ඉරුණු ජීවිත 48(නවකතාව) සාකච්ඡාව

පරිච්ඡේදය 49 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්

සාකච්ඡාව ඇරඹුණේ දොස්තර විලියම් ගේ කන්තෝරු කාමරයේය. සාකච්ඡාව සඳහා විලියම්, ඈන් සමඟ හෙදියද සහභාගි විය. බයිඩන් ඇස් යටින් හෙදිය දෙස කිහිප විටක් බැලුවත් මුකුත්ම කීවේ නැත. සියළුදෙනා අසුන්ගැනීමෙන් අනතුරුව සාකච්ඡාව ඇරඹුණේ බයිඩන්ගේ ආරක්ෂකයන් දෙදෙනකු වන "ජෝ" හා හිමිංවර්ත් දොරකඩ ළඟ බයිඩන්ගේ ආරක්ෂාවට සිටගෙන සිටියදීය.කතාව ආරම්භ කලේ බයිඩන්ය."අපේ කාලය දැන් අවසන් වේගෙන යනවා, ඒ නිසා අපි බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ " කියූ බයිඩන් කතාව නවතා විලියම් දෙසත් , හෙදිය දෙසත් බලා අනතුරුව ඈන් දෙස නෙතු යොමු කොට 

"එරල්ට, හදවතේ සිදුරක් තියෙන බව මම දන්නවා, එකට ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඒකට ලොකු වියදම් යනවා, මට පුළුවනි එකට උදව් ........"

බයිඩන්ට කියා ගැනීමට ලැබුණේ එපමණකි.

"තමුසේ දැන්ද දන්නේ එරල්ට සනීප නෑ කියලා" කියා ඇසුවේ ඈන්ය.

"තමුසෙගේ සල්ලිත් අරන් යනවා ඕයි යන්න, මයිකල් මැරුණු නිසා හා මයිකල්ට ළමයි නැති නිසා එනවා මෙතන බයිලා ගහන්න" කීවේ හෙදියයි.

"ඔය නෝනා මේකට කිසිම සම්බන්ධයක් නැනේ, එරල් මගේ මුණුපුරා" බයිඩන් ට කියා ගත හැකි වූයේ එපමණකි. එවර පරල වූයේ ඈන් ය.

"අනේ අම්මේ , නෑ කම මතක් වෙන්න ගිය කල් , උඹ දැන ගනින් එරල් ට උඹට වඩා අයිතියක් තියෙනවා මෙයාට, පොඩි කාලේ එරල් ව නෑව්වේ, කැව්වේ,පෙව්වේ මෙයා තමයි ,තමුසෙලා ඒ කාලේ මේ පැත්ත පළාත බැලුවේ නෑ, තමුසෙත් එකයි, තමුසෙගේ පුතත් එකයි"

"ඈන් අපි කලබල වෙන්නේ නැතිව ප්‍රශ්ණේ විසඳ ගමු නේද?" කියා විලියම් අහනවාත් සමඟම බුරාගෙන ඉදිරියට පැන්නේ හෙදියයි .

"මොන කතාද , විලියම් මේ වගේ පාහරයොත් එක්ක"

"එහෙම සංවේදී වෙලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ" කීවේ බයිඩන් ය.

"අනේ මේ තමුසෙගේ සංවේදී කම අපි නොදන්නවා යැ " කීවේ ඈන් ය.

