ඉරුණු ජීවිත52(නවකතාව) හොර වෙදි
පරිච්ඡේදය 53 | Laksilu 3 වාර කියවා ඇත 0 අදහස්
දොස්තර විලියම්ගේ අභාවයෙන් සතියකට පමණ පසු හෙදිය හා ඈන් තීරණය කරන්නේ සුපුරුදු පරිදි වෙදහල නැවත ආරම්භ කිරීමටය. නමුත් ඒ සඳහා ප්‍රධාන බාධාවක් ඇත.එනම් ඈන්වත්, හෙදියවත් නියමාකාරයෙන් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා නොතිබීමයි.විලියම් ගේ වෛද්‍ය පුස්තක කියවීමත්,විලියම් සමඟ වැඩ කිරීමෙන් ලත් පළපුරුද්ද හැර පෙන්විය හැකි සහතික කඩදාසියක් දෙදෙනාටම නැත. නමුත් හෙදියගේ මතය වූයේ මේ හද්දා පිටිසර කවුරුත් එවැනි නීත්‍යානුකූල වන නමුත් අනවශ්‍ය ප්‍රශ්න තමන්ට එල්ල නොකරනු ඇති බවකි. ඈන් එම අදහස අනුමත කලේ තමන්ව තම උදවිය පාවා දෙනු ඇතැයි ඇයට නොසිතුනු බැවිනි.තවද මුළු දූපතටම ඇති එකම ඩිස්පෙන්සරිය වසා ගැනීමට ගමේ උදවිය කැමති නොවනු ඇත යන්න ඇගේ මතය විය. තවද මෙම ඩිස්පෙන්සරිය ද නැති වුවහොත් කුඩා අසනීපයකට වුවද බෙහෙත් ගැනීම සඳහා ස්කොට්ලන්තයට යා යුතු වීම වෙද ගෙදර ඇත්තන්ගේ විශ්වාසය තව දුරටත් වැඩි කිරීමට හේතුවක් විය.සියළු කරුණු කාරණා සලකා බැලු ඈන් හා හෙදිය නැවත වෙදහල ආරම්භ කලේ ඉරිදා පල්ලි ගොස් ඇවිදින් සඳුදා දිනයේය. ලෙඩුන් එකා දෙන්නා පැමිණිය ද දොස්තර විලියම් සිටින විට තරම් රෝගීන් දැන් පැමිණෙන්නේ නැත. ඈන් සහ හෙදිය සිතන්නේ තව මහන්සි වී හොඳින් වැඩ කල හොත් නැවතත් ලෙඩුන් පෙර පරිදිම පැමිණෙනු ඇති බවයි. වෙදහළේ තත්වය යථා තත්වයට පත් නොවුවද පැමිණෙන ලෙඩා දෙන්නගෙන් දෛනික වියදම් පියවා ගැනීමට ඈන් හා හෙදියට පුළුවන. නමුත් ඈන් හා හෙදියගේ මනස තුල කැකෑරෙන තවත් ප්‍රශ්නයක් ඇත.එනම් එරල්ගේ සැත්කමයි. එම සැත්කමට අවශ්‍ය මුදල් විලියම් වෙනමත්, හෙදිය වෙනමත්, ඈන් වෙනමත් එකතු කලද ඒ සියළු දෙනාට මුදල් ලැබුනේ එකම තැනකිනි. එනම් වෙදහලෙනි. මේ අනුව වෙදහළේ ආදායම අඩුවීමත් සමඟම ඒ සඳහා එකතු වන මුදල් ප්‍රමාණය අඩු වේගෙන යයි. වෙනදා දිනක් තුල එම කාර්යයට වෙන් කල මුදල් ප්‍රමාණය ද අඩු වේගෙන යයි. වෙනදා දිනක් තුල එම කාර්යයට වෙන්කළ මුදල් ප්‍රමාණය දැන් සතියක් ගත වූ පසුවත් වෙන් කරනු ලබන්නේ අපහසුවෙනි.
ඈන් හා හෙදිය නැවත වෙදහල විවෘත කොට ලෙඩුන්ට ප්‍රතිකාර කරන බව බයිඩන් ට ආරංචි වන විට වෙදහල විවෘත කොට මාසයක් පමණ වන්නට ඇත. එරල්, ඈන් ඇතුළු වෙද පවුලේ තොරතුරු සොයා ගැනීමට ස්කොට්ලන්තයේ සිට සංචාරකයන් විලසින් "ජෝ " යටතේ පාලනය වන බුද්ධි අංශයේ පුද්ගලයන් වරින් වර පැමිණේ. මීට මාසයකට පමණ පෙර විලියම් ගේ මරණය බයිඩන් ට දැන ගැනීමට ලැබුණද බයිඩන් කිසිත් නොදන්නා ගානට සිටියේ ඇඟ පතින් නොව මොලයෙන් වැඩ කල යුතු බැවිනි. ඈන් ගැන මේ වන විට බයිඩන් බොහෝ දෑ දනී. ඈන් ට තිබෙන එකම නුසුදුසු කමත් බයිඩන් දනී. එනම් ඈන් ට වෛද්‍ය උපාධියක් වත් කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් වත් නැති බව බයිඩන් දනී.
බයිඩන් සැම දා අනුගමනය කල ප්‍රතිපත්ති කිහිපයක් ඇත. ඒ අතරින් ඔහුගේ දියුණුවට හේතු වූ ප්‍රතිපත්ති දෙකකි. එනම් ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම හා කරදරයක් හඳුනා ගත් වහාම කරදරය මුලින්ම උදුරා දැමීමයි. බයිඩන් කිසිදා කරදර පොරොවෙන් කපන මට්ටමට පත් වීමට ඉඩහැරියේ නැත. සැමදා කලේ කරදරය මතු වේගෙන එන විටම එය නියපොත්තෙන් කඩා ඉවත් කිරීමයි.
මේ අනුව ඈන් වෙදහල විවෘත කර ඇති බව දැන ගත බයිඩන් තමන්ගේ දුරකතනයෙන් කතා කලේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තමාගේ හිතවතකුට ය. ඔහුට අනුව මෙවැනි පැමිණිල්ලක් ලැබී දින හතක් ඇතුලත ඔවුන් ක්‍රියාත්මක වේ. පැමිණිල්ල වාචිකව සිදුකල හැකි අතර ඒ සඳහා අවශ්‍ය දුරකතන අංකය බයිඩන් ට ලබා දුන් ඔහු තමා ඒ පිළිබඳව පෞද්ගලිකව ද සොයා බලන බව පවසා බයිඩන්ගේ තොරතුරු අසා සටහන් කර ගත්තේ ය.
මතු සම්බන්දයි