ඉරුණු ජීවිත 50(නවකතාව) දොස්තර විලියම්ගේ සමුගැනීම
පරිච්ඡේදය 51 | Laksilu 6 වාර කියවා ඇත 0 අදහස්
එදින සීතල පෙබරවාරි මාසයේ උදෑසනකි. සුපුරුදු පරිදි උදයේ අවදි වූ ඈන් තේ එක සදා ගෙන විලියම් ගේ කාමරයට ගියේ විලියම් ට බෙඩ් ටී එක දීමටයි."ගුඩ් මෝර්නින්, ඩොක්ටර් මෙන්න බෙඩ් ටී එක ගෙනාවා " ඈන් පැවසූවද විලියම් ප්‍රතිචාර නොදැක්වීය. ඈන් ට තරමක් අමුතු හැගීමක් දැනිණි. වෙනදා නම් බෙඩ් ටී එක රැගෙන එන ඈන්ගේ හඬින් අවදි වන වෛද්‍යවරයා "ගුඩ් මෝර්නින් , එරල් කොහිද ?" කියා අසයි. නමුත් අද කිසිදු හැලහොල්මනක් නැතිව නිදා සිටින්නේ ඇයි ?
විලියම්ගේ ඇඳේ අසුන් ගත් ඈන් විලියම්ගේ නළලට අත තැබීය. හොඳටම සීතලය. ඇයට බය සිතුනි.තවත් තහවුරු කර ගැනීමට ඇය නාඩි පරීක්ෂා කොට බැලීය. දැන් නම් ඈන්ට සැකයක් නැත. ඇයට කෑ ගැසීමටත් අමතක විය.විලියම් ගේ අත පපුවට තුරුළු කරගත් ඈන් අඬන්නට පටන් ගත්තාය.
පළමුව ඈන්ගේ කටහඬත්, දෙවනුව කිසිදු හැලහොල්මනක් නොමැති වීම හා ඈන් එලියට නොපැමිණීම නිසා හෙදිය දොර ඇර තිබූ විලියම් ගේ කාමරය තුලින් එබී බලද්දී ඇය දුටුවේ විලියම් ගේ අත තුරුළු කරගෙන ඉකි බිඳින ඈන් ය.වේගයෙන් කාමරය තුලට පැමිණි හෙදිය විලියම්ගේ අනිත් අතින් අල්ලා ගන්නා විට සිඳු වී ඇති දේ ඇයට වැටහිනි. හෙදියට කරන්නේ කුමක්දැයි කියා සිතා ගත නොහැකි විය.ඇය ඈන් දෙසත්, විලියම් දෙසත් මාරුවෙන් මාරුවට බැලීය. විලියම්ගේ මුහුණේ ඇත්තේ දුකක් ද සිනහවක් ද යන්න ඇයට නොතේරේ. එක අතකින් එය සිනහවක් විය යුතුය.දොස්තර විලියම් කාටවත් කිසිදාක වරදක් කර නැත, කර තිබුනේ උදව් පමණය. හෙදියගේ දෑස් ඉදිරියේ විලියම් කල කී දෑ චිත්‍රපටයක් මෙන් පෙනෙන්නට විය. ඒ කිසිවක ඔහු කල දුෂ්ට වැඩක්, අපරාධයක් සටහන් නොවේ. මේ ලෝකය අත්හැර දෙවියන් වහන්සේ ලඟට විලියම් යා යුත්තේ සිනහවක් මුව රඳවාගෙන මිස, අන් කවර විදිහකට ද ? දෙවියන්ගේ උද්‍යානයේ විලියම් මේ වන විට සතුටු සිතින් ඇවිද යනවා විය යුතුය. ඔහුට ඈන් ව පේනවද ?එරල් ව පේනවද?
