ඉරුණු ජීවිත 47(නවකතාව) බයිඩන්ගේ ධර්ම බෝලය

පරිච්ඡේදය 48 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්

බයිඩන් එරල් ලබා ගැනීමට සැකසු සැලසුම් ගණන අපමණකි. නමුත් ඒ සෑම සැලසුමක්ම කවර හෝ තැනක දී ප්‍රයෝගික නොවන මට්ටමට පැමිණෙන බව බයිඩන්ට පෙනේ. මෙම සැලසුම් කිසිවකු සමඟ සාකච්ඡ කිරීමටවත් නොහැකි වීම සැලසුම් දියුණු කර ගැනීමට ,සැලසුමේ ගුණ ,දොස් දැන ගැනීමට බාධාවකි. ජෝ සැලසුම් හදන්නට දන්නා අයකු නොවේ.යමක් පැවරු විට එය සාර්ථකව නිම කල හැකි අයකි. එනමුත් බයිඩන් සිය කන්තෝරු කාමරය තුලදී ජෝ සමඟ කිහිප විටක්ම මේ පිළිබඳව සතර කන් මන්ත්‍රණ වල යෙදුනත්, ජෝ ට බයිඩන්ගේ සැලසුම් වලට යමක් එකතු කිරීමටවත්, ඒවායේ අඩුපාඩුවක් පෙන්වා දීමටවත් එම සතර කන් මන්ත්‍රණ එකකදී වත් නොහැකි විය. අවසානයේ බයිදන්ට වැටහුනේ තනිවම මේ සැලසුම සාදනවා විනා තව දුරටත් ජෝ සමඟ මේ පිළිබඳව කතා කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.බයිඩන්ගේ සැලසුම් එරල් පැහැරගෙන යාමේ සිට විලියම්ගෙන් සමාව ඉල්ලා එරල් තම භාරයට ගැනීම දක්වා පුළුල් පරාසයක විහිදී තිබුණි. නමුත් සෙන් කිල්ඩාස් දූපතේ පිහිටීම ,එම දූපතේ විලියම් ට ඇති තත්වය අනුව එරල් පැහැරගෙන යාම, වෙදගෙදරට ගොස් "තග" දැමීම වැනි ක්‍රියා ප්‍රයෝගික නොවන බව බයිඩන්ට වැටහේ. එම දූපතේ වෙදගෙදරට ගොස් "තග" දමා එරල් පැහැර ගැනීම කෙසේ වෙතත් "තග" දැමු එවුන්ට ආපසු පන පිටින් පැමිණෙන්නට වත් හැකියාව ලැබෙනු ඇත්දැයි බයිඩන්ට සැක සිතුනු වාර ගණන අපමණය. තවද එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන එය ගැස්සුනොත් යවන මදාවියන්ගේ ජීවිත වලට කුමක් වුවත් එමගින් තමාට එල්ලවන අපකීර්තිය, තමාගේ පුතාගේ මුහුණේ ගෑවෙන දැලි, තමාගේ "සර්" පට්ටම වැනි දෑ ගැන සිතන විට පැහැරගැනීම සිදුකළ නොහැක්කක් මෙන්ම සිදු නොකළ යුත්තක් බව බයිඩන්ට වැටහේ.

මේ සියළු කරුණු කාරණා ගැඹුරු ලෙස කල්පනා කිරීමෙන් අනතුරුව බයිඩන් තීරණය කරන්නේ පළමුව "ධර්ම බෝලය" දමා බැලීමටය. ධර්ම බෝලයට එල්ලවන පහර අනුව ඊළඟට එළඹිය යුතු පියවර පිළිබඳව තීරණය කිරීමට බයිඩන් ඉටා ගත්තේය.

මේ අනුව බයිඩන් ඉරිදා උදෑසන පල්ලි යාමෙන් අනතුරුව " ජෝ " සහ තවත් කිහිපදෙනෙකු සමඟ බෝට්ටුවට ගොඩවූයේ සෙන් කිල්ඩාස් වෙත පැමිණි "ජෝ " අශ්වරථයකට ගොඩවූයේ වෙදගෙදර බලා යාමටය. "ජෝ " බයිඩන් සමඟම එම අශ්ව කරත්තයටම ගොඩ වූ අතර අනෙක් දෙදෙනා තවත් අශ්ව කරත්තයකට ගොඩ විය. බයිඩන් වෙදගෙදර බලා යන ලෙස රථාචාරියාට පැවසු අතර එම රථය පිටුපස අනෙක් අස්රියද හැල්මේ දිව යන්නට වුයේ වෙදගෙදරටයි.

