ඉරුණු ජීවිත53(නවකතාව) වැටලීම
පරිච්ඡේදය 54 | Laksilu 5 වාර කියවා ඇත 0 අදහස්
එදා බදාදා දිනයේ සුපුරුදු පරිදි අවදි වූ ඈන් උදෑසන ආහාරය සකසා එරල්ව ද සුදානම් කොට ගෙන පාසලට ගොස් ඇරලීය. නැවත එන ගමනේ දී අසල කඩයෙන් පලතුරු කිහිපයක් ද මිලදී ගත් ඈන් තරමක් ඉක්මනින් ඇවිදමින් ගෙදර ආවේ මේ වන විට හෙදිය ඩිස්පැන්සරිය විවෘත කොට ඇති බව දන්නා නිසාය. මේ වන විට ලෙඩුන් පැමිණ පෝලිමේ ඉන්නවා විය යුතුය. ඔවුන්ව රස්තියාදු කිරීමට ඈන් අකමැතිය. ඉහලම සේවයක් සපයා ඩිස්පෙන්සරියට වැඩිපුර ලෙඩුන් ගෙන්වා ගත හොත් එරල්ගේ සැත්කම සිදුකිරීමට අවශ්‍ය මුදල් සපයා ගත හැකි බව ඈන් සිතයි.ඉක්මනින්ම වෙදහලට පිවිසි ඈන් ලෙඩුන් බලන කාමරයේ අසුන්ගෙන සීනුව හැඩවූයේ පළමු රෝගියා පරීක්ෂා කිරීමටයි. ඇතුලට පැමිණි පළමු රෝගියා ඇය හඳුනයි. නමින් ස්මිත් වන ඔහු දිගු කාලයක පටන් ඇති සෙම් රෝගයකට වෙදගෙදරින් බෙහෙත් ගන්නේය. රෝගය දැන් නම් බොහෝ දුරට සුවය. නමුත් තව වේලක් දෙවේලක් බෙහෙත් ගතහොත් සම්පුර්ණයෙන්ම සුවවනු ඇත.
මීලඟට පැමිණි රෝගියා ඈන් හඳුනන්නේ නැත. අළුත් කොලයක් ගත් ඈන් ඔහුගේ නම හා වයස ඇසුවාය. නම ස්ටීව් කියා කියූ ඔහු වයස 39 බව පැවසීය. එය සටහන් කල ඈන් "ඔව් මොකක් ද ප්‍රශ්ණේ " කියා සිනා මුසු මුහුණින් ඇසුවේ එය කවදත් ඇය ලෙඩෙකුගෙන් අසන පළමු ප්‍රශ්නය බැවිනි.
පිළිතුර ඇය කිසිදා බලාපොරොත්තු නොවූවකි. "තමා සෞඛ්‍ය ආමාත්‍යාංශයේ වංචා මැඩලීම් අංශයෙන් බව පැවසු ඔහු සිය රාජකාරි හැඳුනුම්පත ඈන් ට පෙන්වීය. එත් සමඟම කාමරයට තවත් සිවිල් ඇඳුම් ඇඳගත් නිලධාරීන් පිරිසක් පැමිණි අතර කාන්තා පොලිස් නිලධාරිනියක් හා තවත් පොලිස් භටයන් කිහිප දෙනෙකු කාමරයට වැඳුනහ.
"ඩොක්ටර් ගේ ලයිසන් එක අපිට පොඩ්ඩක් බලන්න දෙන්න පුළුවන් ද ?" පැවසුයේ පළමු නිලධාරියාය.
තමා දැන් කරමුලටම අසු වී ඇති බව ඈන් ට පැහැදිලිය. හෙදිය කාමරයේ කොනක සිටගෙන සිටියත් ඇය ද අසරණ බව ඈන් ට වැටහේ.
"රෙජිස්ට්‍රේශන්, එකක් නැහැ" කීවේ ඈන් ය.