සිතට නැගුනු සිතුවිලි අතරින් හෙදිය නෙතු යොමු වුනේ ඈන් දෙසට ය. ඈන් තවමත් විලියම් ගේ අත අල්ලාගෙනය. ඇගේ දෑසින් තවමත් කඳුළු වැටේ. ඇගේ හිසට උඩින් ඇති ජනේලයේ පලුවක් අඩක් ඇරී ඇත. අවට පරිසරය අඳුරුය.වැහිබීරුම් අහසෙන් වැටෙන වැහි බිඳු සිතට ගෙන දෙන්නේ මූසල සීතලකි. මූසල හඬකින් කෑ ගසමින් වැහි ලිහිණියන් පියඹා යන්නේ ගොළු මුහුදට විය යුතුය. කවුළුව හරහා එන මුහුදු සුළඟ වෙනදාට වඩා සීතලය. ඇඟ පුරා මුසල හිරිගඩු පිපෙන තරමට සීතලය. රාත්‍රීයේ පිපුණු නම නොදන්නා මලක් කිනිත්තෙන් ගැලවී බිමට වැටෙනු දුටු හෙදිය තව දුරටත් කවුළුවෙන් පිටත බැලීම අතහැර දැමීය.
තමා කෙතරම් වේලාවක් විලියම්ගේ අත අල්ලාගෙන සිටියා දැයි හෙදියට වැටහීමක් තිබුනේ නැත.ඈන් තවමත් විලියම්ගේ අත තුරුළු කඳුළු වගුරනු දුටු හෙදිය විලියම්ගේ අත හෙමින් ඇඳ මත තබා නැගිට ගොස් ඈන් ගේ හිස අතගෑවාය. අනතුරුව ඈන්ගේ මුහුණ තමා දෙසට හරවා ගත් හෙදිය දුටුවේ ඈන් වසර කිහිපයකින් වයසට ගොස් ඇති බවකි. ඇගේ මුළු මුහුණෙම පැතිරී තිබුණේ පිටත වැහි බීරීමටත් වඩා අඳුරු වලාවකි. ඇස් රතු වී ඉදිමී ඇස් යට කළු ගැසී ඇති අයුරු හෙදිය දුටුවේ නිතැතින්මය. ඈන්ගේ හිස තම උරහිස මත තබා ගත් හෙදිය හෙමින් සීරුවේ ඈන් ගේ හිස අතගෑවේය. සෑම ඉකි බිඳුමක් සමඟම ඈන් ගේ ඇඟ ගැස්සෙනු හෙදියට දැනේ. මඳ වේලාවක් තමන්ගේ උරහිසේ හිස රඳවාගෙන සිටීමට ඉඩ දුන් හෙදිය
"හිත හයිය කර ගන්න ඈන්, අඩන්න එපා, අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න" කියා කීවේ හෙමින් නමුත් ඈන්ගේ හිතට වදින ස්වරූපයෙනි.
තොල් දෙක හපා ගත් ඈන් හිස ඔසවා හෙදිය දෙස බැලුයේ හිස් බැල්මකිනි. අනතුරුව දිගු සුසුමක් හෙළු ඈන්
"ඔව් නේද ? අඬලා කාටවත් වැඩක් නැහැ " කියා කීවේ තමන්ටම විය යුතුය.
පශ්චාත් මරණ පරීක්ෂකවරයාට අනුව විලියම් මිය ගොස් තිබුණේ හදවතට රුධිරය සපයන නාලයක් අවරෝධනය වීම නිසාය. මෙම මරණය අතිශය ස්වභාවික මරණයක් බව නිගමනය කල මරණ පරීක්ෂකවරයා ඊට අදාළ ලිපි ලේඛන භාර දුන්නේ එතන සිටි වැඩිමහලු තැනැත්තිය වන හෙදිය අතටය. අනතුරුව හෙදියට හා ඈන් ට ආචාර කල මරණ පරීක්ෂකයා පිටව ගිය විට මල්ශාලාවෙන් පැමිණ විලියම්ගේ සිරුර රැගෙන ගියේ ඔහුගේ අවසන් ගමන සඳහා හැඩ කිරීමටය.
මතු සම්බන්දයි