ඉරුණු ජීවිත 49(නවකතාව) දොස්තර විලියම්
පරිච්ඡේදය 50 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
විසිවී වැටුණු විලියම් ගේ කොන්ද බිත්තියේ වැදී තිබුණි. ග්‍රහ පිහිටීම හොඳ නිසා දෝ හිස කොතනකවත් වැදී තිබුණේ නැත. නමුත් සිදුවූ අනතුර විලියම්ගේ වයස අනුව විලියම් ට දරා ගැනීමට අමාරුය.කොන්ද ඇදී ගොස් තිබුණ අතර කොඳු ඇට එකක් මත එකක් ලිස්සා යෑම නිසා ස්ලිප් ඩිස්ක් (කොඳු ඇට එකිනෙක මත ලිස්සායාම නිසා ඇතිවන වේදනාකාරී තත්වයක්) තත්වයක් ඇතිවී තිබුණි. මේ නිසා ශුශුම්නාව තද වන විට විලියම්ට ඉර ,හඳ තරු තුනම පෙනේ.මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට ඈන් දනී. අවශ්‍ය සාත්තු, සප්පායම්, බෙහෙත් වලින් ඩිස්පෙන්සරියේ අඩුවක් නැත.
විලියම් දැන් ඇත්තේ කයේ වේදනාවට වඩා සිතේ වේදනාවය. කොන්දේ අමාරුව හේතුවෙන් එක්තැන් වී ඔහුගේ සිතට දැනෙන්නේ බියකි. වරෙක ඔහුට ඈන් ගැන බිය සිතෙයි.තවත් වරෙක එරල් ගැන බිය සිතෙයි.තවත් වරෙක ඔහුට සිතෙන්නේ මෙවැනි දෙයක් සිදුවීමට තමා කල වරද කුමක්ද ? කියායි. තවත් විටක ඈන්ට දෙවියන් වහන්සේ මෙතරම් නපුරු වන්නේ ඇයි දැයි ඔහුට සිතේ.
මෙසේ සිතමින් සිටින විලියම්ට නින්ද යයි. නමුත් වරින් වර කොන්දේ වේදනාව දැනීම නිසා ඔහු අවදි වේ.මෙසේ අවදි වන විලියම් වරෙක "ඈන් " කියා කෑගසයි . එවිට ඔහු ලඟට දිව එන ඈන්ට ඔහු පවසන්නේ "පරිස්සමින් ඉන්න" කියාය.තවත් සමහර විටක ඔහු අවදිවන්නේ නපුරු සිහිනයක් පෙනීම නිසාය.දුටු සිහිනට අනුව ඔහු එක්කෝ "ඈන් " කියා හෝ නැතිනම් "එරල්" කියා හෝ කෑගසයි.එවිට දිව එන්නේ එරල් නම් ඔහු කියන්නේ නන්නාදුනන අය එක්ක කතාවට යන්න එපා කියලාය.
මේ සිදුවීම දැන් මාස තුනක පමණ කාලයක සිට වෙදගෙදරට හුරු පුරුදු දෙයකි. ඈන්ට, එරල්ට හා හෙදියට දැන් එය ඉතාමත් සාමාන්‍ය දෙයකි.මේ නිසා සමහර විට ඔහු කතා කලද ඔවුන් ඔහුගේ කාමරයට නොයයි. මෙවිට මඳ වේලාවක් බලා සිට නැවත මහ හඬින් "එරල්" හෝ"ඈන්" කියා වෛද්‍යවරයා කෑගසයි. එවිට හෙදිය හෝ ඈන් යන්නේ
"අනේ වද දෙන්න එපා" කියමිනි.
වෛද්‍යවරයා අසනීප වීම හේතු කොටගෙන වෙදගෙදරට පැමිණෙන ලෙඩුන් ගණන ක්‍රමයෙන් පහත වැටුනත් ඈන් හා හෙදියගේ කැපකිරීම හේතු කොට ගෙන තවම වෙද ගෙදරට අඩුපාඩුවක් දැනෙන තරමට ලෙඩුන්ගේ අඩු වීමක් සිදු වුනේ නැත. බොහෝ ලෙඩුන් ඈන් ගෙන් බෙහෙත් ගෙන දොස්තර විලියම් සමඟද කතා කර සුව දුක් විමසා පිටව යයි. තවත් සමහරු බෙහෙත් ගෙන විලියම් ගැන කිසිත් නොඅසා පිටව යයි. තවත් සමහරු දොස්තර විලියම්ගෙන් හැර ඈන්ගෙන් බෙහෙත් ගැනීමෙන් පලක් නොවන බව ගම වටේ පතුරයි.
කාලයත් සමඟ කොන්දේ අමාරුව හොඳ වුවත් වෛද්‍යවරයාට දැන් පෙර පරිදි වැඩ කල නොහැක.කාලයක් එක්තැන්ව සිටීම නිසා දෝ ඔහු දැන් ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ පෙන්වයි. බොහෝ දේවල් දැන් ඔහුට මතක නැත. විටක ඈන් ගේ තාත්තා හමුවීමට යාමට තනයි.තවත් විටක ඈන් වත් හෙදිය වත් නොදන්නා "ජෙස්මින්" හෝ "වෙල්මා" හමු වීමට යාමට තනයි. තවත් විටක "වෙල්මා " ආවද ? කියා අසයි. මෙම ප්‍රශ්න දැන් ඈන් ට හා හෙදියට හුරුය." වෙල්මා ආවද ?" කියා අසන විට ඈන් කියන්නේ "එයා එන්නේ හෙට කියාය" වෙල්මා හා ජෙස්මින් හමුවීමට යාමට තනන විට ඔවුන් පවසන්නේ ඔවුන් සවස් වන විට පැමිණෙන බවකි.
මෙසේ අවස්ථාවට ගැලපෙන පරිදි පිළිතුරු දෙමින්, ලෙඩුන් බලමින්, ඔවුන්ට ප්‍රතිකාර කරමින් ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගෙවන ඈන් ට බයිඩන් හා ඔහුගේ තර්ජන මතක් වන්නේ ඉඳ හිටය.
මතු සම්බන්දයි