"එහෙනම් අපිට ඔබතුමියව අත්අඩංගුවට ගන්න වෙනවා"
මෙවිට පැන්නේ හෙදියයි. "එයාට ඉස්කෝලේ යන ළමයෙක් ඉන්නවා, ඒ ළමයාගේ තාත්තා මැරිලා, ඒ ළමයාට හදවතේ සිදුරක්, එකේ ඔපරේෂන් එකට සල්ලි ඕනේ"
"එහෙම කියලා අනික් මිනුස්සුන්ව මරන්න දෙන්න බෑ නේ " කීවේ තවත් නිලධාරියකි.
"ඈන්ගෙන් බෙහෙත් ගන්න කවුරුවත් මැරිලා නැහැ" හෙදිය කීවේ තරමක් වේගයෙනි.
"ඔව් හොඳ වෙලාවට"
මේ සියල්ල අසා සිටි ඈන් "හරි ,අපි ඩිස්පැන්සරිය අද ඉදන් වහන්නම් මහත්තයා, පොඩ්ඩක් අපේ පැත්තෙන් මානුෂීයව හිතලා අපිට පොඩි සහනයක් දෙන්න.
"ඈන් තවමත් තරුණය. ඇයගෙන් කිසිවිටකත් ඇය එක් දරු මවක් බව නොපෙනේ එදා සිට අද දක්වා ඈන් ට සියලුම කරදර මෙන්ම යහපත ද ගෙන ආවේ ඇගේ රුපයයි.
"හොඳයි, නර්ස් ගිහින් ළමයාව ඉස්කෝලෙන් එක්කන් එන්න,ඔබතුමිය කියා ඈන් ව ඇමතු ඔහු මට ළමයාගේ වෛද්‍ය වාර්තා ටික දෙන්න බලන්න, කියූ ඔහු "ජස්ටින් " යැයි යමකු අමතා "නර්ස් එක්ක ගිහින් ලමයව එක්කන් එන්න, ඉස්කෝලේ ළඟ නේද තියෙන්නේ " යයි ඇසුවේ ඈන් ගෙනි. ඊට ඈන් හිස වනා පිළිතුරු දුන්නාය.
ඩිස්පෙන්සරියේ අවුල මේ වන විට ගම පුරා පැතිරිලා ය. අහල පහල අයවලුන් ඩිස්පෙන්සරිය වටේ වට වී වෙන්නේ මොනවා දැයි බලා සිටියි. හෙදියත් සමඟ පිටතට පැමිණි නිලධාරියා පාසල දෙසට හැරෙනවාත් සමඟම පැමිණි අශ්ව කරත්තය දෙදෙනාම රැගෙන පාසල වෙත ඉගිල්ලුනේය.ඒ සැමදා දොස්තර විලියම් ව පල්ලියට ගෙන ගිය අශ්ව කරත්තයයි.
ඇන්තනි අශ්ව කරත්තයේ යන ගමන් හෙදිය දෙසට හැරී "ඉස්කෝලෙට නේද යන්න ඕන" කියා ඇසීය.
"ඔව්" කියා හෙදිය පිළිතුරු දුන්නේ අසීරුවෙනි. මෙවිට නිලධාරියා දෙසට හැරුණු ඇන්තනි, "මේ නර්ස් නෝනගේ අත් ගුණේටයි, ඈන් නෝනගේ බෙහෙත් වලටයි පිං සිද්ධ වෙන්න තමයි මහත්තයා මං මේ හුස්ම ගන්නේ. නැතිනම් මේ වෙනකොට ස්වර්ගස්ථ වෙලා ගොඩක් කල්. මගේ දරුවාත් ඔය ඉස්කෝලේ තමයි ඉගෙන ගන්නේ. ඈන් නෝනගේ ළමයා ඉගෙන ගන්න හැබෑ දක්ෂයා " කියා කීවේ ඈන් ගලවා ගැනීමට ද නැතිනම් ඔහු තුල පහල වූ අවංක හැගීමද යන්න නිලධාරියා ට තේරුම් ගත නොහැකි විය. එය තේරුම් ගැනීමට කිසිඳු අවශ්‍යතාවක් ද ඔහුට නැත. ඒ නිසා ඇන්තනිගේ ප්‍රකාශ කිසිවකට පිළිතුරු දෙන්නට,හූ මිටි තබන්නට නිලධාරියා උත්සහ කලේ නැත.
මතු සම්බන්දයි