වෙදගෙදර අසලදී අස්රියෙන් බැස ගත් බයිඩන් සහ ගෝලයෝ වෙදගෙදරට ඇතුළු විය. බෙහෙත් ගැනීමට ආ කිහිපදෙනෙක් ආලින්දයේ තබා ඇති අසුන්වල අසුන්ගෙන සිටිති. ඒ සෑම මුහුණකම ඇති මැලවුන ස්වභාවය බයිඩන්ට පෙනේ. තමාගේ මුහුණත් මේ ආකාරයට මැල වී ඇද්ද? තමාත් දැන් එක්තරා ආකාරයක ලෙඩෙක් නොවේ දැයි ඔහුට පහල වූ සිතුවිල්ල ඔහුගේම මුරණ්ඩු සිත විසින් අකා මකා දැම්මේ "විකාර ද ? මට කිසිම ලෙඩක් නැහැ " යන සිතුවිල්ලත් සමඟයි.

වෙද ගෙදරට ගොඩ වී වටපිට බලන බයිඩන් ව මුලින්ම දුටුවේ හෙදියයි. හෙදිය බයිඩන් ව දැක ඇත්තේ එක වාරයක් පමණි. ඒ ද ඉතා යන්තමිනි. මයිකල් අනතුරට ලක් වී වෙදගෙදර ප්‍රතිකාර ගන්නා කාලයේ ඉතාමත්ම කෙටි වේලාවකට පැමිණි බයිඩන් ලෙඩාගේ විස්තර අසා ගත් පමණින්ම හැරී යන්නට ගියේය. මේ සිද්ධිය හෙදියට කිසිසේත්ම මතක තිබෙන්නට විදිහක් නැත. සැමදා නා නා විධ මිනිසුන් වෙදහලට පැමිණේ. ඔවුන් අතර සංචාරකයන් , දූපතේ වෙසෙන්නන් මෙන්ම දොස්තර විලියම් ගැන අසා පැහැදී සිය රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන අයද වෙති.

හෙදියට මෙම පැමිණි පුද්ගලයින් පිළිබඳව අමුත්තක් නොහැඟුණම නොවේ. ඊට හේතුව ඔවුන්ගෙන් එක අයෙක්වත් ලෙඩ පෙනුමක් නොපෙන්වීමයි. ලෙඩුන් පිළිගැනීම කවදත් කලේ හෙදියයි.

"සුබ උදෑසනක් මහත්මයා " හෙදිය පැවසූ විට ඈ දෙසට හැරුණු බයිඩන් 

"සුබ උදෑසනක්, මට ඈන්ව හම්බුවෙන්න පුලුවන්ද ?"

"ඈන්, ඇයි ඩොක්ටර් ඈන්ගෙන් ද කලින් බෙහෙත් ගත්තේ "

"ආ ! ඔව් ",

"ඒ වුනාට මේ වේලාවේ කන්සල්ට් කරන්න වෙන්නේ ඩොක්ටර් විලියම්ස් ව , ඈන් වෝර්ඩ් එකේ පේෂන්ලට ට්‍රිට් කරනවා"

"ඇත්තද ? කමක් නැහැ අපිට ටිකක් වෙලා ඉන්න පුළුවන් " බයිඩන් පැවසුවේ අන් කිසි දෙයක් ඔහුගේ සිතට නොනැගුණ බැවිනි. විලියම් සමඟ කතා කිරීමට බයිඩන් ට අවශ්‍ය නැත. තවත් අතකට විලියම්ට මුහුණ දීමට බයිඩන් අකමැතිය. එදා තම බලය පෙන්වා ඔහිව තම නිවසින් පිටතට එලවා දැමූ හැටි ඔහුට මතක් වේ. චිත්‍රපටයක සිදුවීම් ධාරාවක් මෙන් එම සිදුවීම් මාලාව ඔහුගේ දෑස් ඉදිරියේ ඇඳෙන සෑම අවස්ථාවකදීම ඔහුගේ හිතට ඇතිවන්නේ ලැජ්ජාවකි. නමුත් එවිටම පිබිදෙන තමන්ගේ මුරණ්ඩු හිත හැමදාමත් තමාට සහතික කොට කීවේ එදා ගත් තීරණය නිවැරිදි බවයි.