දැන් නම් ඇතුල එකම ගාලගෝට්ටියකි. කිසිඳු දෙබසක් පැහැදිලිව නොඇසේ. ගැහැණු දෙදෙනාගේ හඬ තීව්‍රය. යටිගිරියෙන් කෑ ගසන හඬ ඒ අතර බයිඩන් යම් යම් දෑ කියන හඬත් ඇසේ. තවදුරටත් කිසිඳු දෙබසක් පැහැදිලිව නොඇසේ. ගැහැණු දෙදෙනාගේ හඬ තීව්‍රය. යටිගිරියෙන් කෑ ගසන හඬ, ඒ අතර බයිඩන් යම් යම් දෑ කියන හඬත් ඇසේ. තව දුරටත් තම හාම්පුතාට කරදර වනු බලා සිටිය නොහැකි වූ ජෝ කාමරයට පැන්නේ බයිඩන් බේරා ගැනීමටය. ඈන්ගේ කෙන්තියේ තරම දන්නා විලියම් ඈන් අසලට නැගිට ගියේ ඈන් හිටගෙන කෑ ගසන්නට පටන් ගන්නා විටය. නමුත් විලියම්ට වැරදුනේ හෙදියගේ කේන්තිය පිලිබඳව මිම්මක් නොතිබුණු බැවිනි. හෙදියව විලියම් ඈන්ට වඩා වැඩි කාලයක සිට අඳුරන නමුත් හෙදිය කේන්තියෙන් පුපුරනවා විලියම් දැක තිබුණේ නැත. ඈන්ට නම් කුඩා කාලයේ සිට යම් යම් දේවලට තරහා යන ආකාරයත් කුඩා කාලයේ ඈන්ගේ වයසේ ළමයි සමඟ, ගමේ මිනිසුන් සමඟ ඈන් රණ්ඩු වන ආකාරයත් විලියම් දැක තිබේ.ඒ සෑම අවස්ථාවකදීම මවගේ කාර්යය ඉටුකළේ හෙදියයි. වලි බේරීම, ඈන් වැරදි නම් ඈට දඬුවම් කිරීම, ඈන් නිවැරදි විට ඈන් වෙනුවෙන් කතා කිරීම, ඈන් සිත් තැවුලෙන් සිටිනා විට ලඟට ගෙන සැනසීම ආදී සියල්ල කලේ හෙදියයි. එම නිසා විලියම්ට හෙදියගේ කේන්තිය පිළිබඳව එතරම් අවබෝධයක් කවදත් තිබුනේ නැත.

නමුත් මෙවර බයිඩන් සමඟ එකට එක කියමින් සපත්තුවක් ගලවාගෙන බයිඩන් ට පහර දෙන්න පැන්නේ හෙදියයි. මෙවැනි දෙයක් සිහිනෙන් වත් බලාපොරොත්තු නොවූ විලියම් වහාම හෙදිය පැත්තට පැන්නේ හෙදිය ඉන් වැලැක්වීමටයි. ඊට පෙර ඉදිරියට පැන්න ජෝ තල්ලු කලේ හෙදිය වුවත් ඇත්තටම ඔහු අතින් තල්ලු වී බිම ඇද වැටුනේ විලියම් ය. මහළු විලියම් බිම වැටී "ආහ්" ගානවත් සමඟම කේන්තිය ඉහවහා ගිය ඈන් ළඟ තිබුන කොස්ස අතට ගත්තේ බයිඩන් ට ගැසීමට විය යුතුය. නමුත් ඊට පෙර බයිඩන් ව ඇදගත් ජෝ වෙදහලෙන් එලියට පැන්නේය.

"ආයේ මේ පැත්ත පාලාතේ ආවොත් මරනවා බලාගන්" ඈන් යටිගිරියෙන් කෑ ගැසීය. අහල පහල කිහිප දෙනෙක් ගාලගෝට්ටිය ඇසී ඒ දෙස බලා සිටියත්, කිසිවකු මේ ගාලගෝට්ටියට මැදිහත් වූයේ නැත. පසෙකට වී උන් බලා උන්නේ කුමකට ද යන්න අද තව වනතුරුත් නොවිසිදුන ගැටළුවකි. තමන් උදේ හවස යන එන තමන්ගේ රෝග වලට ප්‍රතිකාර කරන වෙදගෙදර අර්බුදය පසෙකට වී නැරඹීමට තරම් අසල්වාසීන් කුහක විය.

නවතා තිබු අස්රියේ නැගුණු බයිඩන් හා පිරිස ඉතා ඉක්මනින් තොටුපල වෙත යෑම අසරුවා විසින් ඉතා හොඳින් සිදු කරන ලදී. එයට සතුටු වූ බයිඩන් කුලියට අමතරව තවත් අමතර මුදලක් ඔහු අත තැබීය. එම මුදල ගත් අස්රථ රියදුරුට තමන්ගේ බිරිඳට ඇති කොන්දේ අමාරුවට කලෙක සිට නොමිලේ බෙහෙත් කරන්නේ ඈන්, විලියම් හා හෙදිය බව අමතකව තිබුණි. 

 මතු සම්බන්දයි


2026 Laksilu — සියලු හිමිකම් ඇවිරිණි. All Rights Reserved.
බෙදාගන්න: WhatsApp Facebook

අදහස් (0)
පිවිසෙන්න අදහස් දැක්වීමට.

තවම අදහස් නොමැත. මෙම පරිච්ඡේදය ගැන පළමු අදහස දක්වන්න!