ඉරුණු ජීවිත 46(නවකතාව) බයිඩන්ගේ ගැටය

පරිච්ඡේදය 47 | Laksilu 7 වාර කියවා ඇත 0 අදහස්

විශේෂඥ වෛද්‍යවරයාගේ නිවසේ දුරකථනය නාදවන විට වේලාව සවස හතරයි තිහ පමණ වන්නට ඇත. විශේෂඥ වෛද්‍යවරයාගේ බිරිඳ දුරකථනය වෙත දිව ගියේ ඇය සිය මිතුරියකගේ දුරකථන ඇමතුමක් බලාපොරොත්තුවෙන් සිටි බැවිනි. නමුත් දුරකතනයේ අනෙක් කෙලවරින් ඇසුනේ පිරිමි කටහඬකි."හලෝ සුබ සැන්දෑවක්, මට ඩොක්ටර් බ්‍රවුන්ට කතා කරන්න පුළුවන් ද ?"

"දැන් නම් එයා ගෙදර නැහැ. මට බැරිද පණිවුඩය දැන ගන්න"

"මම සර් බයිඩන් " මෙම හඳුන්වා දීමත් සමඟම ඊවා ගේ සැහැල්ලු ගතිය පහ විය. මෙවැනි අයකු තම සැමියා සොයන්නේ ඉතාමත් වැදගත් වැඩකට විනා අන් කවරකටවත් නොවේ. සර් බයිඩන් යනු මුළු ස්කොට්ලන්තයම දන්නා ප්‍රභූවරයෙකි.ඔහුගේ බලය, පොහොසත්කම ඇයට කියා දීමට කිසිවකු අවශ්‍ය නැත.

"සර් එයා දැන්නම් ගෙදර නැහැ, එනකොට රෑ හතහමාර විතර වෙනවා. මට සර්ගේ කන්ටක්ට් නම්බර් එක දෙන්න පුළුවන් නම්, ආපු ගමන් මම කතා කරන්න කියන්නම්"

"නෑ, මට ලොකු පුද්ගලික අවශ්‍යතාවයක් තියෙන්නේ, ඒක නිසා රෑ අටට විතර කතා කරන්නම් ".

එදා බ්‍රවුන් පැමිණියේ වෙනදාට වඩා විනාඩි පහළොවක් පමණ ප්‍රමාදයකිනි. ගෙදරට ගොඩවන විට සවස හතයි හතළිස්පහ පමණ වී තිබුණි. වෙනදා මෙන්ම මෙහෙකරු තම බ්‍රීෆ් කේසය රැගෙන එන අතරවාරයේ සිය කාමරයේ නාන කාමරයට වැඳුනු බ්‍රවුන් උණු වතුරෙන් සිය ගත සතපවාගෙන සැහැල්ලු ඇඳුමකින් සැරසී පිටතට පැමිණියේ වෙනදා මෙන්ම සිය පවුලේ සාමාජිකයන් සමඟ රාත්‍රී ආහාරය ගැනීමටය.

ඔහු පිටතට පැමිණ කෑම මේසයේ අසුන් ගන්නවාත් සමඟම ඊවා පැවසුවේ "සර් බයිඩන් " දුරකතනයෙන් ඇමතු බවයි.

"ජෝ බයිඩන් , සරල සාමාන්‍ය මිනිසකු නොවන බව බ්‍රවුන් දනී. නමුත් වයසට යාමත් සමඟ මුහුකුරා ගොස් ඇති බුද්ධියත් නිසා බ්‍රවුන්ගෙන් කලබලකාරී ගතියක් පල නොවිනි.

"හ්ම්, මොනවද කිව්වේ"

"රෑ අටට විතර කතා කරන්නම් කිව්වා, පුද්ගලික කාරණාවක් කිව්වා "

"හ්ම් , එහෙනම් කතා කරයි නේ " කියූ බ්‍රවුන් සුප් කෝප්පය අතට ගන්නවාත් සමඟම දුරකතනය නාද විය. කිසිඳු හැගීමකින් තොරව දුරකථනය අතට ගත් බ්‍රවුන් ,

"හලෝ ,දොස්තර බ්‍රවුන් කතා කරනවා " යැයි පැවසීය.

අනෙක් කෙලවරින් නැගුනු පිරිමි හැඳින් පැවසුයේ සර් බයිඩන්ට තමාට ඇමතීමට අවශ්‍ය බැවින් මඳ වේලාවක් දුරකතනයේ රැදී සිටින ලෙසයි.