"මහත්තයා ඇයි ඈන්වම හොයන්නේ " හෙදියගේ කට හඬත් සමගම බයිඩන් නැවත පියවි ලෝකයට ඇදවැටුණේය.

"මම, සර් බයිඩන් " බයිඩන් එක්වරම කියා දැම්මේ එහි ඇයගේ සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු ඇති බව දන්නා නිසාය.

හෙදියගේ ඇඟ පුරා දිව ගියේ අමුතු බයකි. ඇගේ මුහුණ රතු පාට වනු බයිඩන්ට දැක ගත හැකි විය. හෙදිය නැවත බයිඩන් දෙස බලා හැරී දිව්වේ විලියම්ගේ කාමරය දෙසටයි. නමුත් එත් සමඟම ඇයට පැමිණි හදිසි සිතුවිල්ලක් නිසා ඇය දිශාව මාරු කොට ඈන් සිටි පැත්තට දුවන්න ගත්තාය. ඇගේ රුධිර පීඩනය වැඩි වී ඇතැයි ඇයට දැනේ.කල යුත්තේ කුමක්ද ? කියා ඇයට නොවැටහේ. නමුත් ඈන් ට කිසියම් කරදරයක් වීමට යන වග ඇගේ හයවන සංවේදනයට දැනේ.

සිතුවිලි දහසක් සමඟ දිශාව මාරු කිරීමට ගිය ඇයගේ කකුල පැටලුණේය. ඇය මඳක් විසි වී ගියද වැටුනේ නැත. ළඟ තිබූ බෙහෙත් බඩු අල්මාරියට වාරු දී නොවැටී බේරුණු හෙදිය, නැවතත් දිවීම පටන් ගෙන ඈන් සොයා දිව ගියේ තම දරුවාව අනතුරකින් වලකා රැකගැනීමට දුවන මවක මෙනි. ඇයගේ සිතේ මාතෘ ස්නේහය මෙවෙලෙහි ඉස්මතු නොවුනා යැයි කිව හැක්කේ කාටද ? මවක වීමට දරුවකු වැදීමටම උවමනාද ?

දිව ගිය හෙදිය දුවන්නේ ඈන් ළඟටය. ඈන් මෙවිට සිටියේ ලෙඩෙකුගේ පපුවට වෙදනලාව තබමින් ඔහුගේ ඇඳ ඉහපත වාර්තාව කියවමින් සටහන් තබන ගමන්ය. හෙදියගේ කලබල ස්වරූපය දුටු ඈන් ඈ ඉදිරියට දිව ආවේ ඇයට කිසියම් කරදරයක් වී ඇතැයි සිතමිනි.

"ඇයි, ඇයි මොකද ? කලබලේ"

"ඈන් යන්න, යන්න ළමයවත් අරන් ඉක්මනට දුවන්න" හෙදිය කියන්නට විය."දුවලා හැංගෙන්න, ළමයත් එක්ක"

ඈන්ට මෙය අපබ්‍රංසයකි. ඇයට තවම කිසිවක් සිතා ගත නොහැකිය. ඇය මෙතරම් බිය වී ඇත්තේ කාටද ? තමා දුව ගොස් ළමයාත් සමඟ සැඟවිය යුත්තේ ඇයි ? තමා සහ ළමයා හැංගුන විට ප්‍රශ්නය කෙලවරයිද ?යන ප්‍රශ්ණ වැල නොකැඩි ඈන් තුලට ගලා එන්නට විය. දිගු කාලයක් ලෙඩුන්ට බෙහෙත් කිරීම, වෛද්‍ය විද්‍යාලයකට නොගියත් වෛද්‍ය පොත පත් කියවීම, වටහා ගැනීම හා ඒවා මතක තබා ගැනීම පුහුණු කර තිබු ඈන්ගේ සිත හෙදියගේ සිත තරම් කලබලයට පත් වුයේ නැත.

