ඉරුණු ජීවිත 06 (නවකතාව) සැමියාගේ වික්ෂිප්තය
පරිච්ඡේදය 6 | Laksilu 12 වාර කියවා ඇත 0 අදහස්
ඊළඟ සඳුදා සුපුරුදු පරිදි තම පන්තියේ ඉගැන්වීම් කටයුතු කරගෙන යන අතරතුරේ කවරකු හෝ තමා දෙස බලා සිටින බව දැනී පසු පස හැරී බැලූ ඇය දුටුවේ තමා දෙස බලා සිටින සිසුවා ය. ඒ දෑස තමන්ගේ දෑස හමුවන විට තදබල කණගාටුවක් සිත පුරා පැතිර යයි. සිසුවා ද ඇය දෙස බලා සිටින්නේ ශෝකභරිත මුහුණකිනි. ගත වූ කාලය විනාඩි කිහිපයක් වන්නට ඇත. සිහි එලවා ගත් ඇය නැවත ආපසු හැරී පාඩම උගන්වන්න ගත් විට සිසුවා ද හෙමින් හෙමින් තමුන්ගේ පන්තිය දෙසට ඇදී යනු ඇයට පෙනිණි. නමුත් එම නිමේෂයේ සිදු වූ එක්තරා පුදුමාකාර හැගීමකින් ඇගේ සිත ගැස්සුන බව දන්නේ ඇය පමණි.ඊට හේතුව එම දෑස ඇය හඳුනා ගැනීමයි. එම දෑස හා සැසදෙන ඇය දන්නා එකම දෑස පෙර දා සිහිනෙන් දුටු කුඩා දරුවාගේ දෑසය.එතැන් පටන් ඇගේ සිත තුල හට ගත්තේ මහා පෙහෙලිකාවකි. මේ කවුද ? ඇයි මේ කොල්ලා මගේ දිහා බලන් ඉන්නේ ? ඒ ළමයාගේ ඇස් දෙක දැක්කාම මට මහ දුකක් දැනෙන්නේ ඇයි ? ඒ ඇස් දෙක හීනයේ පෙනෙන ඇස් දෙකට සමාන යැයි හැඟෙන්නේ ඇයි ? එම පෙහේලිකාවේ ගැටළු කීපයකි.
නිවසට පැමිණ කුඩා දියණියගේ හා නිවසේ වැඩ කටයුතු ඉක්මනින් නිමා කල ඇය සැමියාට ද වෙනදාටත් වඩා ආදරයෙන් හා කරුණාවෙන් සැලකුවේ මෙම ප්‍රශ්ණය ඔහුට කියම්දෝ? නොකියම්දෝ ? යන දෙගිඩියාව සිත තුල නලියද්දීය. අවසානයේ රාත්‍රී කෑමෙන් පසු, ඇගේ යටි සිත ඇයට බලකර සිටින්නේ කාරණාව සැමියාට පවසන ලෙසයි. හදවතට වඩා බුද්ධියට තැන දී කටයුතු කිරීමට නිතරම පුරුදුව සිටින ඇයට ජීවිතයේ ප්‍රථම වරට හදවතත්, බුද්ධියත් එකම තීරණයක් ගත් මේ අවස්ථාව පිළිබඳව පුදුමයක්ද දැනිණි.
"මේ මට ඔයාට ලොකු කතාවක් කියන්න තියෙනවා "
"හැබෑට, බැඳලා සෑහෙන කාලෙකට පස්සේ ?"
"විහිළු නෙමෙයි අනේ ! පොඩ්ඩක් වෙන වැඩ නවත්තලා අහගන්න කෝ !"
සැමියා සිතුවේ ඇය ගුරුවරියක් නිසා එලෙස පවසන බවයි. සාමාන්‍යයෙන් ඉතා සරල කුඩා සිදුවීම් මහා විශාල සිදුවීම් කරගෙන වරු ගණන් ,දින ගණන් ,මාස ගණන් ගුරුවරුන් කතා කරන බව ඔහු දන්නේ අත්දැකීමෙනි. මොනවා වුනත් විශ්වවිද්‍යාලයේ දී තමාට කැමති වුන එකම කෙල්ල ඇය බැවින් ඇය කියන කතාව අසා සිටීමට ඔහු තීරණය කළේය.