දුරකථනය කනේ තබා ගෙන සිටින බ්‍රවුන්ට මහලු මිනිසකුගේ කටහඬක් ඇසෙන විට වේලාව අටයි පහළොව පමණ වන්නට ඇත.

"දොස්තර බ්‍රවුන්, මම ලොකු උදව්වක් ඉල්ල ගන්න කතා කරන්නේ කරදරයක් නැහැ නේද මේ වෙලාවේ කතා කලාට"

"අපෝ නැහැ සර්, පුළුවන් උදව්වක් නම් කරන්නම් "

"ඩොක්ටර්, මම සෙන් කිල්ඩාස් වල පාසල ආශ්‍රිතව චැරිටි ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගත්තා. ඒ පාසලේ විශේෂ අවශ්‍යතා ඇති ළමයින්ට අපේ ප්‍රෝග්‍රෑම් එක හරහා උදව් කරනවා"

"ඔව් මට වැටහෙනවා"බ්‍රවුන් කීවේ තමන්ද යමක් කිව යුතු බැවිනි.

"ඒ ඉස්කෝලේ ළමයෙක් ඉන්නවා ඩොක්ටර් ගෙන් බෙහෙත් ගන්න " කියූ බයිඩන් මඳක් නැවතුනේ දොස්තරට තම ලෙඩා මතක් කර ගැනීමටත්, සැක නොසිතෙන පරිදි කටයුතු කිරීමටත් ය.

"මට නම් මතක නැහැ " බ්‍රවුන් කීවේය.

"ඔව් මතක නැතිව ඇති ඔබතුමා ලඟට ලෙඩ්ඩු කීයක් නම් එනවද ? මගේ ළඟ විස්තර තියෙනවා, ළමයාගේ නම එරල් , වයස අවුරුදු දහයයි. ළමයාගේ අම්මගේ නම "ඈන්". එහෙ තියෙන එකම ඩිස්පෙන්සරියේ ඩොක්ටර්ගේ මුණුබුරා."

"මට නම් මතක් වෙන්නේ නැහැ සර් "

"ඔව්, මට දැනගන්න ඕනා ඒ ළමයාට ඔපරේෂන් එක කරන්න කරන්න, කොච්චර වියදමක් යනවද කියන එකයි, ඔපරේෂන් එකේ සක්සස් රේට් එකයි. මොකද ? සක්සස් රේට් එක අඩු නම් අපිට ඒ ගාන වෙන ළමයකු වෙනුවෙන් යොදවන්න පුළුවන්."

බයිඩන්ගේ රඟපෑම විශිෂ්ටය . දොස්තරට ඔහු පිළිබඳ සැකයක් ඇති වුයේ නැත. ළමයා පිළිබඳව විස්තර ද දුරකතනයෙන් ම කිවූ බැවින් සැකයක් මතු වීමට දෙයක් නැත.

"සර්, අහපු ප්‍රශ්නවලට මේ වෙලාවේ මට උත්තර දෙන්න හැකියාවක් නැහැ "

"ඔව් මට තේරෙනවා, මට අවශ්‍ය වියදමයි,සක්සස් රේට් එකයි විතරමයි. ඉතිරි තොරතුරු ඔක්කොම මං ගාව තියෙනවා. මම හෙට මගේ කෙනෙක්ව එවන්න ද හොස්පිටල් එකට ?"

"ඕනේ නෑ සර් , මට ළමයාගේ නමයි, වයසයි, ලෙඩෙයි කියන්න මම විස්තර බලලා කියන්නම් "

"හොඳයි එහෙනං , කියූ බයිඩන් ඔහු ඉල්ලු සියලු විස්තර දුන්නේ ජෝ හරහාය. එනම් ළමයාගේ විස්තර දොස්තර ට දුන්නනේ "ජෝ " මිස බයිඩන් නොවේ. එමඟින් කුඩා හෝ සැකයක් දොස්තරගේ සිතේ තිබේ නම් නැති වී යන බව බයිඩන් දනී. තවද තමාගේ චැරිටි ප්‍රෝග්‍රෑම් එකේ අධ්‍යක්ෂ වන ජෝ විසින් අවශ්‍ය තොරතුරු වෛද්‍යවරයාට නිවැරදිව ලබා දෙන බවත් බයිඩන් හොඳින්ම දනී.  

මතු සම්බන්දයි

2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!