"සන්සුන් වෙලා කියන්නකෝ මොකද වුනේ කියලා" ඈන් ලෙඩෙකු අමතන ආකාරයෙන් හෙදිය ඇමතුවේ සිතේ නැගුන කෝලම් සිතුවිල්ලත් සමඟය.

"අන්න අරූ ඇවිල්ලා, දුවලා හැංගෙන්න"

"කවුද ?"

"මයිකල්ගේ මහ එකා , බයිඩන් "

මෙවර අමුතු හැගීමක් මතු වුනේ ඈන් ට ය.

"ඌ මොනාටද ? මෙහෙ එන්නේ " කියූ ඈන් වේගයෙන් ඉදිරියට ගමන් කරන්න වුයේ ඇඳ ඉහපතත් අසල තිබු මේසයක් මතට දමමිනි.

ඈන්ට නැගුනු හැගීම ඈන් ද නොහඳුනයි. එය තරහවද,ගාම්භීරත්වය ද ,වීරත්වය දැයි ඇයටවත් වටහා ගත නොහැකිය.

"ඌ ආවහම මම දුවන්නේ මොකටද ? වැරදි වැඩ කරලා තියෙන්නේ ඌයි උගේ පුතයි මිසක් මං නොවේ නේ " සිතු ඈන් 

"යමු බලන්න මොකාටද ? ඇවිල්ලා තියෙන්නේ කියලා " කියා වේගයෙන් හෙදියද පසු කොට යන්නට වූ ඈන්ගේ අත කිහිප විටක්ම හෙදිය ආපසු ඇද "යන්න එපා" කියනවා, ඈන් ට දැනුනේ වත්, ඇසුණේ වත්, වැටහුනේ වත් නැත.

ඈන්ට ළමයකු සිටියාට ඈන් තවම තරුණය. කවර අධ්‍යාපනයක් ලැබුවද තරුණ සිත කොහොමත් බරය.අසාධාරණයේදී තරුණ සිත් හඳුනන්නේ නැති එකම වදන ඉවසීමයි.

ඈන් යන වේගය අනුව ඇයව නතර කිරීමට තමාට තව දුරටත් නොහැකි බව වටහාගත් හෙදිය පිටුපස දොරෙන් පිටට පැන නැවත දිව්වේ දොස්තර විලියම් ගේ කාමරයටයි. ඇය දොස්තරගේ කාමරයට ඇතුළුවන්නට හදනවාත් සමඟම එම කාමරයෙන් ඉවතට පැමිණියේ ඉහත කිසිදෙයක් නොදන්නා දොස්තරයි. ඉදිරිපසින් නැඟෙන ගාලගෝට්ටිය කුමක්දැයි බැලීමට යාමට සිතාගෙන ඔහු කාමරයෙන් පිටතට පිවිසෙන අවස්ථාවේදීමය හෙදිය ඔහුගේ කාමරය ඉදිරියට පැමිණියේ .

"ඇයි " විලියම් ඇසුවේය.

"බයිඩන් ඇවිල්ලා"

විලියම්ට එතනින් එහාට තව විස්තර අවශ්‍ය නුනි.පය ඉක්මන් කරමින් හැකි තරම් වේගයෙන් ඔහු ඉදිරියට දිව්වා නොව දිවවුනා කීවොත් නිවරිදිය. ඔහු එතරම් වේගයෙන් ගමන් කරනවා හෙදිය මීට පෙර කිසිම දාක දැක තිබුනේ නැත.

බයිඩන් අසලට පැමිණි ඈන් අත්දෙක ඉනෙහි තබා ගෙන 

"ඇයි, තමුසේ මොකද? ආවේ" කියා අසනවාත් සමඟම ඉදිරියට පැමිණීමට උත්සාහ කල අරක්ෂකයාව ජෝ නැවත්වුයේ ඉතා කුඩා හස්ත සංඥයවක් මඟිනි.