"මම පොඩිකාලේ ඉඳන් දකින සිහිනයක් තියෙනවා" කියමින් පටන් ගත් ඇය අතීත සිදුවීම් අලගිය තැන් මුල ගිය තැන් සමඟ කතාව කියා නිම වන විට රාත්‍රී දොළහේ කණිසම වදින්නේ කතාව කීමට ඇය පැයකට වැඩි කාලයක් ගත් බව අඟවමිනි.
ආරම්භයේ දී එතරම් උනන්දුවක් නැති වුවත් කතාවේ මඳ දුරක් යද්දී ඔහුගේ උනන්දුව වැඩි වී කතාවට හොඳින් සවන් දුන් සැමියා මඳ වේලාවක් නිහඩව කල්පනා කරන්නේ මොනවා දැයි සිතීමට ඇය උත්සාහ කල නමුත් ඇය අසමත් වන්නේ ඔහුගේමුහුණේ ඇති හැගීම් විරහිත ගතිය දැකීමෙනි.ඔහු තුල ඇත්තේ කවර හැගීමක් ද ? බියක්,දුකක් ,සතුටක් ඇති වෙන්න විදිහක් නැහැනේ. ඇයට සිතුණි.ඒ සමඟම ඇයට සිතුනේ ඔහු බිය විය යුත්තේ මන්ද ? කියායි. දෙදෙනාම ඔවුනොවුන්ගේ මුහුණ දෙස නිහඬව බලා සිටින්නේ ගෙවී යන්නේ මැදියම් රැය යන්නද අමතක වී ඇති ලෙසිනි. දිගු නිහැඬියාවකින් පසු සැමියා හඬ අවදි කළේය.
"ඔය වගේ ඒවා කතා පොත් වල, පත්තර වල දැකලා තියෙනවා" ඒ වුනාට මම ඒවා විශ්වාස කරේ නැහැ. මම හැමදාම හිතුවේ උන් ජනප්‍රිය වෙන්න බොරු කතා ගොතනවා කියලා"
"එක එක සිදුවීම් වෙන කොට හීනය දිග වෙලා පෙන්නේ මම හිතන්නේ මේක පෙර ආත්මෙක මතකයක් වෙන්න ඇති කියලයි ".
ඇය තවමත් නිහඬව ඔහු කියන දේ අසා සිටින්නේ මේ තරම් බැරෑරුම් ව මේ තාක් කිසිදු දෙයක් ගැන කතා කර නැති බැවිනි. කසාද බඳින්න කලින් දවසේ රෑ ඇඳුම් කඩයකට ගොස් ඔහු මඟුල් ඇඳුම ගත් සැටි ඇයට මතකයට ආවේය. කිසිදු දෙයක් ගැන බැරෑරුම් ව නොතැකු ඔහු මෙය මේ තරම් බැරෑරුම් ව සලකන්නේ ඇයි ?
"මනෝ වෛද්‍යවරයෙක් හරි මනෝ චිකිත්සකවරයෙක් හම්බුවෙන්න යන්න වෙයි. ඕකූන් බෙහෙත් දෙයිද දන්නේ නැහැ. ඕවා හොඳ නැහැ නේ, මෙන්ටල් තෙරපි එකක් දෙන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න වෙයි".
කිසිඳු දෙයක් ගැන සිහි බුද්ධියෙන් සිතා මතා මේ තාක් කතා නොකළ තම සැමියා ජීවිතයේ ප්‍රථම වරට තමා උගත් දෙයක් සම්බන්දයෙන් කතා කරනු ඇයට ඇසෙන්නේ ප්‍රථම වතාවටයි. අනෙක් සෑම විටම ඔහු විද්‍යාව හැර සාහිත්‍ය, බුදුදහම වැනි විෂයන් පිළිබඳ කතා කරේ උසස් පෙළට ජීව විද්‍යාව හැදෑරීම ජීවිතයේ කරන ලද ලොකුම මෝඩකම බව කියමිනි. තම සැමියාට විද්‍යාව සිහි ගැන්වූ තමන්ගේ සිහිනය ඇයට දැන් අමුතුම ආකාරයක අරුමයක් වී දැනේ.
"ඕක ගැන ඔය තරම් වද වෙන්න ඕනේ නෑ ! දැන් අවුරුදු තිස් ගානක් මම ඔය හීනේ දැකලා තියෙනවා නේ, මට මුකුත් වෙන්නේ නෑ , බය වෙන්න එපා ". යැයි කියූ ඇය විදුලි පහන නිවා දමා ඇගේ සැමියාව බදා ගත්තේ වෙනදාටත් වඩා හිතේ නැගුණු ආදරයෙනි .
මතු සම්බන්දයි