල්ල ජෝගේ සිතේ සටහන් වුයේ නොමැකෙන ආකාරයට ය.
විදුහල්පති, ගුරුමන්ඩලයෙන් සමුගෙන පිටතට පැමිණි ජෝ මඟ පෙන්වන්නාද කැටුව අසල කඩයකට ගියේ තිබහට යමක් බොන්නය. මඟ පෙන්වන්නා ඔහුට අවශ්‍ය බීම වර්ගය හා කැවිලි වර්ගය ඇනවුම් කරන්නට ගිය මොහොතේ වහාම සිය සටහන් පොත පිටතට ගත් ජෝ එරල් පිලිබඳ සිතේ වූ කරුණු සටහන් කොට නැවත එම සටහන් පොත නවා තබා කිසිදු අමුත්තක් නොමැතිව අසුන් ගෙන සිටියේ තමාගේ ඇනවුම ද රැගෙන මඟ පෙන්වන්නා පැමිණෙන තෙක්ය.
මේ වන විට ජෝ ළඟ සියලුම අවශ්‍ය කරුණු ඇත. පාසලේ දී ළමයින්ගේ පින්තූර ගන්නා මුවාවෙන් එරල්ගේ පින්තුරක් ද ගැනීමට ජෝ සමත් වූයේ සියල්ලන්ගේම දෑස් වසමිනි. දැන් නම් ජෝට මේ දූපතේ බලන්නට දෙයක් වත් බලන්නට ආසාවක් වත් නැත.නමුත් මඟ පෙන්වන්නාට සැක නොසිතිය යුතුය. එම නිසා ඉතිරි දින කිහිපය ජෝ කලේ මඟ පෙන්වන්නා ගෙන යන තැන්වල යාමත් , මුහුදු වෙරළේ ඇවිදීම, බෝට්ටු සවාරි යාම , බඩ පැලෙන්න කෑම හා නිදා ගැනීමයි.
මතු සම්බන්දයි