බයිඩන් ඈන්ව කිසිදා හැබැහින් දැක තිබුනේ නැත. දැක තිබුනේ ඇයගේ ඡයාරූප පමණි. ඒවා ද මයිකල්ට අතපසුවීමක් වූ විට යම්තම් දැක ගත් ඒවාය. අනෙක මයිකල් ළඟ ගෑනු කීදෙනෙ කුගේ පින්තූර තිබුණේ ද ?නමුත් මේ ඈන් බව හඳුනා ගැනීමට බයිඩන්ට අපහසු නැත. ඒ ඉදිරියට පැමිණ නිර්භීතව කතා කිරීම නිසා නම් නොවේ. "ජෝ" රහසිගතව ගෙන තිබූ ඈන්ගේ පින්තූරයක් ඔහු කලින් දැක තිබූ හෙයිනි.

"හලෝ ඩොක්ටර් ඈන් " බයිඩන් පැවසීය.

 "මට ඔබතුමිය ගැන ගොඩක් දේවල් ආරංචි වෙලා තියෙනවා, ඒ වුනාට දැකලා තිබුනේ නැහැනේ. අද තමයි දැක්කේ, හමුවීම සතුටක්" කියමින් බයිඩන් සිය දකුණත ඈන්ට දික් කලද අතට අත දුන්නේ ඈන් නොවේ.

ඉනට අත් දෙක තබා ගෙන බෙල්ල වටා වෙදනලාව දමාගෙන බයිඩන් දෙස එක එල්ලේ ගල් පිළිමයක් මෙන් ඈන් බලා සිටින්නේ වචනයකුඳු නොදොඩා ය. මේ වන විට බෙහෙත් ගන්නට පැමිණ සිටින ලෙඩුන්, නැවතී ප්‍රතිකාර ගන්නා බහුතරයකද අවධානය මෙතැනට යොමු වී හමාරය. වෛද්‍යවරයාද , හෙදියද මේ වන විට මෙම ස්ථානයට පැමිණ හමාරය. වෛද්‍යවරයා වට වී සිටින පිරිස අතරින් ඉදිරියට පැමිණ ඈන් අසලින් සිට ගත්තේය. හෙදියද සෙනඟ කපාගෙන පැමිණ ඈන්ගේ අනෙක් පසින් සිට ගත්තේ ඈන්ගේ ආරක්ෂාවට විය යුතුය. 

"හලෝ, ඩොක්ටර් විලියම්, අපි නම් මීට පෙර හමුවෙලා තියෙනවා නේ" කියූ බයිඩන් වට පිට බැලීය. රැස්ව සිටින සේනාව ඔහුට ඉහිලුම් නොදෙයි. තමන් කිසි දිනක මෙවැනි තත්වකට පත්ව නැති බව බයිඩන් ට සිතේ. තමා ගිය කිසිම තැනක තමන්ව නොපිළිගන්නා තත්වයක් නොතිබූ බව බයිඩන් ට සිතේ . තමා සොරෙකු ගානට වැටී ඇති බව බයිඩන් ට වැටහේ . නමුත් කරන්නට දෙයක් නැත. මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුය. කියමන ඇත්තේ "දෙමව්පියෝ ඇඹුල් කාපුවහම දරුවන්ගේ දත් හිරි වැටෙනවා " කියාය. බයිඩන් ට සිදුව ඇත්තේ "දරුවා පවුල් කාපුවහම තාත්තාගේ මුළු සර්වාංගයම හිරි වැටීමයි.

"මම කලබලයක් ඇති කරන්න අවේ නැහැ. වැදගත් කාරණාවක් කතා කරන්න ආවේ" කියූ බයිඩන් වටපිට බැලුවේය.

අනතුරුව විලියම් දෙස බැලූ ඔහු "පුද්ගලිකව කතා කරන්න ඕනේ කාරණයක්" කියා කීවේ මෙම සෙනඟ ඉවත් කරන්නැයි කරන ඉල්ලීමයි.

"තමුසෙත් එක්ක පෞද්ගලික කාරණා ............" ඈන් ට කීමට ලැබුණේ එපමණකි.

"හරි, අපි කතා කරමු " කියමින් විලියම් ඈන් නිහඬ කරවීය.

මෙවේලෙහි පෝලිමේ සිටියේ ලෙඩුන් හතර දෙනෙකු පමණි. බයිඩන් ට අසුන් ගන්නැයි කිවූ විලියම් ඉක්මනින් ලෙඩුන් පරීක්ෂා කරන්නට ගත්තේ "වසා ඇත" යන පැත්තට බෝඩ් එක හැරවීමෙන් අනතුරුවය.


මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!